රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-11-26

මයුරචාපා අයාලේ ගියා ය


 “මයුරචාපා” නවකතාවේ පිට පොත්ත දකින කෙනකු එය පැණි කතාවක් යැයි සිතන්නට පුළුවන. බොළඳ පෙම් කතාවක් යැයි සිතන්නට ද පුළුවන. එහෙත් මේ නවකතාව නූතන සමාජයට අවශ්‍ය සංවාද කිහිපයක් ගොඩනැඟීමට සමත් වේ. ඒ සියල්ල අපගේ සංස්කෘතියට සම්බන්ධ ය.

(1) එකගෙයි පවුල්කෑමේ සම්ප්‍රදාය.
(2) වැඩිහිටියන්ගේ ලිංගිකත්වය දරුවන් දකින ආකාරය.
(3) සාම්ප්‍රදායික ගම ධනේෂ්වරය විසින් ගිලගනු ලැබීම.

නුවර පළාතේ සාම්ප්‍රදායික ගැමි පවුලක් වටා කතාව ගෙතී ඇත. ඇවැස්ස නෑනා - මස්සිනාලා විවාහ වෙති. ලොකු බණ්ඩාරට හා පොඩි බණ්ඩාරට බිරිය වන්නේ ඉඹුල්දෙණියේ මැණිකේ ය. ඇය රූමත්, යහපත්, බුද්ධිමත් ගැහැනියෙකි. උඩරට පවුල්වල එකගෙයි කෑම ආරම්භ වූයේ ඉඩම් හිඟය නිසා යැයි කියති. ඉඩම් – කුඹුරු බෙදී ගිය කල පවුලේ දියුණුව ඇණහිටින බව ඔවුන්ගේ මතය වී තිබිණි.
කතුවරිය ඉතා විචිත්‍ර ලෙස එකගෙයි කෑම චිත්‍රණය කරයි. මෙබඳු පවුලක සාමය - සමඟිය හා දියුණුව රැඳී ඇත්තේ කාන්තාව මත ය. ඉඹුල්දෙණියේ මැණිකේ ඒ අතින් පුදුමාකාර දක්ෂ ගැහැනියෙකි. ඇගේ ඉවසීම, ජීවිතාවබෝධය උඩරට ගැමි පවුල්වල සෑම ගැහැනියකට ම පාහේ තිබිණි. එකගෙයි කෑම තුළ ලිංගිකත්වය පිළිබඳ ගැටලු මතු නො වන්නේ නො වේ. සිදුවන්නේ ගැහැනිය මැදිහත් වී ඒවා සමථයකට පත් කිරීම ය. එකගෙයි කෑම මුළුමනින් ම අහෝසි වී නැත. එබැවින් ඒ ගැන සංවාදයක් මතුවීම වටී.
වැඩිහිටියන්ගේ ලිංගික හැසිරීම් කෙරෙහි එබී බලන්නටත් ඒවා විමසන්නටත් දරුවෝ පෙලඹෙති. එය කුමන සමාජයක වුව පවතින සත්‍යයෙකි. මයුරචාපා කතාවේ එන ප්‍රධාන චරිතය වූ ඉන්ද්‍රචාපා සිය මවගේ ලිංගික හැසිරීම් ගැන කෝප වෙයි. ඊර්ෂ්‍යා කරයි. මට විතරක් ඇයි අප්පච්චිලා දෙන්නෙක් යැයි ඇය විසින් විමසනු ලැබේ.
 “ඉන්ද්‍රචාපා කුඩප්පච්චිගේ කාමරයට ගියාය. අම්මා එහි තිබූ කිලිටි රෙදි සියල්ල ම රැගෙන ගොස් ඇත. ඇඳ ඇතිරිලි කොට්ට උර අලුත් ඒවා ය. ඇය කුඩප්පච්චිගේ කොට්ටය නැහැයට ළංකර ගත්තා ය. එයින් කපුරු සුවඳ හමයි. ඇය ඇඳ ඇතිරිල්ල ඔසවා ගැසීමට සූදානම් වූවා ය. සැණෙකින් ඇගේ ඇස ගියේ ඇඳ මත තිබූ කොණ්ඩ කූරකට ය. ඇය එය අතට ගත්තා ය. එය අම්මාගේ ය. ඉන්ද්‍රචාපාගේ හිතට නැඟුණේ කෝපයකි. ඇය කොණ්ඩකූර බිම දමා ගැසුවා ය.”
(පිටුව – 15)
වැඩිහිටියන්ගේ ලිංගික හැසිරීම් කෙරෙහි දරුවන් තුළ ඇත්තේ නොමනාපයකි. කෝපයකි. එය ශ්‍රී‍්‍ර ලංකාව වැනි රටවල උත්සන්න තත්ත්වයකින් දකින්නට ලැබේ. බටහිරට වඩා ආවෘත ලිංගික සංස්කෘතියක් ඇති සෑම සමාජයකම පාහේ මේ නොමනාපය හා කෝපය අඩු-වැඩි වශයෙන් දකින්නට ලැබේ. එහෙත් දරුවන් මෝරා වැඩෙත් ම මේ යථාර්ථයන් වටහා ගැනීම සාමාන්‍ය සිරිත ය.
 “අම්ම බුම්මගෙන ඉන්නෙ!
කැමැති නැද්ද ලයිට් ආවට?”
(පිටුව - 30)
ඉන්ද්‍රචාපා සිය මවට රිදවීමට කැමැති ය. ගමට විදුලිය පැමිණීම ඉඹුල්දෙණියේ මැණිකේගේ සාම්ප්‍රදායික ලිංගික ක්‍රියාවලියට බාධාවකි. ඇයට පුරුෂයන් දෙදෙනකු තෘප්තිමත් කිරීමට තිබේ. තිමිනි ලාම්පුවල අඩ අඳුර ඇගේ ක්‍රියාවලිය පහසු කරනු ඇත. දියණිය කෙළින් ම තමාට අපහාස කළ ද මව ඉන් කෝපයට පත් වන්නේ නැත. “ඇයි අකැමැති කොච්චර දෙයක් ද?” කියන මැණිකේ සෙමෙන් කුස්සියට රිංගා ගනී. එකගෙයි කෑම යනු ගැහැනියගේ ලිංගික ආවේශයන් නිසා සිදුවන්නක් නොවේ. එය ඊට වඩා පවුල් බරකි. වගකීමකි. දරුවන්ගේ සාර්ථක අනාගතය පිළිබඳ සැලැසුමකි. ඒ අනුව බලන විට ගැහැනිය දරුවන් වෙනුවෙන් බරපතළ කැපවීමක් කරයි.
අප තුළ ඇති ලිංගිකත්වය පිළිබඳ ශුද්ධ වූ හා ආත්මාර්ථකාමී වූ අදහස හා ආකල්ප බොහෝ විට වැරැදි සහගත ය. ගැහැනියක සිය ජීවිත කාලය තුළ පුරුෂයන් කිහිප දෙනකු සමඟ ලිංගික ව හැසිරීම විස්මයක් නො වේ. තදබල කෝපයට කාරණයක් ද නොවේ. පිරිමින්ගේ තත්ත්වය ඊටත් වඩා වෙනස් ය. ඉන්ද්‍රචාපාට සියල්ල වැටහෙන්නේ ඇය ද විවාහ ජීවිතයට ඇතුළත් වූ පසු ය. ඇයගේ දරුවා විවාහක පුරුෂයා වූ දුලංගගේ නොවේ. දරුවාගේ පියා ඉන්ද්‍රචාපාගේ පෙම්වතා වූ මයුරගේ ය. මව හා දුව අතර පවත්නා මානව සම්බන්ධහා මැනැවින් නිරූපණය කරන්නට කතුවරිය සමත් වේ.
නූතන සිංහල නවකතාකරුවෝ බොහෝ දෙනෙක් අපේ ගම – අපේ සංස්කෘතිය හා අපේ සම්ප්‍රදායයන් අමතක කොට කෘත්‍රීම චරිත ඔස්සේ නවකතා නිර්මාණය කරති. මේ නිසා ම චරිත නිරූපණය දුර්වල වී සමාජ යථාර්ථයෙන් දුරස් ප්‍රබන්ධ බිහි වේ. ඔව්හු බොහෝවිට ලතින් අමෙරිකානු ප්‍රබන්ධයන්හි එන චරිත කොපි කිරීමට වෑයම් කරති. මෙය නිරර්ථක උත්සාහයකි. ඒ අතින් බලන විට ශ්‍රීමා ලාලනී කතුවරිය අපේ උරුමයන් සොයා යන නවකතාකාරියක ලෙස අගය කළ යුතු ය.
ශ්‍රීමා ලාලනීගේ ප්‍රධාන දුර්වලතා තුනක් හඳුන්වා දෙන්නට ද කැමැත්තෙමි.
1) ප්‍රබල කතා වස්තුවක් ගොඩනැඟීමට ඇති අසමත්කම.
2) ජීවිතයේ සංකීර්ණතා නිරූපණය කිරීමට ඇති අසමත්කම.
(3) ධ්වනිපූර්ණ මනරම් භාෂාවක් ගොඩනැඟීමට ඇති අසමත්කම.
කවකතාවක් රචනා කිරීම සඳහා කතා වස්තුවක් (plot)අවශ්‍ය නැතැ’යි යන මෝඩ මතයක් අපේ නවකතාකරුවන් අතර පැතිර ගොස් තිබේ. මේ නිසා ම ඉබාගාතේ ගිය නවකතා ද, එල්ලයක් නැති නවකතා ද අතරමඟ නවතින නවකතා ද කලඑළි දැක තිබේ. බටහිර සාර්ථක නවකතාකරුවෝ කතා වස්තුවක් නිර්මාණය කිරීම සඳහා සැලැකිය යුතු කාලයක් මිඩංගු කරති. කතා වස්තුව යනු කතාවේ ව්‍යුහය යි. එහි ශක්තිමත් සැකිල්ල යි. ශ්‍රීමා ලාලනී සාර්ථක කතා වස්තුවක් ගොඩනඟා ගැනීමට අසමත් වූ නිසා කතාවේ අවසන් භාගය වේගයෙන් ගලා ගොස් තේරුමක් නැති තැනකින් නැවතී ඇත.
අපගේ අදහසට අනුව නවකතාව යනු එක්තරා ව්‍යාපෘතියකි. එය සැලැසුම් සහගත ලෙස නිර්මාණය කළ යුතු ය. පළමුව නවකතාවක් රචනා කිරීමෙහි අරමුණක් - ඉලක්කයක් තිබිය යුතුය. එක්කෝ එය සමාජ යථාර්ථයක් පසක් කිරීමක් විය යුතුය. නැතහොත් ඓතිහාසික කතා වස්තුවක නිරූපණයක් විය යුතු ය. එසේ නැතහොත් පාඨක සමාජයට අලුත් විඥානයක් ලබා දෙන නිර්මාණයක් විය යුතු ය. එබඳු නිර්මාණයක් කිරීම සඳහා පර්යේෂණ කළ යුතුය. එබඳු අභ්‍යාස කළ යුතුය. උපදේශන පැතිය යුතුය. මේ කිසිවකින් තොරව ඉබාගාතේ නවකතා ලිවීම පාප කර්මයකි. සමාජයට කරන අවමානයකි. ශ්‍රීමා ලාලනීට හොඳ අත්දැකීම් සම්භාරයක් ඇති බව පෙනී ගියත් ඇය සාර්ථක ව්‍යාපෘතියක් කෙරෙහි යොමු වී නැති බව පෙනෙයි.

මේ නවකතාකාරිය ජීවිතයේ අර්ථ සොයමින් ගැඹුරු හා සංකීර්ණ චරිත නිරූපයකට යන්නේ නැත. ඇගේ විශේෂත්වය වන්නේ තෝරාගත් තේමාව හා සංවාදයට ලක් කිරීමට උත්සාහ දරන ඇතැම් සාංස්කෘතික සාධක නිසා ය. මවගේ හා දුවගේ චරිත කතාවේ මුල් භාගයේ දී යම් පමණකට සාර්ථක ව නිරූපණය කිරීමට සමත් වුව දෙවන භාගයේ දී නවකතාවේ විකාශය එහෙන් - මෙහෙන් විස්තර කරගෙන යයි. ගැටුමක් ඇත්තේ ම නැත. නවකතාවේ එන සමාජ පරිවර්තනය ගැඹුරු හා සංකීර්ණ චරිත නිරූපණයකට හොඳ ම අවස්ථාව වුව එය කතුවරිය අතින් සිදු නොවේ.
ලොකු බණ්ඩාර හා පුංචි බණ්ඩාර තම දරුවන්ගේ වෙනස්වීම් හා පරිසරයේ වෙනස්වීම් නිශ්ශබ්දව ඉවසා සිටිනවා වෙන්නට බැරි ය. ඔවුන්ගේ අධ්‍යාත්මයෙහි විශාල ගැටුමක් ඇතිවිය යුතු ය. එය නිරූපණය වන්නේ නැත. චිනුවා අචෙබෙගේ තුන් ඈඳුනු නවකතා බලන්න. මාර්ටින් වික්‍රමසිංහගේ තුන් ඈඳුනු නවකතා බලන්න. ගුණදාස අමරසේකර මහතාගේ අලුත් නවකතා ගොන්න බලන්න. ඒවායෙහි චරිත සමාජ පරිවර්තන හමුවේ කරන අරගලය කොතෙක් ද? අචෙබේගේ ඔකෙන්ක්වෝ ඉංගිරිසිකාරයා ගමන් කරන බයිසිකලයට පහර දෙන්නේ යකඩ අශ්වයා කියමින් ය.
අපේ නවකතාකරුවන් තමන්ගේ ම චරිත ගැඹුරින් හදාරන්නේ නැත. ඔවුන් අපේක්ෂා කරනුයේ කතාවක් කියා හමාර කිරීමට පමණි. බටහිර බොහෝ ලේඛකයෝ සම්පූර්ණ නවකතාවට පෙර නවකතා කිහිපයක් ලියා නැවත - නැවත ඒවා සංස්කරණය කරති. එවැනි පුරුද්දක් අපේ ලේඛකයන් ළඟ නැත. ඔව්හු අව ම ලෙස ඊයේ රෑ ලියූ දේ අද උදෑසන නො කියවති.
කතුවරියගේ භාෂාව ද මටසිලිටි නැත. භාවික නැත. පුවත්පත් ලිපියක් - විචාරයක් ලියනවාට වඩා නිර්මාණාත්මක ප්‍රබන්ධයක් කිරීම අපහසු ය. ඒ සඳහා බොහෝ අභ්‍යාසයන් කළ යුතු ය. සම්භාව්‍ය භාෂාව, ජනශ්‍රැති, සාමාන්‍ය කටවහර උචිත ලෙස යොදා ගනිමින් නිර්මාණාත්මක භාෂාවක් තනා ගැනීම නවකතාකරුවකුගේ වගකීම ය. ඒ අතින් ලේඛිකාව අභ්‍යාසයකට ගොස් නැත.
නවකතාව යනු අපිරිමිත පරිශ්‍රමයක ප්‍රතිඵලයක් බව අපේ කතුවරුන් තේරුම් ගත යුතු ය. එතෙක් හොඳ නවකතා බිහි වන්නේ නැත. ඉන්ද්‍රචාපා මෙන් ම මයුරචාපා නවකතාව ද අයාලේ ගොස් ඇති බවක් අපට පෙනේ.
Ranjan amararathna - රන්ජන් අමරරත්න




9 comments:

  1. ග්‍රන්ථ විචාරය පිළිබඳව මා බොහෝ දේ මේ ලිපිය හරහා ඉගෙන ගතිමි.පොත පිළිබඳව අපුරු විචාරයක් ඔබේ අතින් අකුරු වි ඇත.

    ReplyDelete
    Replies
    1. රන්ජන් අමරරත්නගේ විචාර තුළ ඉගන ගන්න දේ බොහෝ යි.

      Delete
  2. මං මේ විචාරෙ එනකන් බලාගෙන ඉන්නෙ.. ඔය එකගෙයි පවුල් කෑම ගැන මං ඉස්සරලම දැක්කෙ ජාතික රූපවාහිනියෙ නාට්‍යක... නම මතක නෑ..

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි මේ ගැන....

      Delete
  3. අලුත් පොතක් ගැන කීම ගැන තුති.හොඳ විචාරයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි...

      Delete
  4. නියමයි. මේක අලුත් පොතක් වෙන්ට ඕනෑ.. මම දැන් ඔක්කොම අලුත් පොත් ලිස්ට් එක හදන ඉන්නේ ලංකාවට ගියාම ගණන් ඕනේ නලින් අයියගේ බ්ලොග් එකෙන්.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මලය ළගදි එනවද ලංකාවට...හාමිනේවත් මතක් කලා කියන්න

      Delete
  5. ගොඩක් ආසාවෙන් කියෙවුවා. වටිනා ලිපියක්. කොහොම හරි හොයාගෙන කියවන්න ඕනේ. පොත ගැන හොඳ අවබෝධයක් ලැබුන.

    ගොඩක් ස්තුතියි.

    අලුත් වෙනස ගොඩක් හොඳයි. මේ පිළිවෙලට මම නම් කැමතියි. ජය වේවා!!!!!

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්