රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-08-25

සිනමාවේ සක්විති ගාමිණී නවකතාවේ සක්විති ශෂී ප්‍රභාත්!


රටතොට තෙරතුරුවලට අමතරව පොත් පත්වල තොරතුරුත් මේ අඩවියට ඇතුළත් කරන්න කියලා මගේ මිතුරන්ගෙන් ලද ඉල්ලීම අහක දාන්න බැරිනිසා අප තීරණය කළා පොත් පත් විස්තරත් මේ අඩවියට ඇතුළත් කරන්න. ඔන්න ඒ ඉල්ලීම ඉටුකරමින් මුලින්ම මෙතැනට ගෙනෙන්නේ මා මිත්‍ර රන්ජන් අමරරත්න ලියූ විද්වත් විචාරයක්. ඔයාලටත් පුළුවන් මේ ගැන අදහස් දක්වන්න.
ශෂී ප්‍රභාත් රණසිංහගේ අභිනව නවකතාක් ජනගත කැරිණි. ඒ මුල්කොට ගිය සතියේ පුවත්පත්හි පළ වූ සම්මුඛ සාකච්ඡා කිහිපයක් දැක මවිතයට පත් වීමි. ඔහු නවකතාවට නිර්දේශ පනවයි.
විචාරයට අණ - පනත් සපයයි. සකලවිධ සාහිත්‍යය ම අතැ’ඹුලක් සේ ගෙන එහි අධිකාරිත්වය තමන් වෙත පවරා ගනියි. ඉන් නොනැවතී සියල්ලටම ගරහයි. සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා ය. සිංහල නවකතාවේ සක්විති ශෂී ප්‍රභාත් ය.


උගත් මහාචාර්යවරුන් එම ලිපි දුටහොත්; කටින් නො ව, වෙනත් ඉන්ද්‍රියයකින් සිනාසෙන්නට පුළුවන. විචාරකයන් තමන්ගේ බණ්ඩිය කපාගන්නටත් පුළුවන. ප්‍රවීණ සාහිත්‍යධරයන් ද කුමන හෝ වින්නැහියක් කරගන්නට පුළුවන. ශෂීගේ අදහස් දැක්වීම හා විවේචනය ඒ තරමටම භයානක ය. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේ සිරිමාන්න මහතා සමඟ රසවාදය පිළිබඳ වාදයකට එළැඹ; අපූරු දේශන පෙළක් පැවැත්වූහ.

එම දේශන පෙළ මුළුමනින් ම ගෙන විදුලකර සඟරාවෙහි පිළිවෙළින් පළ කර තිබිණි. වසර පනහකට පමණ පෙර පවත්වන ලද එම දේශන පෙළ විචාරය සම්බන්ධයෙන් අදටත් වලංගු වේ. ඉන් උපුටාගත් කොටසක් දැක්වීමට කැමැත්තෙමි. “අලුත හැදීගෙන එන අයගේ සිරිත පරණදේටත් පැරණියන්ටත් ගරහන එකයි. ඒක දැන් එක්තරා තාලයක්, මෝස්තරයක් , කලාවක්, ශිෂ්ටාචාරයේම අංගයක් වෙලාත් වගෙයි.

සමහර විටෙක විනෝදය පිණිස වෙන්නට පුළුවනි. සමහර විටෙක තමන්ටත් උගත්කමක්, හපන්කමක්, විවේචන ශක්තියක් තිබෙන බව පෙන්නීමට පහසු මගක් වශයෙන් වෙන්නටත් පුළුවනි. කිසියම් කාරණයක්, හේතුවක් - යුක්තියක් ඇතිවත් නෙවෙයි. තමන් මේ කියන්නේ මොකක් ද? මොකක් ගැන ද? කියන තරමවත් නොදැන, නොහිතා කියන කාරණයේ තියෙන බරපතළකම, සියුම්කම, යථා තත්ත්වය තියා තමන්ගේ නොදන්නාකම ගැනවත් නො දැන - නොහිතා ඒක සුදුසු නෑ. ඒක අශාස්ත්‍රීයයි. ඒක විචාර යෝග්‍ය නැහැ කියා දොස් කියනවා. නින්දා අපහාස කරනවා. ගරහනවා.”

( විදුලකර - 1965 දෙසැම්බර් - කලාපය )

කලා කෘතිය තුළ ද, කලාකරුවා ළඟ ද අව්‍යාජත්වය පැවැතිය යුතු ය. රුසියාවේ මහා නවකතාකරු ලියෝ තොලිස්තොයිගේ සාහිත්‍යවාදයෙහි පවත්නා එක් ප්‍රබල සාධකයක් ලෙස ද, අර්නස්ට් හෙමිංවේ ගේ චරිත නිරූපණයෙහි පවත්නා මූලික ලක්ෂණය ලෙස ද අව්‍යාජත්වය සැලැකිය හැකි ය. ලේඛකයා ගේ අව්‍යාජත්වයට ඔහුගේ අවංක පරිශ්‍රමයන් හා සත්‍යවාදී ගුණය ද ඇතුළත් වේ. එහෙත් අපේ නූතන නවකතාකරුවෝ එය තුට්ටුවකට නො සලකති. ඔව්හු කබල් නවකතාවක් ලියූ සැණෙන් ම (සමහර විටෙක එය එළිදැක්වීමටත් පෙර ම) සාහිත්‍යයට නිර්දේශ සපයති. මේ මෝඩකම හෙවත් අධිමානය ශෂී ප්‍රභාත් ළඟ ද නො අඩුව තිබේ.

ලොව කවුරුන් වුවත්
අවමන් නොකර බස් දෙ ත්
අසමින් ඇති පව ත්
රැගෙන නිස්සක් කෙරේ ගුණ වත්
(කාව්‍යශේඛරය)

ශෂී ප්‍රභාත්ගේ “ප්‍රඥා ප්‍රාසාද” නම් නවකතාව ද්වේෂ සහගත චිත්තයෙන් යුතු ව ලියන ලද අමු කෙප්පයෙකි. එහි ඉලක්කය වන්නේ රටේත් ජාතියේත් ඉදිරි ගමන වෙනුවෙන් අප්‍රමාණ කැපවීමකින් කටයුතු කළ බුද්ධිමත් ප්‍රජාවට ගැරහීම ය. තමන් විෂයයෙහි අභිමත නො වන සියලු බුද්ධිමතුන් අංගොඩට හෝ මුල්ලේරියාවට හෝ දැක්කීම කතුවරයාගේ අරමුණ වී තිබේ. බුද්ධිමතුන්ගේ ජාතික කාර්යයන් හෑල්ලු කිරීම සඳහා ශෂී ප්‍රභාත්ට අයිතියක් ලැබෙන්නේ කෙසේ ද? ඔහු ඒ සඳහා කවර විශ්ලේෂණයක් කර තිබේ ද?

ශෂී ප්‍රභාත් යනු කවරෙක් ද? ඔහු සම්භාව්‍ය කෘතියක් ශුද්ධ කර තිබේ ද? නැත. සැලැකිය යුතු පර්යේෂණයක් කර තිබේ ද? නැත. කලාවට වැදගත් විචාර ග්‍රන්ථයක් ලියා - පළකර තිබේ ද? නැත. සහෘද අවධානය ගත්; කවියක්, කෙටිකතාවක්, සිංදුවක් ලියා තිබේ ද? නැත. එසේ නම්; උසස් ශ්‍රාස්ත්‍රාලයයකින් භාෂා - ශාස්ත්‍ර, කලා - දර්ශන ඈ විෂයයක් හදාරා තිබේ ද? දන්නේ නැත. එබඳු ඇකඩමියක උගන්වා තිබේ ද? දන්නේ නැත. එසේ නැතහොත් මාර්ටින් වික්‍රමසිංහයන් සේ බරපතළ ස්වයං අධ්‍යයනයක යෙදී ඇති බවට සාක්ෂ්‍යය පවතින්නේ ද? ඒත් දන්නේ නැත.

ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසය විමසන විට රටේත් - ජාතියේත් අභියෝග ලෙස ද ඉදිරි ගමනෙහි සන්ධිස්ථාන ලෙස ද සැලැකිය හැකි යුද්ධ ගණනාවක් තිබේ. කැරලි ගණනාවක් තිබේ. අරගල ගණනාවක් තිබේ. ඇතැම් යුද්ධ ඉන්දීය ආක්‍රමණවලට එරෙහිව ය. ඇතැම් යුද්ධ යුරෝපීය ආක්‍රමණවලට එරෙහිව ය. තවත් යුද්ධ ප්‍රාදේශීය පාලනයට සම්බන්ධව ය. මේ හැරෙන්නට මෑත ඉතිහාසයෙහි තරුණ නැගිටීම් තුනක අත්දැකීම් අපට තිබේ. දකුණේ දෙකක් හා උතුරේ එකක් වශයෙන් ය. මෙයින් උතුරේ තරුණ නැගිටීම වඩාත් සංකීර්ණය.

මේ යුද්ධ, අරගල, කැරලි හා තරුණ නැගිටීම්වලට අදාළ බුද්ධිමය දායකත්වයක් තිබේ. ඇතැම් ගැටුමක යුක්ති - යුක්තභාවය නිර්ණය කිරීම සඳහා බුද්ධිමතුන්ගේ දායකත්වය ලැබී තිබේ. තවත් ගැටුමකට විසැඳුම් සැපයීම සඳහා බුද්ධිමතුන්ගේ දායකත්වය ලැබී තිබේ. සාධාරණ සටනක අාධ්‍යාත්මික ශක්තිය සඳහා ද බුද්ධිමතුන් දායකත්වය ලබා දී ඇත. මේ දායකත්වය, මත දැක්වීම හා ඍජු ක්‍රියාකාරකම් ද ඉතිහාසයෙහි සටහන් ව තිබේ’ එහෙත් ගැඹුරු හා පෘථුල විශ්ලේෂණයකින් තොරව බුද්ධිමතුන් එදා ගත් තීන්දු විවේචනයට ලක් කළ නො හැකි ය. ඇතැම් සිදුවීමක යුක්ති - යුක්තභාවය තීන්දු කිරීමට තව වසර ගණනාවක් යන්නට ද පුළුවන.

මෙබඳු විශ්ලේෂණයක්, විධිමත් පර්යේෂණයක් තව ම සිදු වී නැති බව අපගේ වැටහීම ය. එසේ නම් ; කබල් නවකතාවකින් බුද්ධිමතුන්ගේ ජාතික කාර්යයට පහර දෙන්නේ කෙසේ ද? මේ කතාවේ එන ප්‍රධාන චරිතය සිංහල ජාතියේ අනන්‍යතාව හඳුනා ගනිමින් එහි අනාගතය ගොඩ නැඟීමට පරිශ්‍රමයක් දරයි. අමරබන්දු ඒ සඳහා සිය ජීවිතය ම කැප කරයි. ශෂීට අනුව එය විහිළුවකි. රටේ ස්වාධීනත්වය, ඒකීයභාවය, ත්‍රස්තවාදය පරාජය කිරීම, භෞමික අඛණ්ඩතාව යන සියල්ල කතුවරයාට අනුව අමු විහිළුය. ඒ පමණක් නොව ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදයෙකි.

ශාස්ත්‍රඥයකු, බුද්ධිමතකු හා සාහිත්‍යධරයකු වූ මහාචාර්ය අමරබන්දු, ජාතියේ ගමන් මඟ තීන්දු කිරීම සඳහා ක්‍රියාත්මක වන තරුණ දේශපාලඥයකු වන සඳුන් මාරසිංහ හා රටේ වත්මන් නායකත්වය ද ශෂී විසින් නිර්දය විවේචනයට ලක් කරනු ලැබේ. ඔවුන් කළ වරද ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම ද? ඊට දායකත්වය සැපයීම ද? ශෂීගේ තර්කය ඉදිරියට ගෙන ගියහොත්; බල්ගේරියාවේ නායක තෝදර් ෂිව්කොව් වැරැදි ය. වියට්නාමයේ හෝචිමිං වැරැදි ය. චීනයේ මාඕ සේතුං වැරැදි ය. කිම් ඉල් සුං වැරැදි ය. පිදෙල් ක්‍රැස්ත්‍රෝ වැරැදි ය.

වියට්නාමයේ, උතුරු කොරියාවේ , කියුබාවේ, චීනයේ, ජපානයේ මෙබඳු පොතක් ලියැවුණේ නම්; නිත්‍ය ලෙස ම කතුවරයාට එරෙහි ව නීතිමය පියවර ගනු ඇත. කතුවරයා නීතිය ඉදිරියේ මුළුමනින් ම පරාජයට පත් වන්නේ ඔහු හේතු යුක්තියකින් තොර ව සිදු කරන නිරූපණ හා හිතාමතා ම ඉදිරිපත් කරන අපහාසාත්මක යෙදුම් නිසා ය. චරිත හා සිද්ධි නිරූපණය ඔස්සේ මතු කරන සියුම් උපහාසයකට කලාව තුළ ඉඩක් ඇතත් ; කතුවරයා ඉදිරියට පැන මතු කරන අමූලික බොරුවලට හා අහේතුක අපහාසවලට නවකතාවේ ඉඩක් නැත. කතුවරයා සිය කථා වින්‍යාසය ගොඩනඟනුයේ ශික්ෂණයකින් තොර ව අශීලාචාර ලෙස ය.

දේශපාලන ප්‍රහසන යැයි ජාතියක් තිබේ. නාට්‍යය, සිනමාව, නව ප්‍රබන්ධ යන විෂයයන් ඉක්ම ගොස් චරිතාපදානවලට ද ප්‍රහසනය එක් වී ඇති බවක්; යුරෝපය, අප්‍රිකාව හා ලතින් අමෙරිකාව දෙස බලන විට පෙනේ. එහෙත් ශෂීගේ මාර්ගය අනෙක කි. ඔහුගේ වෑයම ජාති මාමක බුද්ධිමතුන් සමූල ඝාතනය කිරීම ය. ඔවුන් පිස්සන් ලෙස සලකා පසුව එම පිස්සුවෙන්ම මිය - පරලොව යෑමට සැලැස්වීම ශෂීගේ උපාය මාර්ගය යි. ඔහු අමරබන්දුගේ මරණයට සිනාසෙයි.

“අමරබන්දුගේ නිසල දේහය දෙස මනෝ වෛද්‍යවරයා බලා සිටියේ නූතන බුද්ධිමතුන්ගේ නියැදියක් පරීක්ෂා කරන්නාක් බඳු දෑසිනි.”
(ප්‍රඥා ප්‍රාසාද - පිටුව 176)

ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් නම් සමාජ විශ්ලේෂකයා ලෝකා’වධානයට ලක් වූ කෘතීන් දෙකක් සම්පාදනය කර තිබේ. “ප්‍රයිස් ඔෆ් අ ඩ්‍රීම්” එක කෘතියකි. “හව් ටු චේන්ජ් ද වර්ල්ඩ්” අනෙක් කෘතිය යි. මේ කෘති දෙකෙන් ම කතුවරයා ඉතා වැදගත් පණිවිඩයක් සමාජය වෙත මුදා හරී. එනම් ; ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කිරීමේ දී බුද්ධිමතුන්ගේ කාර්යභාරය සේම ඊට යටි පෙළක් ද ඇති බව ය.

එම යටි පෙළ නියෝජනය කරනුයේ ගුරුවරුන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන්, සමාජ නායකයන්, ප්‍රාදේශීය ප්‍රභූන් වැනි පිරිස් ය. බුද්ධිමතුන් ගේ සාර මතවාද හා දේශපාලකයන්ගේ සංවර්ධන වැඩසටහන් සමාජගත කරනුයේ අප කියන දෙවන පෙළ සමාජ ක්‍රියාධරයන් ය. සමාජයේ නායකත්වය හිමි කරගත් ඉහළ පෙළේ බුද්ධිමතුන් මතු නොව ; දෙවන පෙළ සමාජ ක්‍රියාධරයන් ද ජාතියක ප්‍රගමනය සඳහා අතිශයින් ම වැදගත් වන බව ඩේවිඩ් බොන්ස්ටීන් පෙන්වා දෙයි.

නෙල්සන් මැන්ඩෙලා “හව් ටු චේන්ජ් ද වර්ල්ඩ්” නම් කෘතිය අගයමින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ. මේ කෘතීන් දෙකට ම විවිධ සම්මාන ලැබී ඇත. ශෂී වැනි අය ඔහුගෙන් පාඩම් උගත යුතු ය. ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් කිසිවිටෙක බුද්ධිමතුන් ගර්හාවට ලක් කළේ නැත. නව ප්‍රබන්ධයක් ලෙස ගත් කල ද “ප්‍රඥා ප්‍රාසාද” සාර්ථක නවකතාවක් නො වේ.

චරිත නිරූපණයට ඉඩ නො දෙමින් කර්තෘ පැන - පැන අදහස් ඉදිරිපත් කිරීමක් මෙහි තිබේ. එහි භාෂාව නිවැරැදි’මුත් එය නිර්මාණාත්මක නැත. එහි ඇත්තේ කෘත්‍රිම හරසුන් දෙබස් ය. එක ම සාධනීය ලක්ෂණයක් ඇත්තේ අපහසුවකින් තොරව කියවාගෙන යෑමේ හැකියාව තිබීම ය. කෙටි පරිච්ඡේද හා කෙටි ආඛ්‍යාන ඊට හේතුවක් වී තිබේ. මේ කෘතිය අසාර්ථක යැයි පෙන්වීම සඳහා දීර්ඝ විග්‍රහ අවශ්‍ය නොවේ. ශෂී දක්ෂ පත්තරකාරයකු විය හැකි ය. එහෙත් ඔහු දක්ෂ නවකතාකාරයෙක් නොවේ.

රන්ජන් අමරරත්න

8 comments:

  1. හ්ම්ම්..අපූරු ලිපියක් සහෝ! ඔබේ අඩවියෙන් මෙවන් වැදගත් දේ ලියැවීම මම ඉතා අගේ කොට සලකනවා.

    ReplyDelete
  2. ඔබගේ කමෙන්ට් එක දැක මම අමන්දානන්දයට පත්වු‍ණෙමි.ජය

    ReplyDelete
  3. Replies
    1. ස්තුතියි මිත්‍රයා

      Delete
  4. මේ දේවල් ගැන ලියන එකට සතුටුයි. අපිට අලුත් දේවල් දැනගන්න පුලුවනි. නැත්නම් විචාරයකින් තොරව ඔහේ ගිහින් අරන් එන පොතක් කියවන්න වෙනවා. අන්තිමේ ගත්ත දෙයකුත් නෑ. මුදලුත් අපරාදේ.
    දිගටම මේ සත්කාර්යය කරගෙන යන්න ලැබේවා! කියල පතනවා නලීන් .

    ReplyDelete
  5. ඔව් දිගටම ලියනවා.

    ReplyDelete
  6. දැකපු වැදගත් ලිපියක්.. අයියා ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට මගේ ප්‍රණාමය

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්