සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අපූරු ගමනක නිමාව
දින දෙකක්ම සෙරෙන්ගෙටි වල ගතකරපු අපි ඊළඟ දවසෙ ‘තරන්ගිරේ’ (Tarangire) යන්න පිටත්වුණා. ඒ යන අතරමග  දිගටම චූටි චූටි මසායි (Masai) ගම්මාන කීපයක්ම පහුකරගෙන ගිහින් එක ගමක චාල්ස් වාහනේ නතර කළා. අපිව මුණගැහෙන්න ආව මසායි තරුණයාට ඉතාමත් හොඳට ඉංග්‍රීසි පුළුවන් නිසා සන්නිවේදන කටයුතු පහසුවුණා හුඟක්ම.

මසායිවරු අපිව පිළිගත්තෙ ගීතයකුත් එක්ක ඉදිරිපත් කළ හරිම ලස්සන සාම්ප්‍රදායික නැටුමකින්. ගැහැණු පිරිමි දෙගොල්ලන්ම එකතු වෙලයි නැටුම ඉදිරිපත් කළේ: හැබැයි වෙනම කණ්ඩායම් දෙකක් විදියට. වඩාත්ම සිත් ගත් අංගයවුණේ මසායි තරුණයින් එක තැන හිටගෙන උඩ පැනපු විදිහ. එක එක්කෙනා මාරුවෙන් මාරුවට තමන්ගේ වාරය ආවම උඩ පනිනවා. සමහරු අඩි දෙකක් විතර!! ඒ දිහා බලාගෙන චූටි මසායි පැටව් පැත්තකට වෙලා උඩ පනින්නෙ ‘ලොකු වුණාම අපිත් පනින්න පුරුදු වෙන්න එපායැ’ කියලා හිතලා වගේ. 

එක් උරහිසක් වැහෙන විදියට පිරිමි අය ඇඳගෙන ඉන්න තද පැහැති රෙද්ද මසායි අනන්‍යතාවයේ කැපීපෙනෙන ලකුණක්.  කාන්තාවන්  පබළුවලින් කළ වෛවර්ණ ආභරණ පැළඳ‍ගෙනයි ඉන්නේ. ආභරණ නිර්මාණය කරන්නෙත් ඔවුන්මයි. කාන්තාවන්ට කොණ්ඩය වැවීම තහනම්. කතා කර කර ඉන්න අතරෙ කවුදෝ මගෙ කොණඩෙ අදිනවා දැණුනා. පිටිපස්ස හැරිලා බැලුවම මසායි කාන්තාවො දෙතුන් දෙනෙක් හිනාවෙවී මගෙ  කොණ්ඩෙ අතගානවා. කොණ්ඩෙ දිගට වැවෙනවා කියලා සමහරවිට දන්නෙත් නැතුව ඇති.



මසායි ගමක් කියන්නෙ අතු බෙදී ගිය එක පවුලක්. හැම ගමක්ම ඔවුන් තනා ඇත්තේ ලොකු ගසක් මැදි කරගෙන රවුම් හැඩයට. මේ ගහ වටේට හරිම චූටි ගෙවල්. ගමේ සීමාව වන්නේ තාප්පයක් වගේ අඩි 4ක් විතර උසට ගොඩගැසූ වියලි අතු කැබලි. ඒ සඳහා ඔවුන් විශේෂයෙන්ම භාවිතා කරන්නේ කටු සහිත ඇකේෂියා අතු. සිංහයින්ගෙන් සතුන් ආරක්ෂා කරගැනීම පහසු නැති බවයි කියන්නේ. 



හැම ගෙදරක්ම එකම විදිහයි. ගෙවල් හැදීම භාරවන්නේ මසායි කාන්තාවන්ට. තනා ඇත්තේ සිටවූ ඉනි වලට ගස්වල අතු තබා බැඳ ඒ උඩින් ගොම හා මඩ ගාලා. ගෙදරක උසත් අඩි 4ක් විතර ඇති. ඇතුලට යන්න ඕනේ දෙකට නැමීගෙන.  ඇතුළුවීමට හා පිටවීමට ඇත්තේ ආරුක්කුවක් හැඩැති එක දොරටුවක් පමණයි. ජනේල නැහැ. අතු අතරින් එළිය එනවා ගේ ඇතුළට. හරිම පිරිසිදුයි ඇතුලත. එක තැනක් ඇඳක් විදිහට තරමක් උසට හදලා. අපි කතා කරේ මේ ඇඳ උඩ ඉඳගෙන. ටිකක් එහායින් දර ලිපක්. ඒ වෙලෙත් යන්තමින් ඇවිලෙන දර කැබලි කිහිපයක් ලිපේ තිබුණා.



එක් වැඩිහිටි මසායි පිරිමි කෙනෙකුට විවාහ කිහිපයක් කරගැනීමට අවසර තිබෙනවා. මසායි තරුණියක් විවාහ කරගැනීමට නම්, ඇගේ පියාට, මසායි පුරුෂයෙක් දිය යුතු දෑවැද්ද වන්නේ එළදෙනුන් 10 දෙනෙක්. ඉතිං තමන්ගෙ එළදෙනුන් ගණන වැඩි කරගන්න කැමති මසායි තාත්තලා, ඉල්ලන ඕනෙම කෙනෙකුට දුවව දෙන්න කැමතිලු. හිතාගන්න පුළුවන් නේද විවාහ කීපයක් කරගන්න පිරිමි කෙනෙක් කොයිතරම් පොහොසත් වෙන්න ඕනෙද කියලා.



අපි හිනාවුණා තරුණියකගෙ වටිනාකම කිරි හරක් 10ක්ද කියලා. අපිට කතා කතා කළ මසායි තරුණයා හරිම මිත්‍රශීලියි. නැත්නම් ඒ වගේ කතා කියන්න අපිට බැහැනෙ. පොදුවෙ ගත්තම මසායි කියන්නෙ හුඟක් මිත්‍රශීලී ජන වර්ගයක්. 


චූටි හයිරැක්ස් පෝලිමක්
චූටි මසායි පාසල මගේ හිතේ ඇඳුණු හරිම ආදරණීය මතකයක්.  මේ පාසල කියා හඳුන්වන්නේ, වටේටම බිත්ති කෝටුවලින් හදලා තිබුණු පුංචි කාමරයකට. අපි ඇතුළට යනකොටම මසායි පොඩ්ඩෝ හැමෝම ‘come sit, come sit’ කිය කියා අඬගහනවා ළඟින් ඉන්ඳවාගන්න. හිනා කටයි චූටි මූණුවල. පොළවටම පාත්වෙන්න හදලා තිබුණු කුඩා බංකුවල අපිත් ඉඳගත්තා. එක දරුවෙක් අනිත් අයට 1 සිට 10 දක්වා ඉංග්‍රීසියෙන් කියවනවා. 


පිටිපස්සෙන් ඉඳගෙන ඉන්නේ ගුරු යුවල
මට ඉස්සරහින් හිටපු චූටි පැටියට ඒවා ඇහෙන්නෙවත් නෑ, පිටිපස්ස හැරිලා මාත් එක්ක හිනාවෙවී ඉන්නවා. ගන්න හැම පිංතූරයක්ම ඒගොල්ලන්ටත් බලන්න ඕනෙ. ‘Show show’ කිය කිය අතේ එල්ලුණු විදිහ හරිම හුරතල්. චූටි කට හඬවල් මට තාමත් ඇහෙනවා වාගෙ. තවත් සංචාරකයින් දෙන්නෙක් ඇවිත් අපි එළියට එනකල් බලාගෙන ඉන්නවා. අර දරුවා ආයෙමත් 1 සිට 10 ගණන් කරන්න ලෑස්ති වෙනවා. හයක් හතරක් නොතේරෙන මේ දරු පැටව් දන්නෙම නැතුව වාණිජකරණයට හසුවෙලා කියලා මට හිතුණා.

බලන්න කොච්චර උඩ පනිනවද කියලා
මසායි ගමේ සිට අපි නැවතත් පිටත්වුණා තරන්ගිරේ බලා. සුන්දරත්වයෙන් අනූන මනස්කාන්ත කඳුකරය පසු කරද්දි හිතට ආවෙ ජොහැනා ස්පයිරිගෙ (Johanna Spyri) හයිඩි (Heidi) ළමා කතාව. නොදුටු අප්‍රිකාව ගැන පෙර සිතූ හැටි කොයිතරම් වැරදිද. 


මසායි කාන්තාවන්
තරන්ගිරේ, මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් උසින් පිහිටා ඇති නිසා කලින් දැණුනු සුවදායී දේශගුණය වෙනුවට තරමක් රස්නය දැණුනා.  ලේ උරාබොන කුඩා ‘සේ සේ’ (Tse tse) මැස්සන්ගෙන් පරිස්සම්වෙන්න යැයි දැනුම් දීමක් ලැබුණා චාල්ස්ගෙන්. කැලයේ සමහර තැන්වල නිල් පාට රෙදි එල්ලා ඇත්තේ මැස්සන් ආකර්ශණයට බවයි දැනගන්න ලැබුණේ.  අනෙකුත් වනෝද්‍යානවල වගේම මෙහිත් අලි, ජිරාෆ් ආදී සතුන් පිරී සිටියා. අළුතින් දැක්කෙ රැකූන් (Racoon) රංචු. පුදුම කඩිසර කමකින් මොනාදෝ හාර හාර කනවා. කලින් නොදුටු ලස්සන මුව වර්ගත් කීපයක්ම හිටියා. අනිත් තැන්වලදි දුටු අයට වඩා ප්‍රමාණයෙන් ලොකු වඳුරන් හා වල් ඌරු රංචුත් කැපී පෙණුනා. 


මසායි කාන්තාවන්ගේ නිර්මාණශීලිත්වය
තරන්ගිරේට ළංවෙන්න ළංවෙන්න කැපී පෙණුනු අංගයක්වුණෙ විශාල Baobab ගස්. අපේ නවාතැනෙත් විශාල ගස් කීපයක්ම තිබුණා. එළිමහන පුරාම, බැලූ බැලූ අත පිරිලා හිටියෙ හයිරැක්ස්ලා (Hyrax).  වලිගයක් නැතිවුණත් බැලූ බැල්මට පේන්නෙ ටිකක් ලොකු ලේන්නු වගේ. ඒත්, පුදුමයි නේද, මේගොල්ල වැඩියෙන්ම නෑකම් කියන්නෙ අලින්ටලු! 
පහුවදා; අපි ටැන්සානියාවෙ ගතකරන අන්තිම දවස. උදේම පිටත්වුණා ආපසු ගමන. නවාතැන ළඟටම ඇවිත් ජිරාෆ්ලා ගොඩක්. චාල්ස් කියනවා අපිට සමුදෙන්න ඇවිත්ලු. එහෙම හිතනකොටත් දුකයි. උදෙන්ම නිසා කුරුල්ලෝ ගොඩක් බලාගන්න පුළුවන්වුණා.


මසායි පාසල
 චාල්ස් අපිව අරූෂා වලට ගෙනාවා. අරූෂා වලින් දවල්ට කාලා, නයිරෝබි ගමන පටන්ගත්තා.  නයිරෝබි වලට එනකොට රෑ 8.30ට විතර ඇති. දිනය දෙසැම්බර් 24 නිසා නවාතැනට ඇතුළුවෙනකොටම දුවටයි පුතාටයි නත්තලට චොක්ලට් පාර්සල් දෙකක් ලැබුණා. මේ අප්‍රිකාවෙ ගතකරන අන්තිම රැය! වෙන තැනකට ගිහාම දැනෙන, දාලා යන්න ලෝබ හිතෙන හැඟීමට වඩා, මේ සමුගැනීම දැනුනෙ හරිම සංවේදී විදියට. සජීවී පරිසරය එක්ක ගැටුණු නිසාදෝ මන්දා, අවසානය වනවිට අපිත් ඒ පරිසරයෙම කොටසක් වෙලා වගේ. අපි ටැන්සානියාවෙ ගියෙ 2010 දෙසැම්බර් මාසෙ. සංචාරයට අවුරුදු 2ක් පිරෙන්න හොඳටම ආසන්නයි. කොයිතරම් කාලයක් ගියත් එහි නැවුම්බව හැමදාමත් ඒ අයුරින්ම තියේවි. 

මේ තමයි Baobab ගස
මේ ටිකත් සඳහන් කළේ නැත්නම් ලිපිය සම්පූර්ණ නෑ වගේ දැනෙනවා. අප්‍රිකානු රටවල් මොනතරම් දුප්පත් වුණත් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන උසස් මට්ටම නම් විශ්වාස කරන්නත් බැරිතරම්. ලාබෙට කරන බාල සංචාරක කර්මාන්තය ඔවුන් අඳුනන්නෙත් නෑ. ඒ නිසාම එහි පැමිණෙන්නෙත් වනයට සතුන්ට ආදරය කරන අය පමණමයි. වනෝද්‍යාන මේ තරම් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට එය විශාල වශයෙන් උදව් වෙලා තියනවා.  සංචාරකයින් ඔවුන්ට ආශිර්වාදයක්ම වී ඇත්තේ ඒ නිසයි.
සටහන හා ඡායාරූප
සමුද්‍රිකා හේරත්

91 comments:

  1. අපූරු චාරිකා සටහනක්...

    ReplyDelete
  2. කවදත් වගේ අපූරු සුන්දර චාරිකාවක මතක සටහන්. අප්‍රිකානු මිනිසුන් වගේම කුඩා දරුවන් හරිම අව්‍යාජයි. ඒ අය අපේ සමහර දරුවන් ගම්වල ඉන්න අය වගේ. බොහොම නිර්ව්‍යාජව කතා කියනවා. මට අදටත් මැවිලා පේනවා අපි ගම්මාන වලට පුතාලගෙ ඇඳුම් දෙන්න ගිහාම දුවන් එන හැටි. පරිසරය ඔවුන් උපරිමෙන්ම ආර්ක්ෂා කරනවා. සංචාරකයින්ට බොහොම ප්‍රියමනාව සලකනවා. අපේ රටේ සමහර හෝටල් වලට ගිහාම එයාල අපිට සලකන්නෙ ආයෙත් එතනට නො එන ලෙසයි. කාලෙකට පස්සෙ මගෙ නංගි මැලේසියාවෙ ඉඳලා ලංකාවට ආවා. මල්ලී වැඩ කරන්නෙ හෝටල් ක්ෂේත්‍රයේමයි. හම්බන්තොට අපි නිතරම යන හෝටලයකට ගියා. ලැබුනේ කුඩම්මාගේ සැලකිලි කියලා එයාලා මට කීවා. ඇයි දන්නෙ නෑ සුද්දන්ට එක විදිහක් අපිට තව විදිහක් කියලා එයාලා ඇහුවා. මමත් අපහසුතාවකට පත් උනා ඒ වෙලාවෙ. ඒ අතින් අප්‍රිකානු රටවල් බොහොම ඉහලින් ඒ එන අයට සලකනවා. ස්තූතියි! සමුදිකා නංගි. මසායි නැටුම් හරිම ලස්සනයි තමයි. සැම්බියන් නැටුම් වල පස්ස නටවනවා වැඩියි. නලින්ටත් ඔන්න ස්තූතිය පිදුවා. වෙලා තියෙන වෙලාවක මෙහෙටත් ගොඩ වෙන්න කො.
    http://chandigesithuviliuyana.wordpress.com/2012/11/05/

    ReplyDelete
    Replies
    1. චන්දි මේවා ඔයාට නම් අමුතු තැනක් නොවෙයිනේ.ඔයාගේ චාරිකා මතකයකුත් එවන්නකෝ අපේ ඉසව්වේ දාන්න. ස්තුතියි

      Delete
  3. අපූරු චාරිකාවක්!!
    ඒ අය අපිට වඩා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව ඇති...

    ReplyDelete
    Replies
    1. අවශ්‍යතා සීමාසහිත වුණාම හිතේ සැහැල්ලුවෙන් ඉන්න හැකියි මලයා

      Delete
  4. ජිවිතය ලැබුවාට අපි මියදෙන්නට පෙර මේ මහ පො‍ළවේ ස්නේහේ විදින්න ලැබෙන්නේ කළතුරකින් කෙනෙක්ට.ආ මඟ දුරයි....යු යුතු මඟ කෙටිද මන්දා...........

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟයි ගයානි. මම පොඩ්ඩක් පිං කරලා තියනවා.මරණය කොයි මොහොතෙද කියන්න අපි කවුරුවත් දන්නේ නැ තමා.

      Delete
  5. නියමයි. මම දෙපාරක් කියෙව්වා මොකද නොදන්න හුගක් දේවල් තිබ්බ නිසා.. පිංතුර ටිකක් ලොකුවට දැම්මනං ලස්සනට තියේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශකයා

      Delete
  6. හරිම සුන්දරයි...මසායි නැටුම හරිම ලස්සන ඇති නේද ? ඔච්චර උඩ පනින්නේ අර වගේ රෙදිත් පොරවාගෙනද ? නයිරෝබි ගැන කියද්දී මට නවල් එකක් මතක් උනා. සමුද්‍රිකා අක්කේ ඔය බයෝබැබ් (Baobab) ගසක් ලංකාවේත් තියෙනවා නේද ? මන්නාරමේ ? මම දැකලා නම් නෑ. ඒත් එහෙම එකක් ගැන අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මේකටනම් උත්තර ලියන්න ඕන සමු තමා. ඒත් එයා මේ දවස් 5කට ලංකාවට ඇවිත් ඉන්නේ. එයාට වෙලාව මද මගේ හිතේ.

      Delete
    2. ස්තුතියි ළිහිණි නංගි. සමාවෙන්න නංගි චුට්ටක් පරක්කුවුණා උත්තර දෙන්න. හරියටම දන්නෙ නෑ. ඒත් මම දන්න තරමට නම් මේ ගස් ලංකාවෙ නෑ.

      Delete
  7. ඇලන්ක්වාටමෙන්ගේ වීර චාරිකාවත් මතක් උනා. ඒකෙත් මසායි සෙට් එකක් ගැන කියවෙනවා නෙව.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ මම ත් ඒ කතාව මතක් වුණා

      Delete
  8. නියමයිනේ

    ReplyDelete
  9. මසායිවරුත් තමන්ගෙ ඡායාරූප ගන්න ඉඩදෙන්නෙ සල්ලි දෙනවානම් විතරයි කියලා මේකෙම කලින් කොටසේ තිබ්බා මතකයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සල්ලි දීල ගණන් ඇති ඩුඩ් අයියේ. නැත්නම් හොරෙන්. නලින් අයිය ළඟ සූම් ලෙන්ස් දෙකක් තුනක් ඇති මයේ හිතේ.

      Delete
    2. මේ ඒ රටේ සංචාරක ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ඉසව්වක් වෙන්න ඇති හෙන්රි.එතකොට සංතෝෂමක් විතරනේ ගෙවන්න වෙන්නේ. මාත් හරියට දන්නේ නැ. සමු උත්තර ලියයි.එයා මේ දවස් වල මෙහේ ඇවිත්.

      කොරලේ මලේ මම නෙමෙයි මේ ගමන ගියේ මගේ යාලුවා.

      Delete
    3. ඔව්, මසායි ගම බලන්න අපිට මුදල් ගෙවන්නවුණා. ගණුදෙණු අවසන්වුණාට පස්සෙ තමයි මේ හැම විස්තරයක්ම දැනගන්න ලැබුණෙත් සහ නිදහසේ පිංතූර ගන්න ලැබුණෙත්. ඒකනෙ මම කීවෙ දරුවන් පවා නොදැනීම වාණිජකරණයට හසුවෙලා කියලා.

      Delete
  10. ඔය මාසි නැටුම ගැන අපිත් එක්ක YF2012 හටිය නෙදර්ලන්ත ස්වෙච්චා සේවිකාවක් විස්තර කළා...වීඩියෝ එකක් පෙන්නලා අපිටත් ඒ හැටියට නටන්න කියලා තව පොඩ්ඩෙන් කොදු ටිකත් කඩනවා!
    ලස්සන ලිපියක් ඈ!

    ReplyDelete
    Replies
    1. අපොයි නාඩියා නැටුවනං මරු එකට හිටිවි.

      Delete
  11. තව පින්තූර ටිකක් දැම්මනම් තවත් වටිනව.

    ReplyDelete
    Replies
    1. පිංතූරනං තිබ්බා ඒත් ඩවුන්කරන්න වෙලා යනවා නේ.

      Delete
  12. හ්ම්ම්ම් ට්‍රිප් එක අපිත් ගියා වගේ දැනුනා. මට පව් කියල හිතුන අර අසරණ ළමයි ගැන හරි හමන් අද්යාපනයක් ලබන්න එයාලට හැකියාවක් නැහැනේ පහසුකම් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේත් මේ වගේ ළමයි කොච්චර ඉන්නවද මලයා.

      Delete
  13. හැමදාමත් වගේ අපූරුයි.... සමුද්‍රිකාට හොඳ වාර්තාමය හැකියාවක් තියෙනවා.. ඇත්තටම ඔයා මාව මනසින් අප්‍රිකාව පුරා එක්කන් ගියා.. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මී මලයා සමු මේක ඉතාම ලස්සනට එයාගේම ශෛලියකින් ලියලා තියනවා

      Delete
    2. මේ නම් වටිනාම දිරිගැන්වීමක්! ගොඩක් ස්තුතියි!

      Delete
  14. මම ඔය විස්තරේ මීට අවුරුදු 25 -30 කට කලින් ලිව්ව වර්ෂන් එකක් කියවලා තියෙනවා... John L Broom ගේ Twenty Thousand Miles in the African Jungle කියන පොතෙන්...

    දැං ඒ කාලේ තිබ්බටත් වඩා වාණිජකරණයක් වෙලා කියලා මට හිතෙන්නේ .. හරියට අපේ වැදි පරපුර වගේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න හිරුවෝ වයස අහුවෙන පොටක් පැදුනා වගේ.

      Delete
  15. Replies
    1. බොහොම ස්තුතියි උමා

      Delete
  16. ටැන්සානියාවෙ ඇවිදල මසායි ගෙයක වාඩි වෙලා ඉදල, පුංචි ඉස්කෝලෙ පුංචි අයත් එක්ක දහයට ගණන් කරල ආපහු ආව වගේ දැණුනා. අපූරු චාරිකා සටහන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමූ මේ ලිපිය හරිම ලස්සනට ලෙංගතුව ලියලා තියනවා තරු

      Delete
  17. උපරිමයි කියන්නේ.. සුපිරියි...
    ජව වේවා!
    දිගටම ලියපං!

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු...හැබැයි මේ ලිපිය ලිව්වේ සමුද්‍රකා එයා ගිය චාරිකා තව තියෙනවා.

      Delete
  18. නියම චාරිකා සටහනක්..
    ඊලගට කොහේ ගිය චාරිකාවක් ගැනද ලියවෙන්නේ?

    ReplyDelete
    Replies
    1. තව තැන් කීපයක්ම තියනවා ලියන්න. ඉදිරියේ දි හමුවෙමු කෝ ඒවත් එක්ක.

      Delete
  19. ම්ම්.. මසායි වරු ගැන නම් අහලා තිබ්බා, පිරිමින් අඩි 6 විතර උස හැල්මේ දුවන්න හැකි ජාතියක් බවත් ඔවුන්ගේ තද පාට ඇඳුම් ගැනත් දැනගෙන හිටිය. ඒත් අද තමා දන්නේ මේ තරම් විස්තර ඔවුන්ගේ ගෙවල් ගැන එහෙම. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඇලෙක්ස්. ඔබටත් ස්තුතියි

      Delete
  20. අපූරුයි... මාත් ගියා වගේ දැනුනේ.. අනේ අර මාල වළලු දැක්කම ලෝබකමේ බෑ අප්පා...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණූ මාල වලලු වලට මේ තරම් ආසද. ඔබටත් ජය වේවා!!!
      සිනා බෝ වේවා!!!

      Delete
  21. ඒ සරල ජීවිතේ ගොඩක් නිදහස් ඇති මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. සීමිත අවශ්‍යතා ඉතින් නිදහස් ජිවිත පැතුම්

      Delete
  22. මසායිවරු ගැන මං මුලිංම දැනගත්තේ රූපවාහිනී එකේ ගිය කාටුන් එකකිං..
    නමනං මතක නෑ..
    හොද විස්තරයක් නලීන් අයියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා මලයා ඔයාටත්...

      Delete
  23. හරිම අපූරු චාරිකාවක්..දවසක මමත් යන්න ඕන ලෝකෙ වටේ.. 'ඒ දිහා බලාගෙන චූටි මසායි පැටව් පැත්තකට වෙලා උඩ පනින්නෙ ‘ලොකු වුණාම අපිත් පනින්න පුරුදු වෙන්න එපායැ’ කියලා හිතලා වගේ' මේ ටික කියවද්දි නම් මටත් මේ නැටුම බලන්න ආස හිතුනා..

    ReplyDelete
    Replies
    1. වෙලාවක යන්න අවස්ථාවක් උදාවේවා කියා පතනවා ශම්මි

      Delete
  24. හතරවෙනි ලෝකේ කියල සමහරු හඳුන්වන අප්‍රිකාව ..අපේ ගෙදර එක්කෙනා නම් ටැන්සානියාව උගන්ඩාව කෙන්යාව මොසැම්බික් දකුණු අප්‍රිකාව වගේ රටවල ගිහින් ආවා . අපිත් ඉතියෝපියා ගියාට මේ වගේ ගෝත්‍රික මිනිස්සුන් බලන්න නම් බැරි වුනා .

    අප්‍රිකාව ගැන මාත් හිතන් හිටිය දේවල් ගොඩක් වෙනස් වුනා . අප්‍රිකන් රටවල් වල වැඩ කරන්න ලැබුන අවස්ථාත් අපි එපා කිවේ ළමයින් ගැන කල්පනා කරලා . ට්‍රිප් එකක් ගිහින් එන්න හොඳයි. හැබැයි මේ පාර මෙහෙන් මාරු වෙලා ගිය ගොඩක් ගියේ අප්‍රිකාවට . විශේෂයෙන් ටන්සනියාවට .

    ඔන්න ඔය කිව මසාය් කෙනෙක් ඇමරිකාවට ගිය වැඩසටහනක් බැලුවා මතකයි. ඔයා ඇහුව වගේම එහෙ ගැහැණු අයත් ඇහුවා මසායිලගේ කාන්තාවෝ ගැන .
    ස්තුතියි ලස්සන විස්තරේට .

    ReplyDelete
    Replies
    1. ඔන්න බින්දි ගේ පැටව් දෙන්න ලොකු වුණු ගමන්ම ගිහින් එන්න අවස්ථාව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

      Delete
  25. අපුරු චාරිකා සටහනක්..
    ඇත්තටම මේ ලෝකේ තව කොච්චර තැන් තියෙනවද අපිට චාරිකා කරන්න. :)
    මේ සමකය වටේ යන පළමුවෙනි වතාව.
    ඉතිරි ලිපි ටිකත් හිමින් සීරුවේ බලන්නම්කෝ.. :D
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලාම අයිස් ව මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා. කියවලා බලන්නකෝ අපේ චාරිකා සටහන් පෙළම. ස්තුතියි.

      Delete
  26. අපූරුයි නලින් අයියා, දැක්ක ගමන් මතක් වුනේ ජැක්සන් ඇන්තනි මහත්තයගෙ සලන්හන්තේ වැඩසටහන.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මටත් ඒක මතක් වුණා.

      Delete
  27. මේ චාරිකා සටහනේ වටිනාකම වැඩිවන්නේ තවත් කාලයක් ගියාමයි. ඒ නිසා මේ සම්පුර්ණ චාරිකා සටහන සුරක්ෂිත කර තබාගන්න.

    පුද්ගල ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ මුහුණු දැක්වෙන සමීප ඡායාරූප ඉදිරිපත් කරනවානම් වඩා හොඳයි. ඒ වගේම මධ්‍යම සමීප ඡායාරුපත් යොදනවානම් වඩා හොඳයි.

    මසායි වරු ගැන කියනකොට මට මතක වුනේ මීට ටික කලකට ඉහතදී මා නැරඹු චිත්‍රපටියක්. 'ද වයිට් මසායි'

    http://www.imdb.com/title/tt0436889/

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක,මගේ චාරිකා සටහන් පෙළ දිනෙක පොතක් සේ එළි දක්වන්න බලාපොරොත්තුවක් තියනවා. ඇත්තටම මා මේ බ්ලොගයට ලියා ඇත්තෙත් බොහෝ අඩු විස්තර ටිකක් ඒවා සම්පූර්ණ කර දවසක බලමු කෝ.

      Delete
  28. නියමයි අක්කේ ගියපු tour මෙච්චරද ? ,තව තියෙයි නම් පොස්ට් දාන්න

    ReplyDelete
    Replies
    1. මොන අක්කද බොග...??? අක්කා දාලා මේකා රට ගියේ. හික්

      Delete
    2. @ඉමල්ක.. තව ලියැවෙනවා ඉදිරියට

      @දේශකයා...යකෝ මේ මම ගිය ගමනක් නෙමෙයි මගේ යාලුවා හා එයාගේ පවුලේ කට්ටිය ගිය චාරිකාවක්

      Delete
  29. අපූරු චාරිකාවක්නේ...... ෆොටෝස් ටිකත් මරු......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමනළියේ

      Delete
  30. නියමම නියමයි..:) ෆොටෝ ටිකත් අපූරුයි. අර Baobab ගස ටිකක් කඳු මුදුන් වල හට ගන්නා කුරු ගහක් වගේ නේද. මහතත් එක්ක අතු දිග නෑ. කොට මොඩල් :) තව ෆොටෝ ටිකක් ආව නම් නියමයි. මා හිතනවා මේ චාරිකාව සම්බන්ධ තව පෝස්ට් තියෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. චන්දන පොටෝ ලොඩ කරන්න අමාරුයි ඒකයි ටිකක් දැම්මේ

      Delete
    2. චන්දන, Baobab ගස් හුඟක් විශාලයි, උසයි. අතු බෙදිලා තියෙන්නෙ ගස මුදුනින්.
      මේ චාරිකාවෙ අවසන් ලිපිය. නලීන්ගෙන් අවසර අරගෙන පිංතූර විතරක් එක්ක post එකක් දාන්න බලාපොරොත්තුවක් තියනවා. ස්තුතියි විචාරයට!

      Delete
  31. මසායි. ඇලන් ක්වාටමෙන්ගෙ වීර චාරිකාවෙ ඉඳලා මම අඳුනගත්තෙ. දැන් නම් කස්ටිය හොඳයි වගේ

    ReplyDelete
    Replies
    1. දැන් ඒ අයත් වෙනස්වෙලා කාලෙත් එක්කම

      Delete
  32. අප්‍රිකාව ගැන අපේ හිත් වල තියෙන කළු මතකය මෙවැනි ලිපි වලින් සුදු එකක් වෙනවා. මොකද මම තාත්තාගෙන් අහල තිබුනේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ ලංකාවට ආව කාපිරි කියන ජන වර්ගය ගැන. ඔවුන් මිනී මස් කන නිසා ඔවුන්ගේ කටට ඉබ්බෙකුත් දාල තිබුණා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ අඳුරු මතකය සොඳුරු කල කිහිප දෙනා අතරින් මේ ලිපිය සම්පාදනය කල ඔබ දෙපලත් විශේෂයි. ඇත්තටම සංචාරය ප්‍රිය කරන මා වැනි කෙනෙකුට මේවා දුටුවාම එහි යන්න සිතීම අරුමයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මේ කාපිරි කතාව ගැන මම කියන්නම්. ලංකාවට දෙවැනි ලෝක යුද්ධ කාලේ ආව අප්‍රිකානු භටයෝ බ්‍රිතාන්‍ය සෙබළු. ඔවුන්ගේ හිස්වැසුමේ පටි සවි වන බකල් එක (බ්‍රිතාන්‍ය හමුදා හිස්වැසුම) වැටුනේ හරියටම කටට පහලින් වගේ වෙන්න. යටි තොල ට පහලින්. ඒ නිසා කටකතාවක් පැතිරුණා අලුතෙන් ඇවිත් ඉන්න කාපිරි මිනිමස් කනවා ය ඒ නිසා උන්ගේ කටවල් වලට අගුලක් දාලා ය කියලා. ඒ තමා ඔය කතාව.

      Delete
    2. ඔව් සුදික ඉස්සරවෙලාම ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට.චාරිකාවට ලැදි ඔබට වැදගත්ම ලිපි ගනනාවත් මේ අඩවියේ දාලා තියනවා. කියවා බලන්න මිත්‍රයා.

      Delete
    3. ස්තුතියි සුදීක! කළු මිනිසුන් ඉන්න නිසාම අප්‍රිකාව ගැන අපේ හිත්වල ඇඳුණු දේ තවත් කළු වෙන්න ඇති. ගෝත්‍රික විශ්වාස හා අඩු අධ්‍යාපනය වැනි දේ නිසා ඔවුන් තාමත් ඉන්නෙ ලෝකයෙ අනිත් රටවල් වලට පසුපසින්. නමුත් අප්‍රිකාව ඇත්තෙන්ම සොඳුරු මිනිසුන් පිරි හරිත පාරාදීසයක්!

      Delete
  33. අපූරු සංචාරයක් සමකය වටේ යන ගමන් වින්ද....

    ReplyDelete
    Replies
    1. අපූරුම කවි කාරියවත් සාදරයෙන් පිළිගන්නවා. ඔයත් එකක් ලියන්නකෝ ඔබ සිටින රටේ විස්තර ටිකක්.

      Delete
  34. බො‍හොම ස්තූතියි අපව අප්‍රිකාවට එක්කරගෙන ගියාට.

    ReplyDelete
    Replies
    1. සුමිත් ඔයාටත් ස්තුතියි

      Delete
  35. මේක මම කියවපු කතන්දරයක් වගේ.......... ලස්සන චාරිකා සටහනක්.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පාඨකයා.. අපි බලමු තව ලියන්න..

      Delete
  36. මසායි වරු දරුණු පිරිසක් කියලයි මම අහල තිබුනේ.. යුදදයට බොහොම කැමති පිරිසක් කියලා, ඇලන් ක්වාටර්මෙන්ගේ පොත් වල එහෙමනේ තිබුනේ.. සුන්දර චාරිකාවක්.. තවත් පෝස්ට් , ෆොටෝ දකින්න ලැබෙයි කියල හිතනවා..

    ජය..

    ReplyDelete
    Replies
    1. අහිංසක අයට ඒ අයගෙන් කිසිම කරදරයක් නැ.ක්වාටමන්ගේ කතා ටිකක් ප්‍රබන්ධ වලට බරයිනේ.

      Delete
  37. කියෙවුවම ගොඩක් ආස හිතුන. ඇත්තටම මං නම් එහෙට ගියා හිතෙන්. ලෝකෙ කොයි තරම් වෙනස් තැන් තියෙනවද? ඇත්තටම පුදුම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මධු ට එහෙම හිතුනනං මේ ලිපිය ගොඩක් සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.

      Delete
  38. හරිම අපුරු සටහනක් මටත් යන්න අසා හිතුනා

    ReplyDelete
    Replies
    1. යමු යමු සචිත් මලේ හොඳ ගමනක්

      Delete
  39. ස්තූතියි බන්...

    ඔන්න මේක කියවපුවම මම අර අහපු පොත ආයෙ මතක් වුනා...

    අර කුරුලු මොටා මට අද හොඳටම කරදර කළා.. ඕකට මම....

    ReplyDelete
    Replies
    1. මේකා අයින් කරන්න මම දන්නැ බං. දන්නවනං කියල දෙන්ඩෝ....

      Delete
  40. ගොඩාක් දවසකට පස්සෙ "සමකය"ට ගොඩ වුනෙ....අපු ගමන්ම බොහොම රසවත් සන්චරයක් කරන්න පුලුවන් උනා.
    මෙ විස්තරය කියවනකොට මට හිතුනෙ මසාඉවරුන්ගේ අගය තියෙන්නෙත් මෙ ගොත්‍රික සාමජ පසුබිම පදනම් කරගෙන බව.එක නිසාම ඔවුන් වනිජකරනයට පත් විම වලක්වන්න බෑරි දෙයක් වෙලා...මසඉ කන්තාවන්ගෙ වටිනකම ඈහුවම "කාන්තරයෙ කුසුම" පොත මතක්
    උනා..මසඉ ඉස්කොලේ ගෙන කියවද්දි මතක් උනෙ අපෙ මෙ රචකාවිය ඒ පන්තියෙ පොඩි එවුන් ටික වටකරගෙන බන්කුවක ඉදගෙන ගත්ත බොහොම අපුරු පින්තුරයක් තියනව. එක දෑම්මනම් කට්ටිය ට එක බොහොම රසවත් දසුනක් වෙවි........:)

    ReplyDelete
  41. අදමයි සමකය වටේ බැලුවේ. පොටෝ වගේම කතා වත් ලස්සනයි.. ඉස්සරහට හැම පොස්ට් එකක්ම බලන්නම්කෝ.ස්තුතියි අපිව දැනුවත් කලාට

    ReplyDelete
  42. Better to have videos of the events.

    ReplyDelete
  43. Samakaya godak harawath web pituwak... Ada ahamben hambune. eth digatama Samakaya samaga ideemen denuma wardhanaya keraganna rukulak lebena bawa nam wishwasai

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT