රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-11-20

අනුර වික්‍රමසිංහ ගේ පුරුෂඃපුර අයාලේ ගිය නවකතාවක්!


අනුර වික්‍රමසිංහ පුංචි පහේ බණ දේශනාවක් ද කරමින්; තලු මර - මරා ලිංගිකත්වය විස්තර කරයි.
මිනිස් සත්වයා වැඩියෙන් ම ආශක්ත වන විෂය ක්ෂ්‍රේත්‍රය ලිංගිකත්වය බැවින් ඉතා වේගවත් කියැවීමක් මේ නවකතාවට ආරෝපණය වී තිබේ.
 හැර උකහාගත හැකි; වෙනත් පුරුෂාර්ථයක් හෝ ජීවන යථාර්ථයක් හෝ පුරුෂඃපුර නවකතාවේ නැත.


මේ නවකතාවේ පෙරවදන කියවන පාඨකයා හඟිනුයේ කර්තෘ බණක් දේශනා කරන්නට යන බව ය. ඊළඟට ඔහු දක්වන මනුස්මෘතියේ උපුටනය කියවන කල පාඨකයා හඟිනුයේ කර්තෘ ස්ත්‍රීවාදී නවකතාවක් ගොතන්නට යන බව ය. එහෙත් ඒ එකක්වත් සිදු වී නැත. කර්තෘට හොඳ කතා වස්තුවක් තිබේ. හෛාඳ තේමාවක් ද තිබේ. ඔහු ඒවා ඉබාගාතේ යවමින් ගැහැනු - පිරිමි සම්බන්ධතා දිගින් - දිගටම විස්තර කරයි.


අනුර වික්‍රමසිංහ
පුරුෂඃපුර ප්‍රබන්ධයේ ප්‍රධාන චරිතය ආදිත්‍ය නම් වේ. ඔහු ද සිය පපියා මෙන් ස්ත්‍රී ලෝලයෙකි. සුරා ලෝලයෙකි. පුත්‍රයා නව යෞවනයට පිවිසෙත්ම මාපියන්ගේ ලිංගික ජීවිතයට එබෙයි. එයින් උත්තේජනයක් ලබන ඔහු ගෙදර මෙහෙකාරිය වූ දයා සමඟ ලිංගික ව හැසිරෙති. එය දිගුකාලීන හා අඛණ්ඩ ලිංගික ක්‍රියාවලියකි. දයා ගැබ් ගන්නා අතර ගෙදර මෙහෙකරුවකු වූ රත්තරන් සමඟ පැන යති. ඉනික්බිති ඉගෙනීමට කාලය කැප කරන ආදිත්‍ය එම කාලයෙහි දී සමලිංගික කාමයට යොමු වේ. ස්වයං වින්දනයට යොමු වේ. ආදිත්‍යයට ලිංගිකත්වයෙන් තොර ජීවිතයක් නනැත. එය යථාර්ථයෙක් වුව ජීවිතය සමඟ සූක්ෂ්ම ලෙස එම සිදුවීම් ගළපන්නට කතුවරයා දන්නේ නැත. එබැවින් මේ කතුවරයා නිරූපණය වෙනුවට අමු - අමුවේ සිදුවීම් විස්තර කරයි.
ආදිත්‍ය, දයා, පියා, මව, වරලා, හීනි, ඇනී, සරලා යන චරිත ජීවමාන චරිත ලෙස හැසිරවීමට නවකතාකරුවා අසමත් ය. ලිංගික සිද්ධීන් රැසක් හුවා දැක්වෙන අතර ඉහත කී චරිත කෘත්‍රීම ලෙස එම සිදුවීම්වලට යටත් වේ. කතුවරයා කථාන්දරය අමතක කරයි. ලිංගිකත්වය මතු කරයි. ආදිත්‍ය පළමුව ලිංගික ව හැසිරී ඇත්තේ තමන්ගේ ම සොයුරියක සමඟ ය. අම්මා ඒ බව දැන - දැනත් ඉවසා සිටිනුයේ පුදුම සහගත ලෙස ය. ඈන්ගේ හා ආදිත්‍යගේ සම්බන්ධය විශ්වසනීය බවෙන් තොර ය. කෘත්‍රීම ය. කතුවරයා තමන්ගේ සිහිනයකට අනුව ආදිත්‍ය ලිංගිකත්වය තුළ වීරයකු බවට පත් කර තිබේ. එහෙත් එය බොරුවකි.
ළමා වියේ උපවිඥානයට ඇතුළු වන ලිංගික සිතිවිලි හා හැඟීම් පසුකලෙකදී ඉතා තීව්‍ර ලෙස ක්‍රියාත්මක කිරීමට මිනිසා උත්සාහ දරන බවද; ඒ සඳහා බුද්ධිය මෙහෙයැවන බව ද සිග්මන් ෆෙ‍්‍රායිඩ්ගේ මතවාදයකි. ආදිත්‍යගේ ළමාවියට ලිංගික හැඟීම් ගොනු වන්නේ මව හා පියාගේ හැසිරීම් ද ඔවුන්ගේ බලපෑම් ද නිසා ය. ඒ අතර ඔහුට නිරන්තරයෙන් දකින්නට ලැබෙනුයේ වැඩිවියට පැමිණීමට ඉතා ආසන්න දයා නම් මෙහෙකාරිය යි. ;මහෙකාරිය ළමා ආදිත්‍යගේ ඇඟපත සෝදන්නීය. හිස් පීරන්නීය. ආහාර කවන්නීය. මේ සියල්ල තර්කානුකූලව ගන්නා කල තරුණ පිරිමි ළමයකුගේ හැඟීම් උද්දීපනයට හොඳට ම ප්‍රමාණවත් ය. මේ යථාර්ථය සූක්ෂ්ම ලෙස ජීවිතය සමඟ ද සෙසු චරිත සමඟ ද ගැට ගසමින් පාඨකයාට ජීවිතාවබෝධයක් ලබා දීම සාර්ථක කතුවරයකුගේ වගකීම වුව අනුර වික්‍රමසිංහ කරනුයේ එම අවස්ථාවන් අමු - අමුවේ විස්තර කිරීම මිස සූක්ෂ්ම නිරූපණයකට යොමු වීම නොවේ.
 දයාගෙ ඇඳිවත එහෙ මෙහෙ වන්නේ වේලාසන යහනට ආවොත් පමණි. මහ රැයෙහි නින්දට වැටෙන රැයක් වී නම් ඇය පොරවනය තුළ මැනවින් ගුළි ගැසී දිගු නින්දකට වැටෙයි. එවන් රෑක මට ඇගේ මනස්කාන්ත නිරුවත දකින්නට ලැබෙන්නේ නැත. මා රෑ දෙගොඩහරිය වනතුරු බලා සිට බැරි ම තැන බියෙන් සැකෙන් ඇගේ පොරවනය නොහොල්මනේ එහෙ - මෙහෙ කරන්නට මාන බලමි. මුල දී ඇය මගේ ඒ ව්‍ය්‍යායාමයට විරෝධය පෑවේ “ෂීක්” හඬක් කටින් පිට කර මුණින් අතට හැරෙමිනි. එහෙත් මම පසු නොබැස තව තවත් උත්සාහ කළෙමි. එවන් අවස්ථා හත අටකට පසු ඇය මට පොරවනය ඉවත් කරන්නට ඉඩ දී නිහඬව ඉන්නට තරම් කරුණික වූවා ය.
(පුරුෂඃපුර - පිට - 61)
ප්‍රබන්ධ කථා රචකයකුට වැදගත් වන ප්‍රධාන කරුණු හතරක් සඳහන් කරන්නට කැමැත්තෙමි.
1 නිරූපණයේ දක්ෂතාව
2 සංයමය
3 වෙනත් විෂයයන් පිළිබඳ ඥානය
4 අතිශය නිර්මාණාත්මක භාෂාව
ශ්‍රී ලංකාවේ සාහිත්‍යය උගන්වන ස්ථානවල නිරූපණය උගන්වන බවක් මා දන්නේ නැත. එබැවින් ප්‍රබන්ධ කථාව පිළිබඳ ස්වයං හැදෑරීමක් කරමින් එහි සූක්ෂ්මතා උගත යුතු ය. ලෝක ප්‍රකට නවකතාකරුවෝ ජීවමාන චරිත අධ්‍යයනය කරමින් විවිධ අවස්ථාවලට මුහුණ දෙමින් නිරූපණය ඉගෙන ගනිති. නැවත ශාස්ත්‍රීය වශයෙන් ද එම අවස්ථා හදාරති. සිංහල නවකතාකරුවන් එබඳු තැනකට ගන්නේ නැත. ඔව්හු සිතින් මවාගත් චරිත හා සිදුවීම් නවකතාවලට එකතු කරති. එවිට එම නවකතාවලින් කෘත්‍රීම බවක් එළියට පනී.
අනුර වික්‍රමසිංහගේ නවකතා තුළ දිගින් - දිගටම ඇත්තේ විස්තර කිරීම් ය. කථාන්දර ගෙතීම් ය. ඔහු සූක්ෂ්ම චරිත නිරූපණය හෝ අවස්ථා නිරූපණය හෝ නොදනී. මේ දුර්වලතාව නිසා මුළු නවකතාවම දුර්වල තත්ත්වයකට ඇද වැටේ.

සංයමය යනු ඕනෑ ම කලාකරුවකු පිළිගත යුතු හා අනුගමනය කළ යුතු සංස්කෘතික කාරණයෙකි. කිසිදු කලාකරුවකුට තමන්ගේ සංස්කෘතික සීමා - මායිම් පුපුරුවා හැර කලා කෘතියක් කළ නො හැකි ය. එසේ කලාකෘතියක් නිර්මාණය කළ ද එය සමාජ සම්මත නො වනු ඇත. ඩී. එච්. ලෝරන්ස් ලිංගිකත්වය නිරූපණය කළේ ද යම් සංයමයකින් යුතුව ය. එංගලන්තයේ පල්ලියට එය තේරුම් ගත නො හැකි විය. නයිජීරියාවේ සටන්කාමීත්වය ඉතා හොඳින් නිරූපණය කළේ චිනුවා අචෙබෙ ය. ඔහු එය සංස්කෘතික සීමාවෙන් ඔබ්බට ගෙන ගියේ නැත. අචෙබේගේ කෘතියක් නිසි ලෙස වටහා ගන්නා කෙනකු පළමුව ඔහුට ගෞරව කරනුයේ කතුවරයා තුළ පවතින සංයමය, ශික්ෂණය හා භාෂා ඥාානයට ය.
ශ්‍රී ලංකාවේ නවකතාකරුවන්ගෙන් හා විශේෂයෙන් අනුර වික්‍රමසිංහ වැනි කෙනකුගෙන් එබඳු විශිෂ්ට ප්‍රබන්ධ රචනයක් අපේක්ෂා කළ නො හැකි ය. මේ වකවානුව තුළ සිංහල නවකතාකරණයෙහි නිරත බහුතරය ගැඹුරු හැදෑරීම් ඇති දේශපාලනික හෝ සංස්කෘතික සත්ත්වයෝ නො වෙති. ඔව්හු ඇම්මට ලියන අය වෙති. බහුල ලෙස සංවේදී නො වන මිනිස්සු වෙති. මේ රටට අවශ්‍ය නව කතා කලාවක් තව ම පැළපදියම් වී නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා එවැන්නක් ගොඩනැඟීමට අවශ්‍ය පදනම ගොඩනැගූව ද ඉනික්බිති නවකතාකරණයට බට සියලු දෙනා පිස්සු කෙළින්නෝ වූහ. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, කේ. ජයතිලක, සයිමන් නවගත්තේගම වැනි රචකයෝ කතා කලාව ගැන පමණක් නො ව තවත් බොහෝ විෂයයන් ගැන අනුදත් බුද්ධිමත්හු වූහ. එබැවින් ඔවුන්ගේ කතා කලාව අපට ගැලපිණි. එබඳු කතා කලාවක් දැන් අපට නැත. ඒ වෙනුවට ඇත්තේ පිස්සු කතා ලියන මෝඩයන් සමූහයෙකි.
මේ නවකතාව රචනා කළ කර්තෘවරයා නිර්මාණාත්මක භාෂාව ගැන කිසිදු වැටහීමක් නැති පුද්ගලයෙකි. ඔහු චිනුවා අචෙබේගෙන් පාඩමක් උගත යුතුය. චිනුවා අචෙබෙ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ගුවන් විදුලි ශිල්පය පිළිබඳ මහාචාර්ය අත්දැකීම් ලැබූ පුද්ගලයෙකි. එසේ ඔහු සියල්ල වෙනස් කොට තමන්ගේ ගෝත්‍රික භාෂාවෙන් ලියන්නට පටන් ගත්තේය. එය නිවැරැදි ය. ඕනෑම ලේඛකයකුට තමන්ගේ රචනාවන් සමාජගත කළ හැක්කේ තමන්ගේ ම භාෂාවෙන් ය. තමන්ගේ ම සංස්කෘතියෙන් ය. ඒ බව අපේ නවකතාකාරයෝ ද තේරුම්ගත යුතු ය.
ලෝකය විවිධ ය. විසමය. එහි උගත යුතු කරුණු බොහෝ ය. උගත යුතු විෂයන් බොහෝ ය. එහෙත් අපේ නවකතාකාරයන් විවිධ විෂයන් ඉගෙන ගන්නේ නැත. විසම චාරිත්‍ර හදාරන්නේ නැත. ඊට හොඳම නිදසුනක් ලෙස අනුර වික්‍රමසිංහ මහතා පෙන්වා දිය හැකි ය. ඔහු තමාගේ කතාව මුළුමනින් ම විකෘති කරගෙන ඇත.

සමස්තයක් ලෙස ගත් කළ මේ නවකතාවෙන් කිසිදු සමාජ සාධන ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. කතුවරයා කියා සිටින්නේ නවකතාවක් ගැන නිවැරැදි විනිශ්චයකට එළැඹීම සඳහා ශත වර්ෂයක්වත් ගත විය යුතු බව ය. මේ නවකතාකරුවා කෙතරම් අතාර්තික - මෝඩ පුද්ගලයකු දැ’යි වැටහී යන්නේ එම ප්‍රකාශයෙන් ය. නවකතාවකට එබඳු දීර්ඝ කාලයක් පැවැතිය හැක්කේ වෙනත් හේතු සාධක මත ය. එබඳු එක සාධකයක්වත් මේ නවකතාව තුළ නැත. අනුර වික්‍රමසිංහ මහතාට තවත් නවකතා ලියන්නට පුළුවන.

රන්ජන් අමරරත්න
මෙම ලිපිය 2012-11-21 දින(හෙට) දිනමිණ පුවත් පතෙන්ද කියවිය හැක

5 comments:

  1. හරි රහස් පරීක්ෂක තුමා....

    ReplyDelete
  2. අනුර වික්‍රමසිංහ මහතා කතරගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.වාත්තියෙන් ග්‍රාම නිලධාරියෙකි.මගේ හිතවතෙකකි.රන්ජන් අමරරත්න මහතා ලියු විචාරයට අනුව පුරුෂපුර නවකතා හුදු කතන්දර කීමක් සහ සිද්ධින් විස්තර කිරීම පමනක් අඩංගු වී ඇති බව පෙන්වයි.රන්ජන් අමරරත්නගේ විචාරයෙන් අනුරට සෑහෙන ගුරුහරුකම් ඔහුගේ ඉදිරි නවකථා කරනය සදහා ලබා කත හැක.කතරගම ප්‍රදේශයේ නවකථාකරණයට බැස ඇත්තේ ඔහු පමනය. මෙහි ඔහුගේ අඩු පාඩු පෙන්වා දීමට කිසිවෙක් නැත.මෙම විචාරය ඔහුට අභියෝගයකි. එම අභියෝග ජයගැනිම සදහා ඔහුට ශක්තිය හා ධෛර්ය ලැබේවා යයි මම පතමි.- නෙල්සන්

    ReplyDelete
  3. නෙල්සන් අයියා ඔබේ අදහසත් මසුරං වැනිය

    ReplyDelete
  4. අනේ මන්ද අෆ්ෆ මෙවුනම් ;)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්