සර්ලට ඔයාලත් නැටි එල්ලලා තියනව ද කියන
හිරුගේ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකෙන් පස්සේ යාලු ලා බොහෝ දෙනෙක් මගෙන් ඇහුවේ ඇයි මේ කතාව පොස්ට් එකක් හැටියට දාන්නේ නැත්තේ ඇයි කියල යි.
මේ සිද්ධිය වුණේ 1997 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. එවකට මම තරුණි පත්තරේ විල්ලුද පලස අතිරේකයේ සංස්කාරක හැටියටයි සේවය කළේ. මේ අතිරේකයට ලැබෙන ලිපි අතරින් එක් ලිපියක් දැඩි සංස්කරණයකට ලක් කොට මම පුවත් පතට අරගන තිබුණා. එය ලියා ඇත්තේ සී. සේනාධීර යන නමින්. එය පුවත් පතේ පළවී දින කීපයකින් මෙන්න මේ ලිපිය මගේ නමට ඇවිත් තිබුණා.
ආදරණීය නලීන් දිල්රුක්ෂ පුතණුවනි,
මගේ හදවත ඔබ මෙසේ අමතයි.......
“මාධ්‍යවෙදියාණනි“!
ඔබ දහසක් ලේඛක ලේඛිකාවන්ගේ
ගුණ-දොස් දකින්නෙහිය...
ඒ මිනුම් දණ්ඩ මට ද සාධාරණය
එදා - ඔබේ නිබන්දන අතර
මගේ රතු පෑන
දස දහස් වරක් ගැටී ඇත....
සබැවින්ම..
සිසුන් රතු ඉරිවලට
පෙම් නොකරන වග
අත්දැකීමෙන් දනිමි - මම.......
එක් රතු ඉරකට - ඔබ
තර්ක කළ මොහොතක
තර්කයෙන් පිළිවදන් දුන්නෙමි - මම
කඳුළු පිරි දෙනුවන හිස සමග බිම බැලි - ඔබ
අද - ඔබේ පෑනෙන්
මට ද රතු ඉරි වදියි..
මම හිස නමමි..
ඒ මාධ්‍ය තුළ
ඔබ මට වඩා
ඉදිරියෙන් සිටින නිසාය
ඔබ මේ කෙත ට
ගෙන ගියේ
මගේ රතු පලස නොවෙද
මම - මා ගැන ආඩම්බර වෙමි
පුතේ මං සිරිල් සර්.....
සිරිල් සර් ගේ මේ නිසදැස තරණි පත්තරේට මම ගත්තේ මෙහෙමයි.
![]() |
1997-12-24 දින තරුණි පුවත් පතේ 14 වැනි පිටුව |
මා සිත අතීතයට ගෙනගිය ඒ යටගියාව මෙන්න....
මං මුලින්ම අකුරු කෙරුවෙ අපේ ගමේ ඉස්කෝලෙ.සේරම පංති තිබුණේ පොල් අතු මඩු ඇතුළේ. හැබැයි පුදුම සුන්දර පරිසරයක. හරිම පිරිසිදුයි ඉස්කෝලෙම. ඉස්කෝලෙට යන පාර දෙපැත්තේ මලින් පිරුණු නා ගස් පේලි දෙකක්. නා ගස් හෙවනේ හැතැප්ම කාලක් විතර පයින් යන්නෝනෑ. උදේට නාමල් සුවඳ විඳිමින් මේ ඉස්කෝලෙට ගිය ගමන අදටත් ගෙන එන්නේ මිහිරියාවක්. නා ගස් මණ්ඩිය ඉවරවෙන තැන දැවැන්ත සල්ගසක්.ඊට පහළින් මලින් පිරි ලොකු නෙලුම් විලක්. අදටත් මේ කියූ සේරම ඒ විදියටම තියනවා. ඒත් ඒ බිම දැන් ඉස්කෝලෙට අයිති නෑ. දැන් එතන තියෙන්නේ ගුරු විද්‍යාලය.අපි පුංචි සන්දියේ අකුරු කරපු තැන දැන් ගුරු සිසුන් ඉගන ගන්නවා.
අපේ පන්තිය තිබුණේ ලොකු පිනි ජම්බු ගහන් යට. මේ ගහට ගල් ගහන එක, විලේ නෙලුම් කඩන එක නොකරපු එක කොල්ලෙක් වත් හොයාගන්නවත් නෑ. ඉහතින් මා කතා කළ සිරිල් සර් ගැන මතකය මට ඇති වන්නේ මේ සිද්ධිත් එක්කයි. කිරි කොකෙක් වාගේ ජාතික ඇඳුම ඇඳගෙන දිග වේවැලකුත් අරන් සිරිල් සර් පාසල් වත්ත වටේ යන්නේ අපි වගේ දඩබ්බරයන්ට හොඳට කසාය දෙමින්. මේ සර් ගේ පෙනුම හරිම තේජාන් විතයි.එතුමා ගේ හඬ ඇහෙන කොට කොල්ලෝ සේරම පන්තිවලට ගාල් වෙලා. සර් ඉගැන්නුවේ ලොකු පන්තිවලට.
![]() |
97 දෙසැම්බර මගේ දින සටහනක් |
කොහොම හරි මුන් හතරදෙනා ගොඩදාන්න ඕනෑ කියල් සර් අපිට ඉස්කොල වෙලාවෙන් පස්සෙත් අමතර පංති කලා. එහෙම කළේ සතයක් වත් අරගෙන එහෙම නෙමේ. හැබැයි කියල දෙනදේ අදටත් මතක හිටින විදියට තමයි සර් ඉගැන්නුවේ.
කොහොමින් කොහොම හරි අපි දෙන්නෙක් සර් ගේ පිහිටෙන් ඒ කඩඉම ජයගත්තා.
යාළුවනේ ඔයාල තාම දන්නේ නෑනේ මං මෙච්චරවෙලා කිව්වේ කොයි පාසල ගැනද කියලා. ඒ තමයි මීරිගම ගුරුවිද්‍යල අනුබද්ධ කනිටු විදුහල. මේ ඉස්කෝලෙත් හරියට ටෝ ටෝ චාං ගේ හරි පුදුම ඉස්කෝලෙ වගෙයි.
![]() |
97 අවුරුද්දේ මගේ දිනපොත තරණි පිටු අතර |
කාලයත් එක්ක ගුණමකු අපි මේ දේවල් අමතක කළා.නෑ අවිවේකය කියන පට්ටපල් බේගල අපි ඇදබෑවා අපේ ගුණමකු කම වහගන්න.සිරිල් සර්ලව අපේ මතකයෙන් ඈත්ව ගියා. මේ වගේ අවුරුදු ගානකට පස්සේ තමයි සිරිල් සර් ගෙන් මට ඉහතින් දැක්වුව ආකාරයේ ලිපියක් ලැබුණේ.අපිට සර්ලගේ නම් අමතකව ගියත් සර්ලා බිහිකළ හොඳම නිෂ්පාදන කෙරෙහි සර්ලා පුදුම අවධානයකින් ඉදල තියෙන්නේ කියන එක ඉහත ලිපියෙන් පැහැදිලි වෙනවා...
දයාබර මිතුරනේ... අපිට අකුරු සාස්තරේ කියා දුන් ගුරු උතුමන්ට හදවතේ ගැඹුරුම තැනින් එන ප්‍රණාමය පුදකර සිටිමු දෙදණ නමා.
මේ ටිකේම මේ වගේ ගොඩක් දේවල් කියෙව්වා.... හැම කතාවක්ම හරිම සංවේදියි....
ReplyDeleteඅපි ඔයිට පරම්පරාවක් විතර පස්සේ ආපු අය.. ඒත් මේ වගේ කතා කියවද්දි හිතට මේ තරම් සංවේදී කමක් දැනෙන්න, මේ දේවල් මගේ ජීවිතයට කොච්චර ලොකු බලපෑමක් කරලා තියෙනවාද කියලා හිතෙනවා...
අපේ ගුරුවරු හොද උනත් නරක උනත් මම එයාලට ණයගැතියි... මට වැරැද්දක් කරපු කෙනෙක් ගෙන් උනත් මම ඉගෙනගත් පාඩම් තමයි අද මේ ජීවිතයට අත්වැලක් උනේ...
ඇත්ත .. අවිවේකය කියන්නේ අපි ජාම බේරගන්න හදා ගත්ත බොරුවක්....
මම දැන් ටොට්ටෝ චං පොත හෙව්වා.. ඒක නෑ වගේ.. කවුරුහරි උස්සන් ගිහිල්ලා...
.
අනේ අම්මපා නලින් අයියේ මේ කුරුල්ලා නම් පුදුම වාතයක්..... මේ යකා ඇවිල්ලා වහන්නෙම නකමෙන්ට් එක උඩනේ.... මේකව එලොලා දාන්නකෝ....
කියල වැඩක් නෑ හිරූ මේ ටිකේ හැමතැනින්ම සංවේදී සිද්ධි අහන්න දකින්න ලැබුණා.මේ කුරුල්ලා අයින්කරන විදිය මම දන්නේ නෑ.මම මාර ට්‍රයි එකක් දුන්නා ඒත් script එක තියන තැන හොයන්න බෑ.
Delete"අවිවේකය කියන පට්ටපල් බේගල අපි ඇදබෑවා අපේ ගුණමකු කම වහගන්න" මේ දේ අපි කාගේත් අතින් වෙන දෙයක්... මං පනුච්චිටත් මතක් උනා ගුරුවරු ටික ඔක්කොම... හිතට දැනුන ලිපියක් අංකල්..
ReplyDeleteමේ වගේ දේවල් ජීවිතේදී සිද්ධවෙනවා.අපි සතුටු වෙනවා, දුක්වෙනවා.අනේ මන්දා දරුවෝ....
Deleteසංවේදී ලිපියක් :) ඔබගේ ගැජට් ටික නම් හෙන කරදරයක් :(
ReplyDeleteමාත් මේ ඒක නලින් අයියට කියන්නමයි උන්නේ. ගැජට් වැඩි නිසා පේජ් එක ලෝඩ් වෙන්නෙත් පරක්කු වෙලා. මේක තොරණක වගේ වෙලානේ...
Delete:D :D
Delete@ taru @ lihini . පැමිණිමට තුති. මලේ ගැජට් ගැන අද හවසට තීරණයක් ගන්නවා. අර කුරුල්ලව එලොවන්න දන්නේ නෑ මම.
Deleteඔය වගේ අවස්ථාවල හිතට එන අමුතුම ලොකු හැඟීමක් තියනවා..මම නමක් දන්නේ නැහැ අංකල්..ඒත්..ඒ හැඟීමේදී කඳුළු එකපාරට ගලාගෙන ගලාගෙන යන්න පුළුවන් නොනවත්වාම..සතුටක්,ආඩම්බරයක් එක්ක අනේ මන්ද..මටත් ඔහොම දේවල් වෙලා තියන නිසා හොඳටම ලිපිය අවසානේ හිතුනා ඔබට කොහොම දැනෙන්න ඇත්ද කියල..
ReplyDeleteඅපූරු ගුරුවරු අපිට කලාතුරකින් හෝ හමුවෙනවා..
එහෙම වෙන්නත් අපි පින්කාරයි :)
යමක් තේරෙන වයසට ආවට පස්සේ කාටවත් පේන්න මම අඬලා නෑ.ඒත් සංවේදි හැම සිද්ධියකදීම ලෝකෙටම හොරෙන් මගේ ඇස් කෙවෙනිවල කඳුළු පිරිලා. ඒ කඳුළු කව්රුවත් දකින්නේ නෑ
Deleteමටත් පාසලේදී සැර වැර කරලා අකුරු කියලා දීපු සර් කෙනෙක්ව මතක් උනා.. කොයිතරම් කල් ගියත් සර්ලට මිස්ලට අපේ නම් පවා මතක තියනවා.. ඔබේ කතාව හරිම සංවේදියි...මන් ගොඩක්ම ආස පොස්ට් එකක්..!
ReplyDeleteදෙවිවරු වැනි ගුරුවරු තාමත් ඉන්නවා රෙහානි..
Deleteකියවලා ඉවර වෙනකොට, ඇස් කඳුළින් පිරිලා, හිත ඈතම ඈත අතීතයට දුවලා. අපූරු සංවේදී ලිපියක් නලීන්.
ReplyDeleteකියල වැඩක් නෑ.සිරිල් සර් ගේ මේ ලියුමත් එක්ක මම දැනුත් අවුරුදු බරගානක් අතීතයට යනවා.
Deletenalin mahaththaya giya iskole man hithin mavaa gaththa mara lassna chithrayak mage hithe mavune :-)
ReplyDeleteaththata guruvaru e gollange golayonva lesiyen amathaka karanne naa
siril sirta hari aaadambara hithenna athi oya inna thathve dakkahama,hoda guruvaru gana hithe abhimanayak athivena post ekak
මලේ අදටත් මා කියූ මලින් පිරුණු නා ගස් පේලි දෙක. සල් ගහ නෙලුම් විල ඒ විදියටම තියනවා.මේවා කොළඹ ඉස්කෝලේ තුළ නෑ.
Delete//අපිට සර්ලගේ නම් අමතකව ගියත් සර්ලා බිහිකළ හොඳම නිෂ්පාදන කෙරෙහි සර්ලා පුදුම අවධානයකින් ඉදල තියෙන්නේ කියන එක ඉහත ලිපියෙන් පැහැදිලි වෙනවා...
ReplyDeleteදයාබර මිතුරනේ... //
සහතික ඇත්ත අන්කල්. ඒ අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු.....
ඔව් අමා ඒ තමයි ගුරු දෙවිවරු.
Deleteසංවේදී සටහනක්. අපිට පොඩි කාලේ ඉඳන් මේ දක්වා මුණගැහුනු හැම ගුරුවරයෙක්ම අපේ ජීවිත වලට පොඩි හරි බලපෑමක් කරනවා.
ReplyDeleteහොඳ ගුරුවරු ලැබෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.
සහතික ඇත්ත මලේ මේ පැත්තට ආවාට තුති.
Deleteමම මේ ලිපිය හිරුගේ බ්ලොග් එකේ කොමන්ට් එහෙකින් දැක්කා.මට ගොඩක් හිතට දැනුනා ගුරුවරු අපිව අමතක කරන්නේ නැහැ.
ReplyDeleteහිරුට ලියපු කමෙන්ට් එකෙන් පස්සෙ තමයි මේක ලියන්න හිතුනේ මලයා.
Deleteඇඩෙනවා.... ඔන්න මිනිස්සු
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජ වරු කඳුළු නොසලත් :)
Deleteආදරබර ගුරුවරු වගේම යක්කු යක්ෂණියොත් එදත් හිටියා අදත් ඉන්නවා...
ReplyDeleteමගේ පිනකට මට හමු වී ඇත්තේ දෙවිවරු වැන් ගුරුවරු පමණයි.පාසල් දෙකේදිම.
Deleteදුයිෂෙන් ලා වගේ අය ඕනෑ තරම් අපි අතරේ ඉන්නවා නලින් අයියේ. සමහර වෙලාවට අපි ඒ අයව අඳුනගන්න පරක්කු වෙනවා. මේ පෝස්ටුව හරිම සංවේදීයි. මට තමාරා මිස්ව මතක් උනා. තමාරා මිස් සිරිල් සර් වගේමයි
ReplyDeleteඔව් ළිහිණි මම මේ පෝස්ට් එක ලිව්වෙත් බොහොම අමාරුවෙන් අකුරු කොටන්න බෑ තිරය බොඳවෙනවා.
Delete"අවිවේකය කියන පට්ටපල් බේගල අපි ඇදබෑවා අපේ ගුණමකු කම වහගන්න"
ReplyDeleteමං නං පුළු පුළුවං හැම වෙලාවෙම ඉස්කෝලෙ කරක් ගහනවා...
බොහොම හොඳයි මලයා යන්න හැකි හැම වෙලේම යන්න.මමත් මාසෙකට සැරයක්වත් කොළඹ ඉස්කෝලෙටනම් යනවා. ඒත් මගේ පළමු ඉස්කොලෙට යැවෙන්නේ අන්තිම අඩුවෙන්.
Deleteඅතීතය මතක් උනා. ඇත්තටම සංවේදියි.
ReplyDeleteඇත්තටම කියල වැඩක් නෑ..
Deleteදාලා තිබුනු ලින්කුව හරහා මෙහාට ආවෙ.. මේ ලිපිය කියවන්න.. ඇත්තටම ඇහැට කඳුලක් ආවා.. සංවේදී... මෙහෙම දයාබර ගුරුවරුන්ගෙ ගෝලයෝ වීම පුදුම භාග්‍යය්ක්!!!
ReplyDeleteමම පුදුම වාසනාවන්තයෙක්.
Deleteනලීන් අංකල්,
ReplyDeleteමගේ බ්ලොග් අඩවියේ කමෙන්ට් එකට දාපු ලින්ක් එක හරහා තමයි මම මේ පැත්තට ආවේ. අංකල්ට කියන්න, තාමත් මම අඬන ගමන් මේ ටයිප් කරන්නේ. මට මහා සංවේදී බවක් දැනුණා මේ කතාවේ. හිතට ගොඩාක්ම තදින් වැඩුණා මේ කතාව.
බලන්න ඒ ගුරුතුමා ඔබට කියපු දේ.. රතු ඉරි ගැන. කොච්චර උතුම් කෙනෙක්ද ඒ... අවංකවම එතුමා සතුටු වෙනවා නේ අංකල් ගැන. මට ගොඩාක් සතුටුයි වගේම ආඩම්බරයි මේ කතාව කියවන්න ලැබීම ගැන වගේම ඒ ගුරුතුමාගේ හොඳම නිෂ්පාදනයක් වුණු අංකල් ගැනත්.
සතුටු වෙන්න පුළුවන් නේද අවංකවම, ඇත්තටම....අද අංකල් යම් තැනකට ඇවිත් ඉන්නේ මේ ගුරු දෙවිවරු නිසා කියලා.
:)
"What a teacher writes on the blackboard of life can never be erased"
-Anomymous-
මේ සිද්ධිය මතක් වෙන හැම වෙලේකම මටත් ඇඩෙනවා දුවේ....
Deleteහරි පුදුම ඉක්මනට මමත් මගෙ අතීතෙට ගියා... ඇස් දෙකේ කඳුළු නොදැනිම ආව..
ReplyDeleteරතු ඉරි කතාව දැකලා මා ලියූ ගණං ෆේල්ද කියන කතාව සිහිවුණා!
ReplyDeleteහැබැයි ගුරුවරුන් ගේ නපුරුකම්වලට නං මං සැමදා විරුද්ධයි.
මම ඔබේ ගණං ෆේල් කතාව කියවා තිබෙනවා.
Deleteහැඟීම්බර හමු වීමක්. මේක කියවද්දි මට අපේ ගමේ ඉස්කොලේ ඉඳපු විදුහල්පති කෙනෙක් මතක් වුනා. ඔහුටත් අපි කුඩා කාලෙ හරි බයයි. පස්සෙ කාලෙ වෙද්දි අපිට ඉතාම සමීප ගුරුවරයෙක් උනා එතුමා.
ReplyDeleteඅපේ දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ටනම් ගොඩක් වෙලාවට ලැබෙන්නේ වෘත්තියට ගුරුකම් කරන ගුරුහොරු ටිකක්. :(
ReplyDeleteඒ කාලේ දුෂ්කර උනත් මිනිස්කම උතුරන්න තිබුණා. අපේ කාලෙදිත් මං ඔය මිනිස්කම විඳලා තියෙනවා. (ටියුෂන් පටන් ගත්ත කාලේ නිසා ලොකු ඇබ්බැහියක් තිබුන්නෑ ඒ දවස්වල)
හරිම ආදරණීය සටහනක්.
අපි හිතන්නේ ගුරුවරුන්ට අපිව අමතකයි කියල නෙව. අන්න ඒක පැහැදිලිව තේරුන තැනක් තමා මේකත්.. අගෙයි..
ReplyDeleteගෝලයන්ට අමතක උනාට සර් ෆුල් ටච් එකේ ඉඳල තියෙන්නෙ ගෝලයො ගැන... :) ඊට පස්සෙවත් ගිහින් හම්බ උනේ නැද්ද ?
ReplyDeleteනලින් අයියේ.........ඔන්න බලන්න සර්ලා අපි ගැන මතක තියන් අපි කරන වැඩ දිහා බලං ඉන්න හැටි....ඒ උත්තමයෝ නැත්නං නලින් අයියලාට අද මේ තැන් වල ඉදං සමාජයට පණිවිඩයක් දෙන්න පුලුවන් වෙයිද?අපි මල් තියලා වදින්න ඕන.......කාලෙකට පස්සෙ අද පොලොන්නරු ඇවිත් උපෙ කරපු රාජකීය මාතාව බලන්න ගියා.....දැන් ඒ තැන් කොච්චර වෙනස් වෙලාද?හිතා ගන්නවත් බෑ...එහෙම උනාම හිතට මහ මොකක්දෝ අමුතුම දුකක් දැනෙනවා කියාගන්න බැරි.....නලින් අයියටත් ඒ පැත්තෙ යද්දි එහෙම දැනෙන්න ඇති නේද??
ReplyDeleteදාලා තියන ෆොටෝ පෙන්නන්නෙ නෑ අයියේ...ඒවා තිබුනනම් මේකෙ අගේ තවත් වැඩී
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනේ හරිම වටිනවා නලීන් ඔබ ඇහැට ඇඟිල්ලෙන් අනින තුරු නොසිට ඇයි මට මේ ලිපිය කලින් බලන්න බැරි උනේ කියන පසුතැවිල්ලේ ගිලෙමින් මේ සටහන තිබ්බේ. ගොඩක් වටිනවා.
ReplyDelete