සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



මම ගෙදර ඉන්න කාලෙ බොහොම අඩුයි. යන්තම් දරුවොත් එක්ක විනෝදෙන් ඉන්න ලැබෙන්නේ සෙනසුරාදා දවසකට විතරයි. එදාට බොහෝ විට දුවල දෙන්නටම පන්ති. මේ පන්ති නැති කාලෙ තමා අපි විනෝදෙන් ඉන්නේ. මේ වෙලාවට තමා අපි සේරම එකතුවෙලා බ්ලොග් කියවන්නේ. මුලින් මං කියවල හොඳ දේවල් තියනව නම් විතරයි එයාල දෙන්නට පෙන්නන්නේ.
ලොකු දුව මේ බ්ලොග් කියැවිල්ලට ලොකු ආසාවක් තියන බව මා මුලින්ම දුටු දෙයක්.  බොහොම කාලෙකින් සිකුරාදා කලින් ගෙදර යන්න ලැබුණා. ඒ ලැබුණු චාන්ස් එකේ අපි තුන්දෙනාම බ්ලොග් වටේ රවුමක් ගියා. 
ඔන්න ඊයේ රෑ මට කෙල්ලගෙන් හර්තාලයක්. එයාටත් කවි බ්ලොග් එකක් කරන්න ඕන කියලා. දැන් මොකද කරන්නේ. මං ඉතින් හිත නොරිදා පහදා දුන්නා අඩුම තරමින් සාමාන්‍ය පෙළ ඉවර වෙනකං වත් ඒ දේ නොකර ඉම්මු කියලා. ඒත් කෙල්ලගේ හිතට හරි නැ. තාම මේ දෙන්නටම පරිගණකය පරිහරණය කරන්න දෙන්නේ අපේ අධීක්ෂණය යටතේ විතරයි. මේක අපේ මෝඩ සිතුවිල්ලක්ද කියලත් හිතෙනවා වෙලාවකට. ඒත් පරිගණකයට ඇබ්බැහි වුණොත් ඉගනුම ට හානියක් වෙයි කියලයි මම හිතන්නේ. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද. 
අන්තිමට දුවගේ හිත හදන්න මං මෙහෙම යෝජනාවක් කළා. මගේ බ්ලොග් එකේ එයාගේ කවිය දාන්නම් කියලා. ඉතින් මේ තියෙන්නේ දුව බ්ලොගකට දාන්න ලියපු මුල්ම කවි ටික. මේ කවි ටික ටයිප් කළා විතරයි මං කළේ.


මගේ පළමු ගුරු තුමී

සිප් සයුරෙන් එතෙර වන්න මාවත සෑදූ
යහ ගුණ දම් පෙන්වා නුවණැස      පෑදූ
ලොව වෙත පිය නැඟුමට ඉනිමග   සෑදූ
ජීවන මං පෙතේ ඔබ මට මවක්       බඳූ

පාසල් දිවියේ මතකෙකි ලස්සන ඔබෙ   පන්තිය
සිහිවෙයි තාම මට ඒ සුන්දර                   අතීතය
පාසලේ පළමු දා ඇඬුවේ තනිකම         දැනිලාය
දෙවැනි මවක් වී ඔබ මා                        සැනසිය

කැකුළු අපට පිපෙන්නට නිති සහය           වුණා
ගුරු මව් ඔබම නොවෙදැයි පසක්               වුණා
සිප් කිරිවලින් අප දැනුමෙන් උසස්             වුණා
කෙලෙසක දක්වමිද ඔබ හට කෙලෙහි       ගුණා

අඩි තාලම දැමුවෙ දියුණුවෙ පිය    නගන්නට
වැටෙනා හැම තැනදි දැතම දිගු කර  දුන්නාට
මා සිත උපන් බිය දුරු කැර මඟ        කිව්වාට 
නමඳිමි ගුරු මවුණි හැම විට ඔබෙ        නමට

ඉර හඳ තාරකා නිලඹර නැගෙන       තුරූ
මිහිකත තුරු ලතා මල් ඵල දරන       තුරූ
ඇළ දොල මහ නදී සයුරට ගලන      තුරූ
මා ණය ගැතිය ඔබ හට මා මියෙන    තුරූ

තුල්යාමී සඳෝදා අමාරශ්මි
රත්නාවලී බාලිකා විදුහල ගම්පහ


86 comments:

  1. කෙල්ල දක්ෂයි මචං කතා දෙකක් නෑ... මේ කාලෙ ඉස්කෝලෙ ළමයි කවි ලියනවා කියල අහන්න ලැබීමත් සතුටක්... බ්ලොග් එකක් දැමීම ගැන මම උඹේ අදහසත් එක්ක එකඟයි... මේ වගේ තැන් වලට පුරුදු උනාම මහ උන්ටත් (අපි වගේ) අත් අරින්න බෑ... ඉගෙන ගන්න කාලේ නොකර ඉන්න එක ඇඟට ගුණයි මම හිතන්නෙ.

    කෙල්ලගෙ නම නම් පස්ටයි ඈ.. ඒක නෙමෙයි උඹත් එහෙනම් ගම්පහ පැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිසර මේ වැඩේ ඇබ්බැහියක්.
      මචං අපි මීරිගම

      Delete
  2. //මා නය ගැතිය ඔබ//

    තාත්තේ.. ණය වැරදියි නේ ලියලා තියෙනවා.... හි හි...

    අන්න ඒ කරපු වැඩේ නම් හොඳයි.. එයාල‌ට සීමාව තේරුම් කරලා දෙන්නත්, විකල්පයක් දෙන්නත් මේ විදිය හොඳයි... අනිත් එක එයාට කමෙන්ට් ටික පෙන්නන්නත් පුළුවන්නේ..

    මේ ටික කවිකාරිට.... ( ඔයා වැඩිපුර ආස තුල්යාමි කියනවටද සඳෝදා කියනවටද කියලා කියන්න හොදේ.... )

    කවි ටික නම් ඇත්තටම හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. වැරැද්ද ඔන්න හැදුවා හිරු තැන්කූ ඒක මගේ අතින් වෙලා තියන වැරැද්දක්.

      Delete
  3. //මේ දෙන්නටම පරිගණකය පරිහරණය කරන්න දෙන්නේ අපේ අධීක්ෂණය යටතේ විතරයි//

    මේක හොඳ දෙයක් , කොහොමත් අවුරුදු 13ට අඩු අයට දෙමව්පිය අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාල භාවිතය නිර්දේශ කරන්නේ නෑනේ . ලින්ක් එකේ උපදේස් ඇමරිකාවෙන් (නලින්බටහිර විරෝධී වුනාට ඔය උපදෙස් ටිකෙන් නම් ගත යුත්තක් තියෙයි ) . බ්ලොග් කෙරුවාව චුට්ටක් විතර ඇබ්බැහි වෙන දෙයක් නිසා අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වෙන්න පුලුවන් . තමන්ට දෙක බැලන්ස් කරගන්න පුලුවන් වයස වෙනකන් තාත්තට පුලුවන් නේ දෝණිගේ නිර්මාණ පල කරන්න

    http://www.fbi.gov/stats-services/publications/parent-guide

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුවා මේ ලිංකුව මම බලනවා.

      Delete
  4. නලින් අයියගේ අදහසට ගරු කරනවා.. බ්ලොග් කෙරුවාව කියන්නේ ඇබ්බැහි බරපතල විදිහට වෙන දෙයක්. ඒකනේ මේ යක්කු ගස් නතින වෙලාවෙත් පෝස්ට් වැටෙන්නේ.. නිදා ගන්න කලින් කරන්නෙත් මේක, නැගිට්ට හැටියෙම කුනු කෙල පිටින්ම රිංගන්නෙත් මේකට. සාපෙල පහු වෙනකම් ඉන්න එක හොදයි.. එතකං නලින් අයියටම බැරුවය මේ වගේ කවියක් දෙකක් දාන්ට.

    පුංචි කවි කාරියට සුභ පතමි.

    ජය..

    ReplyDelete
    Replies
    1. මේ සියලු දේ ඇය බලා තේරුම් ගනීවිනේ. එවිට සිතේ ඇති කනස්සල්ල නැතිවේවි. ස්තුතියි

      Delete
  5. අපොයි ඔවු. මේක නම් ඇබ්බැහි වීමක් වගේ. විභාව වලින් පස්සෙම බ්ලොග් ලියන්න දුන්නම හරි. ලියන්න දෙනවා වගේම කියවන්න දෙනකොටත් තෝර බේරගෙන කියවන්න දෙනවනම් තමා හොඳ. මොකද දන්නවා නෙහ් මෙහේ අයියලා ලියන දේවල් ගැන. :)

    ReplyDelete
  6. දුව නම් හරිම දක්ෂ ළමයෙක්.. විභාගේ එහෙම ඉවර වෙලා දුවටත් බ්ලොග් එකක් ලියන්න කියමු...
    ලස්සන පද පෙළක්...

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් විභාගය අවසන් වනතුරු සයිබරය ඇයට රිසිසේ සරන්නට නොදෙන එක හොඳ බවයි. තාම 9වැනි වසරේ නේ ඉන්නේ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් වටිනා ඔවදනට තුති. මමද මේ කව් පෙළේ ඇති දොස් දුටුවෙමි. එහෙයිනි මා ඉහළින්ම සඳහන් කළේ මේ කව් සංස්කරණයකින් තොරව මා ඇය ලියූ අයුරින්ම ටයිප් කළ බව. මේ වැරදි මා දියණියට පෙන්වා දෙනවාට වඩා ඔබ වැන්නෙක් පෙන්වා දීම ඇයගේ හිතට තදින්ම වදීවි.බොහොම ස්තුතියි. ඔබේ ඉසව්වට ගොඩවදිනවා මම.

      Delete
    2. @කිවිඳු ප්‍රදීප්

      නලින් අයියා උඩින්ම සඳහන් කරලා තියෙනවා නේද සහෝ මේ කවි පද ටික...තාමත් පුංචි දැරියක් වෙන නලින් අයියගෙ දූ ගෙ කියලා...මෙයාගෙ මහාප්‍රාණ හදාගන්න එක හොඳයි. ඒත් අර දරුවගෙ කවි පන්තිය මට නම් රත්තරන් වගේ...ඔ

      සහෝදරයාගෙ පැත්තෙ ගියා...මහප්‍රාණ දලා ලියාපු ඒවා නෑනෙ...හොල්මන් වෙන පින්තූර ඇරෙන්න..

      Delete
    3. ප්‍රදිප් ගේ පැත්තේ මාත් ගියා ළිහිණි තිබුණේ පිංතුර කැලි ටිකක් විතරයි තමා. හැබැයි ඇතුළටම ගියේ නම් නෑ තාම.

      Delete
    4. ඔබ සතු දැනුම අගය කරමි :)
      නමුත් සමාවෙන්න මෙහෙම කියනවට. රසවිඳින්න පුලුවන් කමට තමයි ප්‍රදානත්වයක් දිය යුතු වන්නේ. මේ ලමයගෙ කවි වල ඔබ පෙන්වා දුන් අඩු පාඩු ඇති. නමුත් එය රසවින්දීමට එතරම් බාදාවක් නැහැ කියන එක තමයි මගෙ නම් අදහස. මම නම් ඔබ කියපු කිසි දෙයක් මීට කලින් දැනගෙන හිටියෙ නෑ. මට ඒ විස්තර හුඟක් වටිනව. මගෙත් හදාගන්න දේවල් ගොඩක් තියෙනව කියල දැනුන. බොහොම ස්තූතියි :)

      Delete
    5. මාත් මේ මාත්‍රා ගැන මේ කියූ දේවල් නොදැන සිටියේ . නිකමට තාලයක් එන්න ලිවිම විතරයි මන් කරන්නේ .යවහන් දොස ගැන වුනත්ඉගෙන ගත්තේ ලඟදි .

      ඔහුට අපි ස්තුති කරමු නේද . මෙවැනි දැනුම ඇති අය අඩුයි නේ . දුගේ කවිය ගැන වෙන කමෙන්ට් එකක් දාන්නම්

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. සඳැස් කවි වලට දැඩි ලෙස ප්‍රිය කරන්නෙක් විදිහට, මම මේ කොමෙන්ටුව දැක්කහම සතුටු වුනා. කවුරු හරි කොතනකදි හරි මේ දුවට මේ ගැන කියාදිය යුතුයි. ඒත් ප්‍රදීප්, ඔබ මේක කියලා තියන ආකාරය පාසල් දැරියක් උදෙසා ගැලපෙන්නෙ නෑ කියන එක කියවූ ගමන් දැනෙනවා. ඒ නිසා තමයි මම හිතන්නෙ කීප දෙනෙක්ම මතක් කරල දීලා තියෙන්නෙ, මේ කවි තාම කුඩා දැරියකගේ කියන එක. කවියක සඳැස්, එළිසමය ගැලපීම වගේම අපි දෙන උවදෙස්, ලැබෙන මනසට ගෝචර වීමත් ගලපන්න ඕනේ නේද? ඔබ මෙය කියා ඇති ආකාරය කවිය ලියා ඇති දැරියට ගැලපෙන සේ වූයේ නම් කවුරුත් කිසිත් නොකියන බව විස්වාසයි. කෙසේ වෙතත්, ඔබ පහල දී ඇති සබැඳි ඔස්සේ ගොස් කවි ගැන තව දුරටත් සොයා බලන්න හිතා ගත්තා.

      Delete
    9. රසවත් කවි ටිකක් කියවීමට සිතා කළා පිටුවට ගියෙමි . ඇත්තටම ප්‍රදීප් ඔබට දැනුමක් ඇති බව මේ කමෙන්ටුවෙන් පෙනේ . නමුත් කියන්න කනගාටුයි මා කියවූ පිටු කීපය නම් මේ කමෙන්ටුවට නොගැලපේ . මාත්‍රා තබා නිසදැසක ඇති මිහිරවත් නැත . මා විවේචනය කරන්නට බොහොම අකමැතියි . නමුත් මේ දේ නම් කියන්න සිතුනා . එයිට වඩා අනගි කවි කමෙන්ට් ලෙස බොහෝ බ්ලොග් වල දැමෙනවා . ඔබම මේ කමෙන්ටුවේ ලියු කවිය මට ඔබේ බ්ලොග් එකේ ඇති කවි වලට වඩා ලස්සනයි .

      අනේ මන්දා ඔබේ කවි ඔබම දෙවරක් කියවූ විට දැනුමැත්තෙක් නිසා ඔබටම තේරේවි .

      Delete
    10. @නෙතින් එහා......
      ඔබ පෙන්වා දුන් දේ බොහෝ සෙයින්ම සත්‍යයක්. ඔබ පෙන්වා දුන් දේට අමතර මේ පදවල සක්කා පදත් බොහෝය. සඳැසේ දී ඒවාද නිවරද විය යුතුය.මම ද නිසඳැසට නොව සඳැසට පෙමි බැන්දෙක්මි.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. මෙන්න කෙටිම කවියකට හොඳ උදාහරණයක්. මං කවි ගැන උනනුදු වු කාලෙක වදාකඩ නවරත්න සූරින් තමා මට මේ කව කියා දුන්නේ.


      අ නේ
      ප ණේ
      ත නේ
      පෙ නේ

      Delete
    14. අපොච්චියේ ........... " රොකට් සයන්ස් " ලේසී වගේ ..............

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. ඔය කලා පිටුව කියන තැනට ගිහින් බැලුවා ප්‍රදීප්...අනේ මන්දා... පද හතරක් ගැට ගහලා තියෙනවා... එච්චරයි..

      //ඔය කලා පිටුව කියන තැනට ගිහින් බැලුවා ප්‍රදීප්...අනේ මන්දා... පද හතරක් ගැට ගහලා තියෙනවා... එච්චරයි..//

      කවුද ඔය ප්‍රවීණයෝ ? නම් සඳහන් කරන්න. ඒ වගේම අධීක්ෂණය මොන වගේද උනේ කියලත් සඳහන් කරන්න.

      Delete
    17. ප්‍රදීප් ඇයි කමෙන්ට් මැකුවේ එහෙම මකන්න එපා. මං කමෙන්ට් එකක් මකනවා නං එයට හේතුව කියා තමයි මකන්නේ.ඔයා පැහැදිලිව කිව්වේ ඔයාගේ අවංක අදහසනේ

      Delete
  8. අනේ! හරිම ආදරණීය පද පෙලක් නලීන්. තුල්යාමි සඳෝදා අමාරශ්මී හරිම ලස්සන නමක්, ඒ වගේම සිතුවිළිත් ලස්සනයි. ඇයි ඔබ මේ දරුවගෙ හැඟීම් මොට කරන්නෙ? දරුවට හොඳ නරක පෙන්නවලා දෙන්න. බ්ලොග් වලත් හොඳ බ්ලොග් තියෙන ඒවා දෙන්න කියවන්න. ලියන්න දෙන්න එයාට. මම ලියන්න ගත්තෙ අවුරුදු හත අටේදි. ඒ කාලෙ අපිට මේව තිබ්බෙ නෑනෙ නලීන්, අපි ලිව්වෙ මිහිර පත්තරේට කනිටු සරසවියට වගේ තැන් වලට. දැන් එහෙමද? මුළු ලෝකෙටම බ්ලොග් බලන්න පුළුවන්නෙ. ඇයි ඉතින් එයාට මේ දේ කරන්න දෙන්නෙ නැත්තෙ? අපි කරන්න ඕනෙ එයලගෙ දක්ෂකම් ඉස්මතු කරන එකයි. ඒවා මොට වෙන්න දෙන එක නෙමෙයි. හැබැයි මේ ඉන්ටර්නෙට් සමාජයෙ අධීක්ෂණය හරිම වැදගත්. දෙමාපියන් විදිහට යහමඟ පෙන්වා වරදින් වළක්වන්න අපි දැනගන්න ඕනෙ. මෙන්න අපේ පොඩි පුතා ගෙ කවි ලින්ක් එක. http://www.voicesnet.org/allpoemsoneauthor.aspx?memberid=1299860010 එයාත් ලියන්න දක්ෂයි.
    සඳෝදා දුවට ඉතාම වාසනාවන්ත අනාගතයක් පතනවා සෙනෙහසින්ම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දි ඒත් විභාගය ඉවර වෙන තුරු වත් මේ දෙය පාලනය නොකළොත් එය ඇයටම පාඩුවක් වේවි කියා මා හිතනවා. එයා කවි ලියනවාට නොවෙයි මා විරුද්ධ. නිදහසේ සයිබරය භාවිත කරනවාටයි. එයත් ඇය තේරුම් එන වයසකට එන තුරු පමණයි. ඔවදනට තුති.

      Delete
    2. මේ මගේ කැදැල්ලට ආ කුළුදුලිය යි. ඇයට නම දැම්මේ මෙන්න මෙහෙමයි චන්දි. කේන්දර අනුව අකුර දුන්නේ තු යන්න වඩම හොඳයි කියලයි.කේන්දරේ බලා දුන්නේ පියසේර රතුවිතාන මහ්ත්තයා. එකල එතුමන් සිටියේ අපේ ආයතනයේම යි. අනතුරුව මේ අකුරට නමක් හොයන්න ගත් විට සිංහල අකාරාදිය පීර පීරා බලන විට මා නෙත ගැටුණ එක නමක් තමා තුල්යාමී යන්න එහි තේරුම දී තිබුණේ සමන් පිච්ච මලේ මකරන්දය යන්නයි.තුල්යාමී යන්නෙහි අකුරුවල ඝන ඉතා යෝග්‍ය බව ගණනය කොට දුන්නේ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතායි. එතුමා සමග එවකට මම එකම තැනක එකටම සේවය කෙරුවෙමි. සදෝඳා කෑල්ල සමන් මහතා ගේම ය. අමාරශ්මි කෑල්ල මගේම ය. එය එක්කරන්නට විශේෂ හේතුවක් ඇත. ඒ මෙසේයි.
      දැන් ඕනෑම රාජකාරි කටයුත්තකදී නම ලියැවෙන්නේ මෙසේයි T.S. amarashmi ලෙසයි. එවිට අකරාදි පිළිවෙලට මේ නම ලයිස්තුවක ඉහළටම එනු ඇත. එසේ සිතා මා මේ නම එක්කළෙමි.සාමාන්‍යයෙන් අගට යෙදෙන්නේ පියාගේ වාසගම වුවත් අනාගතය ගැන හිතා මා එය ඉවතට දමන්නට සිතුවෙමි. කොහොම වුවත් කෙල්ලෙක් කසාද බදිනකම් විතරනේ පියාගේ නම එල්ලන් ඉන්නේ. ඔනන් මගේ දුවගේ නමේ නිධාන කතාව.

      Delete
    3. ////කෙල්ලෙක් කසාද බදිනකම් විතරනේ පියාගේ නම එල්ලන් ඉන්නේ.///

      ඒ මොකද්ද නලීන් අයියේ ඒ කතාව... අපේ අම්මත් මමත් පාවිච්චි කරන්නේ උප්පැන්නේ නම තාමත්.. මගේ වැඩ වලදි මම පාවිච්චි කරන්නේම මගේ සම්පූර්ණ නම... අපේ අම්මත් එහෙමයි... බැන්ඳයි කියලා ඒක වෙනස් වෙලා නැහැනේ.. මහත්තයාගේ නම සම්බන්ධ කරන්නේ මඟුල් ඉන්විටේෂන් වලදි විතරයි.... ඔයාගේ වාසගමට ඔයාම ලොකු අගෞරවයක් කරලා වගේ නෙවෙයිද...

      Delete
    4. බොහොම ස්තූතියි නම ගැන විස්තරයට. කොච්චර ලස්සනට ගැලපෙනවාද? කියල දැන් තමයි පැහැදිළි උනේ.
      @ හිරු ;
      අපේ මහත්තයා මම කසාද බඳින කොට මගෙ වාසගම හා මගේ මුල් නම ගන්නවාට අකමැති උනා, ඒ වෙලාවෙ මට ලොකු දුකක් ආවත් මම ඉවසා හිටියා ආදරයට. පසුව මගෙ ලොකු පුතා සීයාගෙ නම එක්කරල මගෙ මුණුබුරාට නම තිබ්බා. D

      Delete
    5. @හිරු... සාමාන්‍යෙයෙන් වෙන දෙයක්නේ ඒක..කලාතුරකිනේ කෙල්ලක් තමා තම පියාගේ නම විවාහයෙන් පස්සෙත් ඉදිරියට ගෙනයන්නේ.චන්ද්‍රිකා බණ්ඩාරනායක පස්සේ කුමාරතුංග වුණා ඊටත් පස්සේ බණ්ඩාරනායක කුමාරතුංග වුණා මතකනේ. කොහොමත් මගේ වාසගම දරුවෝ දෙන්නගේම නම් වලට මුලින්ම තියනවානේ. මම අයින් කළේ අගට ගන්න පියාගේ නම් කොටස විතරයි. එයත් ඒ දෙන්නගේම යහපත වෙනුවෙන්.

      Delete
    6. ඒ මොකක්ද ඒ විකාර වැඩේ ? නමක මුලට එන්නේ
      පෙළපත් නාමය . අගට එන්නේ පවුල් නාමය..
      සාමාන්‍ය ක්‍රමේට දෙකම දාන්න ඕනේ. දැන් ඔය ළමයට
      ඒ දෙකම නැද්ද ? මහ විකාර වැඩක්නේ ඒක. ඒ දේවල්
      නැති කරන්න එපා. අපේ පෙළපතේ අපි පාවිච්චි කරන්නේ
      පෙළපත් නාමය විතරයි.පවුල් නාමය අත් අරිනවා .එහෙම
      කරන්නේ මුළු ලංකාවේම අපේ පෙළපතෙන් ඉන්නේ 600
      වගේ පිරිසක් නිසා අපේ පෙළපත් නාමය දියාරු වෙන එක නවත්තන්න
      .එහෙම විශේෂ හේතුවකට ඇර ඔයා ඔය
      කරලා තියෙන දේ නම් මහා අනුවණ කමක්..
      අනික් දේ මගේ නෝනට මන් කවදාවත් මගේ පෙළපත්
      නාමය වත් පවුල් නාමය වත් ගන්න කියල නැහැ ..ඒත් එයා
      කැමැත්තෙන්ම ඒක ගත්ත..මන් හිතන්නේ ඒක සෙනෙහසට
      වෙන දෙයක්.නැතුව වෙන කිසිම දෙයක් නෙවේ..
      අනිත් දේ ඩෝබි උනත් තමන්ගේ පෙළපත කියන්න ලජ්ජා වෙන්න එපා..
      ඔයා කරලා තියෙන්නෙම ඒක. කොහෙවත් ලිස්ට් වල කාගෙවත් නම්
      මුලට ආව කියල මොනවද හම්බෙන්නේ ?
      අනේ මන්ද හිතල හිතල කරලා තියෙන්නේ කරන්න හොදම නැති වැඩක් ..

      Delete
    7. @සයිලන්ට්...
      දරුවගේ සම්පුර්ණ නම මෙහෙම එනවා විතාන පතිරන්නැහැලාගේ තුල්යාමී සඳෝදා අමාරශ්මි ලෙස.

      Delete
    8. නම කියන්නේ පුද්ගලයින් දෙන්නෙක් වෙන් කරල අඳුරගන්න තියන දෙයක් මිසක් , අර්ථාන්විත වෙන්න ඕනි දෙයක් වත් , රට දැය සමය රැක ගන්න තියන මඟුලක්වත් නෙවෙයි . ඔය ලංකාවේ පාවිච්චි කරන කෙහෙල් මල් හැලි නම් මට නම් විකාරයක් . දිවිරුම් පෙත්සම් දෙන්න අකමැති කම මිසක් නැත්නම් මම නම් මගේ පතරංග ජාතකේ වගේ තියන නම ගලවල දානව අම්මප . නලින්ගේ දෝණිගේ නම ප්‍රියමනාප ලස්සන නමක් , වාසගමක් අගින් තිබුනාය කියල ඒ දරුවට වෙන සෙතක් නෑ . එකම දේ ෆෝම් පුරවන කොට අතිරේක කරදරක් වෙන එක විතරයි .

      Delete
    9. මටත් මගේ මේ ඉස්සරහටයි පස්සටයි තියෙන නම් කෑලි දෙක හෙන වදයක් තමයි ඉස්සරත්... හැබැයි අන්තිම නම අයින් කරන එකට වඩා මම නම් කැමති මුල් නම් දෙක අයින් කරන්න... සීයගේ නමට මම ඇත්තටම ආසයි... ප්‍රැක්ටිකලි වදයක් උනත් දැං තියෙන කියවන්න බැරි නම් වලට වඩා වාසගම් ඇත්තටම හොදයි...

      අපි මේ නම ගැන කතාව ඇඳගෙන යන එකෙන් වෙන්නේ කෙල්ලට කමෙන්ට් ටික කියවන්න එපා වෙන එක.... ඒ නම ලස්සනයි.. නලීන් අයියා අයින් කරලා තියෙන්නේ අන්තිම නම නිසා මං මුලින් කිව්ව එක ගනං ගන්න එපා...

      Delete
  9. උඹ කරන වැඩේ හරි බං. කෙල්ලට කියල දෙන්න ඕන උඹ කිව්ව වගේම මේක ඇබ්බැහිවීමක් කියලම තමා. මුලින් ඉගෙනගෙන පසුව පුළුවන් නේ මේ දේ කරන්න.. උඹේ අදහස් හරි කෙල්ලට සතුටක් දෙන්න කරපු විදිය සාධාරණයි. කෙල්ලටත් සුභ අනාගතයත්..

    ReplyDelete
    Replies
    1. අද හවසට එයා මේ සේරම තනිවම බලයි.තුති යාලුවා.

      Delete
  10. හරිම සතුටුයි නලින් අයියා... ඔන්න දැන් නම් චූටි දූ අපේම කියලා හිතට දැනෙනවා... අපූරු දක්ෂකමක් තියෙන්නෙ...නලින් අයියා දන්නවද...කවියක් පද බඳින්න පුළුවන් කියන්නෙ ඒ වගේ කෙනෙකුට සංවේදී හදවතක් තියෙනවා කියන එකයි...චූටු දූගේ සංවේදී හදවතෙන් ලියවුන පේ පද ටික අපූරුයි...පුංචි කෙල්ලනෙ තාම...මේ වගේ ලියන්න ගත්තම අඩු පාඩු හදා ගන්න පුළුවන්...

    ඇයට වාසනාවන්ත අනාගතයක්...!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටු ඇයට හොඳ අත්වැලක් වේවි. මේ සේරම එයාට තනියම බලන්න දෙනවා.

      Delete
  11. දුවගෙ කවිය අගෙයි නලින් අයියේ. පුංචි ළමයි කවි ලියන්න හිතන එක ගැනත් මට නම් සතු‍ටුයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හෝ ලියන්න ගත් එක ගැන මටත් සතුටුයි නගා.

      Delete
  12. මා පාසල් යන කාලයේ අන්තර්ජාලය ලොකුවට ඔලුවට ගහල තිබුනෙ නැතත් කොම්පියුටර් ගේම් සෙල්ලම ඔලුවට ගහල තිබුනේ. මගේ අම්මයි තාත්තයි අපිට සෙල්ලම් කරන්න දුන්නේ සිකුරාදා,සෙනසුරාදා, ඉරිදා විතරයි. ඒකත් දවසට පැයයි. ඊට අමතරව මොකක් හරි වැදගත් වැඩක් තියෙනවා නම් කරන්න වෙනම විශේෂ අවසරයක් ඕන. අධීක්ශනය කියන්නේ හොඳ දෙයක්.! :)

    ReplyDelete
    Replies
    1. අපේ දෙන්නත් ගේම්වලට හා කාටූන්වලට වහ වැටිලා. ඒ නිසාම තමා සීමා මායිම් යොදා ඇත්තේ.

      Delete
  13. නෑ නෑ.. කෙල්ලන්ට නම් වැඩිපුර නිදහස නොදුන්නට කමක් නෑ. දුන්නත් පූර්ණ අධීක්ෂණය යටතේ. ෆේස්බුක්, මොබයිල් ෆෝන්. ඔය 2න් තමයි කෙල්ලො මූලිකවම නාස්ති වෙන්නෙ. අහපු දැකපු දේවල් නිසා කියන්නෙ..
    දෙයක් උනාට පස්සෙ පසුතැවිල වැඩක් නෑනේ..
    //හුටා.. එච්චර ලොකු ළමයි ඉන්නවද ? මං මචං කියලත් කිව්වද කොහෙද. පින්තූරෙ ගොඩක් තරුණ පාටයි. :D සොරි හොදේ. මට තාම 20 පිරුණ විතරයි.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බං මෙතනදී සියාත් මචා තමයි...

      Delete
    2. ඒව ගනන් ගනන් ගන්න එපා. වයස ගැන හිතන්න එපා.අපි කවුරුත් මිනිස්සු.

      Delete
  14. තාත්තගේ අදිපාරෙනේ යන්නේ යන්න දෙන්න අයියේ. හැබැයි. ඔයාලගේ පූර්ණ අදීක්ෂණය යටතේ.

    ReplyDelete
  15. ඔබ කර තිබෙන්නේ ඉතාම බුද්ධිමත් වැඩක්. ඒ දරුවා පරිගණකයට ඇබ්බැහි වුනොත් අධ්‍යාපනයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. අනික් පැත්තෙන් එයාගේ දක්ෂකම් මොට නොකර ඊට අවස්තාවක් ලබාදීමත් අගය කලයුතු පියවරක්. පත්තර වලට ලියන්න හුරු කරවන්න. ළමා පිටු තියනවනේ. ගුවන්විදුලියේත් තියනවා කවි/කතා ලියා යැවිය හැකි වැඩසටහන්. රූපවාහිනිය? අනේ මන්දා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  16. තුල්යාමී දුවේ, ඔයාගේ කවි හරිම ලස්සනයි. පත්තර වලටත් රේඩියෝ එකටත් ලියන්න. ඔබට සුබ අනාගතයක්.

    මම විචාරක සීයා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. රණවිරු තුමණි, ඔබේ ඔවදන් රටක් වටී.දෙස බස දෙකම පිළිබඳ ඔබ හොඳ විද්වතෙක්. එය ඔබගේ පැරණි ලිපියකින්ම මා වටහා ගෙන ඇත.

      Delete
  17. දුගේ නම හරිම ලස්සනයි. .අපුරු හැකියාවන් ඇති දුවක්. මෙවයසේදී ඔය ටික ඉහටත් උඩින්.

    බ්ලොග් නේද . මන් කියන්නේ ලියන්න දෙන්න . හැබැයි මේ අවකාශයේ ප්‍රසිද්ධ නොකර. .නිකන් දිනපොතක් වගේ . කවද හරි දවසක ප්‍රසිද්ධ කරන්න . අනික නලින්ගේ දුව ලෙස නොව ස්වාධින ලෙස .
    මේ තාක්ෂණික යුගයේ උපන් ළමයි එයින් වෙන්කරන්න අමාරුයි . හැබැයි ආරක්ෂිතව පරිහරණය කියා දීම වැදගත්.
    අපේ ලොක්කිට බ්ලොග් එකක් තියෙනව . හැබැයි ඉස්කෝලේ අධීක්ෂණය යටතේ . එයා හිතන්න බැරි තරම් ලස්සන දේවල් ලියනවා . බ්ලොග් එක ඒගොල්ලන්ගේ ඉගෙනිමේම කොටසක් .

    ReplyDelete
    Replies
    1. බින්දි දැනටත් ඒ අවකාශය දී තිබෙනවා. පරිගණකයේ එයාට අවසර තියෙන්නේ ඒ දෙවල් කරන්න විතරයි. ඉන් ඔබ්බට යන්න තාම අපි දෙන්නගෙන් කවුරු හරි ළග ඉන්නම වෙනවා. ඒත් අපට වඩා මේ දරුවො දක්ෂයි. අපි වළක්වන්න පෙර එයාලා අපේ කනේන් රිංගා යන්නත් හැකියි. ඒත් මා හිතන්නේ එයාලට දෙන ආදරේත් එක්ක එහෙම නොවෙයි කියලයි.

      Delete
    2. @ බින්දි...
      දුවගේ නම ගැන ඉහළින් ඇති චන්දිගේ කමෙන්ටුවට පිළිතුරක් ලෙස දමා.

      Delete
  18. තුල්යාමී සඳෝදා අමාරශ්මි දියණියත් තාත්තාගෙ අඩි පාරෙ යන බවට පෙර නිමිති තමයි ඔය පහළ වෙලා තියෙන්නෙ... ඒ ගැන සුභ පැතුම්...

    නළින් අයියා බ්ලොගේ අකුරු වල ප්‍ර‍මාණය ටිකක් වැඩි කරන්න... වැඩිමහල් අය මෙය කියවනවා නම් ඒ අයට එය පහසුවක් වේවි...

    රත්නාවලිය හෙවත් වතුර ටැංකිය ලග පාසලේ ටයි පටියක් දකිද්දිත් සිරාව තාම ගැස්සෙනවා...

    ReplyDelete
    Replies
    1. යකෝ සිරො මං බැන්දෙත් මගේ දුවගේ අම්මත් රත්නාවලීම තමා

      Delete
    2. මටත් එහෙන් දෙන්නෙක්ම සැට් වෙලා හිටියා... දැන් නෑ..

      Delete
  19. පද පෙලනම් අපූරුයි..

    O/L වලින් පස්සේ තමන්ගේම බ්ලොග් එකක් කරන්න ඉඩදෙනවනම් තමා හොද.එතකන් ලියවෙන නිසදැස් ටික එකතු කරන් ඉන්න කියන්න.පස්සේ පළකරන්න බැරියැ එයාගෙම බ්ලොග් එකේ.

    ReplyDelete
    Replies
    1. එයාට දැනටත් පරිගණකයේම ලියා ගබඩා කරගන්න අවස්ථාව තියෙනවා ඉෂාන්

      Delete
  20. දුවගේ හැකියාව ඉතා ඉහළින අගය කරනවා ,මං බ්ලොග් ලියන නිසා ඔන්න දැන් අපේ අක්කගේ ලොකු කොල්ලටත් බ්ලොග් එකක් කරන්න ඕනලු ,මිනිහ තාම 7 වසරේ ,අක්කා කිව්වා ඉස්සෙල්ල ඉගෙන ගන්න ,පස්සේ බ්ලොග් ලියන්න පුළුවන් කියලා ,

    ReplyDelete
    Replies
    1. ඇත්ත ආසාව එනවා. එත් මේක පිස්සුවක් කරගන්න ඇති ඉඩ කඩ වැඩියි

      Delete
  21. නලින් මාමගේ තීරණේ ගොඩක් හොඳයි.
    ඒ කාලේ කම්පියුටර්,ෆෝන් එහෙම තිබුනනං මමත් අද මේ ඉන්න තැන ඉඳීවි කියල හිතන්න බෑ.
    මට ෆෝන් ඒකයි ලැප් එකයි දෙකම අරන් දුනනේ උසස් පෙළ ලියල ඉවරවුනාට පස්සේ..
    නංගි බබා විභාගේ ලියල ඉවරවෙනකල් එයාගේ කවි මාමගේ බ්ලොග් එකේ දාන්න.ඒක හොඳයි නේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කෙල්ලත් මට මමා කියනවා. දුකේ බැරුවා. දුවයි මායි අයියයි නංගියි වගේ තමා ඉන්නේ......
      විහිලුවක් ඕන එකක් කියන්න..

      Delete
  22. තුල්යාමිට එන්න කියමු ...
    බ්ලොගක් පටන් ගන්න කියමු...
    පටන් අරන් ලියන්න කියමු අපි ....

    - ඩී -

    ReplyDelete
    Replies
    1. විනාසයක් වෙන්නේ කොල්ලෝ

      Delete
  23. සාමාන්‍යපෙළ උසස්පෙළ පන්තිවලදි බ්ලොග් නොලීවට කමක්නෑ. කාලය මැනේජ් කරගැනිමට පුළුවන්. ඒත් හැකියාවන් මොට වෙන්න දෙන්න එපා. අපි කුඩා කාලයේ මේමොනවත් තිබුණෙ නෑ පත්තරේක රේඩියොවක ලිපියක් දකින්න අහන්න ආසාවෙන් හිටපු කාලයක් තිබුණා. දැන් එහෙම නෑ. සියපුම පහසුකම් එක්ක දරැවන්ට හොඳ දේ කියාදෙන්න පුළුවනි. ඒ අය හොඳ නරක තේරුම් ගනීවි.

    මේවගේ කවි පංති ලියල තමයි අපි කවුරුත් ආරම්භය හදාගත්තේ. ඒ නිසා අවුලක්නෑ

    ReplyDelete
    Replies
    1. මේ ඔවදන දුවගේ හිතට තදින්ම වදිවි දයා

      Delete
  24. අපුරු නිර්මානයක්.... මම නම් හිතන්නේ හැම දේම සමබර කර ගන්න ඉගැන්නුවොත් යහපතක්ම වෙවි..

    ReplyDelete
  25. මට නම් මේකේ අකුරු ටික කියවගන්න බැහැ පොඩි
    වැඩී.දුවගේ කවි ගැන නම් කියන්න තියෙන්නේ හරිම ඉහලයි..
    කරුණා කරලා එක එක්කෙනාගේ විකාර අහල දුවගේ මොලේ
    විනාස කරන්න එපා..පොඩි උන්ට තාල , මාත්‍ර විකාර කියවල
    ඒ ළමයින්ගේ හැදීගෙන එන මොළ පොඩි කරන්න එපා..
    මොන තලයක් වත් කෙහෙල් මලක් වත් වැඩක් නෑ ආසාවට
    ඒ ළමයට කවි ලියන්න දෙන්න..
    ඊට පස්සේ ටික ටික ලොකු වෙද්දී ( 15 ,17 ) කියල දෙන්න මෙහෙම
    රීති, ක්‍රම තියෙනවා.ඒව පාවිච්චි කලොත් තව මීට වඩා දෙයක්
    කළහැකි කියල...වැදගත්ම දේ කවි ලියන්න මොන ලෝකෙවත්
    නීති නැහැ ..බින්දිත් එකග වෙයි මේ මන් කියන දේට ..කරුණාකරලා
    හොද නිර්මාණ බිහි කරන්න යන්න එපා, ඒවා ඉබේම බිහි වෙයි
    පැත්තක ඉඳන් තාත්තෙක් විදිහට ළමය ලඟ හිටියොත් ..
    බබාට ලස්සන පොඩි බ්ලොග් එකක් ඇරලා දෙන්න..අපි එනවා
    කියන්න හැමදාම බලන්න අලුත් කවි තියේද කියල.....

    ගන්න පද පෙළ හිතේ හැංගුන
    තාලේ මග හැර කියනු මුල් වර
    දෙන්න පෙර එය දන්න ලස්සන
    වදන් අමුණව තාලේ එක් කර..

    මේක පෙන්නන්න ඒ දරුවට ..
    ඔය කවියේ මොන මගුලක් වත් නීති නෑ..
    බර වචනත් නෑ .ඒත් ඒ දරුවට ඕන ඔක්කොම
    ඔකේ තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේ වන විටත් ඇය මේ සේරම බලන්න ඇති . ඒ ඇයට රිසිසේ මේ කමෙන්ට් කියවන්නට අවස්ථාව හවස් වරුවේ ලබා මා එතැනින් ඉවත්ව සිටි නිසයි.
      අගනා ඔවදනක් ඔබට ස්තුතියි.

      Delete
  26. ලස්සන කවි ටික.. දුවගේ හැකියාව අගය කරනවා. ඒත් මට හිතෙන්නේ අන්තර්ජාල පරිහරණය කරන්න තවම පුංචි වැඩියි දුව කියල. එයා ඒ මට්ටමට එනකල් නලින් අයියට පුළුවන් නේ ඒ නිර්මාණ පල කරන්න. අපි එන්නම් කියවන්න..

    සුබ පතනවා දුවට!! හොඳින් ඉගෙන ගෙන හොඳ පුරවැසියෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. එන විදියට අවස්ථාව දෙනවා. මං වැඩිය නීති දාන්න කැමති නැ. ඒත් ඒ දේවල් වක්‍රව ක්‍රියාවේ යොදවනවා

      Delete
  27. සඳෝදා ලස්සනයි ඇත්තටම ඔයාගේ කවි ටික..ගොඩක් වටිනවා..ඔයාට මේ පොස්ට් එකේ කමෙන්ට් තාත්තා පෙන්වනවා කියලා මම දන්නවා...ඔයාට මම සුබ පතනවා..තව ලියලා තාත්තට දෙන්න.අපි බලනවා..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිහිනය...

      Delete
  28. නලින් අයියා...පේනවා නේද...හැමෝම මේ පැත්තෙ ඇවිත් ආසාවෙන් එයාලගෙ අදහස් ලියන අපූරුව... මේ වගේ ඔයාගේම අදහස් තමා අපිට ඕනේ... :D

    ReplyDelete
  29. @ pradeep

    ප්‍රදීප් මේක පොඩි බලන නිසා තමා මන් උබට මොකුත්නොකීවේ..එහෙම නැත්නම් මට කියන්න තියෙන්නේ" අනේ පලයන් බන් ලොරි ටෝක් නොදී" කියල. ..ලැජ්ජාවක් කියල දෙයක් නැත්නම් දසුනිගේ , සයුරිගේ වගේ ඕන තරම් මේකේ බ්ලොග් තියෙනවා හත් අවුරුද්දක් කවි ගැන ඉගෙන ගන්න පුළුවන්..මට දැන් එකින් එක දාන්න මතක නැහැ. හිතා ගන්න බැහැ ඒ මිනිස්සුන්ගේ පොස්ට් දකිද්දී අපි මොන හිපාටුවොද කියන දේ හිතෙනවා..අවංක වෙයන්කෝ බන් ..බලපන් ඒ මිනිස්සු අඩුම තරමේ ඒ අයගෙම බ්ලොග් එකේවත් කමෙන්ට් දාන්න එන්නේ නැහැ. එහෙමද බන් වංසේ කබල් ගගා ඉන්න හිවල්ලු..ඒ අය අඩුම තරමේ කවියෙන් උත්තරයක් වත් දෙන්න කැමති නැහැ නිහතමානී කමට..මට නම් ගුත්තිලේට වැඩිය වටින , බ්ලොග් වල ඇත්ත අයිති කාරයෝ හම්බුනොත් දණ ගහල අනේ මටත් සාස්තරේ උගන්නන්න කියන්න තරම් වටින අය ඉන්නවා..දසුනි ඒ වගේ කෙනෙක්. .බලපන්කො ඒ අය මෙහෙම කමෙන්ට් එකක් වත් දාන්න එනවා දැකල තියෙනවද ?එයාලට ලැබෙන තැග්ග දෙන්න වත් ඒ අය නැහැ ....ඉස්සෙල්ලම පඩ ෂෝ එක පැත්තක තියල නිහතමානී වෙයන්..හිත් වල කුණු කම තියන් කවි ලියන බැහැ ..මගදී හිර වෙනවා...පුළුවන් නම් මෙතන ටිකක් බලපන් ..මේ බින්දී අක්කයි මායි නිකමට කරපු දෙයක්..බලපන් ඕකේ යවහන් දෝසෙයි , මාත්‍රා දෝසෙයි , ප්‍රවීණ අනුමැතියයි මුකුත් නැහැ ..


    ඒත් අපි දෙන්න පුදුම විදිහට සතුටක් ලැබුවා අපි  කවි කාරයෝ නොවිලත්...  

    ReplyDelete
    Replies
    1. meya harima baka panditahyek wage appa...okkoma dannawa kiyala hithagena nuwuwamana than walata hota danawane.

      Delete
    2. ithin ayi oka kiyanna
      ohoma awe hawi kaari..?
      :D

      hane manda...

      Delete
  30. දෝණි දක්ෂයි... ඒත් මමත් හිතන්‍‍‍නෙ දැනට අම්ම තාත්ත‍ගෙ අධීක්ෂණය ඇතුව පරිගණකය පාවිච්චි කරන එක ‍හොදයි කියලයි. ‍මේ විදියට ‍දෝණි‍‍‍ගෙ නිර්මාණ පළ කරන්න. මින් පස්‍සෙ අපි ‍දෝණි‍ගෙ නිර්මාණවලට ප්රගතිචාර දක්වන්නෙ එයාටමයි. තාත්තට ‍නෙ‍වෙයි.

    දෝණි... ඔයාට ලස්සනට කවි ලියන්න පුළුවන්. මට හි‍තෙන්නෙ දැනට ඔයා තාත්ත‍ගෙ බ්‍ලොග් එ‍ටකේම කවි පළ කරන්න. අපිට පුළුවන් ඒව බලන්න. අ‍පේ අදහස් ඔයාට කියන්න. ‍ඉ‍ගෙනී‍මෙ වැඩ අතපසු කර ගන්නෙ නැතිව අමතර වැඩ කරන්න. ‍මොකද ඔයාට ඉ‍ගෙනගන්න ති‍යෙන ‍හොඳම කා‍‍‍ලෙ තමයි ‍මේ. බ්‍ලොග් ලියන්න නම් ඉස්සරහට ඕන තරම් කල් ති‍යෙනවා. ඔයා ‍මේ ලියල ති‍යෙන ටීචටත් ‍මේ කවි ටික ‍පෙන්නුවොත් එයත් ‍‍ගොඩක් සතුටු ‍වෙයි කියල මට හි‍තෙනවා...

    ReplyDelete
  31. එයාට ලියන්න දෙන්න. මම නම් කියන්නෙ ගෑනු ළමයි වුනත් මල් වගේ හදන්න හොඳ නෑ කියලා.මොනවා වුනත් කවදා හරි එයා මේව ගැන දැන ගන්න එපෑයෑ. ඒ හිඳ එයාට නිතරම අවවාද දීලා හදාගන්න ඕන. මම යන ඒ.එල් ක්ලාස් එකට සම-හරක් ඇන්ටිලා එනවා දුවවත් එක්ක. අපේ යාලුවෝ සෙට් එක නම් කියන්නේ ඒ දුවව විශ්වාස් නෑ කියලා. ඉතින් කෙල්ලට යන්න ඕන පාර කියුවහම එයාල යයි. කවදා හරි ට්‍රැක් එකෙන් එලියට යයි කියල හිතුනොත් පොඩ්ඩක් සැර වැර කරන්න. එතකොට වැඩේ ගොඩ......................!

    ReplyDelete
  32. අයියේ, මම කියන්නෙ දුවට බ්ලොග් ලියන්න පුරුදු කරන්න නෙමෙයි, ඒත් මගෙ ගෙදර අය මගෙ ලියන වෑඩ වලට උදව් කලේ පහු වෙලා අදටත් මට හිතෙනව මට ලබුන තල්ලුව මදි කියල. එ නිසා පුලුවන් විදිහට ඒකට උදව් කරන්න....
    මම බ්ලොග් ලියන්න අලුත් එනිසා වෑරදි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT