![]() |
සඳ දියෙන් නැහැවුණු වැනීසිය |
වැනීසිය ගැන මම ඉස්සරලාම දැනගත්තෙ චූටි කාලෙ මිහිර පත්තරෙන්. එදා හිතේ ඇඳුනු වැනීසිය කවදහරි බලන්න තියනවනම් කියලා සුන්දර හීනයක් හැමදාමත් හිතේ තිබුණා. අවුරුදු ගණනාවකට පස්සෙ ඒ හීනෙ හැබෑ වෙනකොටත් මට හිතුණෙ මම තාමත් දකින්නෙ හීනයක්ද කියලා.
අපි වැනීසියට
යනකොට හවස 4ට විතර ඇති. දිනය ජූලි 2. මේ ගිම්හාන කාලෙ. ඉවසන්න බැරි තරමටම අව්ව
රස්නෙයි. මහ පාරෙ වාහන යනවා වාගෙ ඇලවල් දිගේ බෝට්ටු යනවා. සෙනග පිරුණු බෝට්ටුවක
නැගලා අපිත් ගමනාරම්භ කළා.
![]() |
රියාල්ටෝ පාලම |
හාපුරා කියලා
අපි වැනීසියට ගොඩවැදුණෙ ‘රියාල්ටෝ‘ තොටුපොලෙන්. ඇලවල් පිරුණු, බෝට්ටුව ප්‍රධාන
ගමන් මාර්ගය වුණු වැනීසියෙ පාලම් බොහොමයි. සැන් මාකෝ හා සැන් පෝලෝ දිස්ත්‍රික්ක
දෙක යාකරන ‘රියාල්ටෝ‘ පාලම ඵ් අතරින් ප්‍රධානයි.
ගල් වලින් නිමකර ඇති, අලංකාර කැටයම් සහිත මෙම පාලම සාදා නිමකර ඇත්තේ 1591දී. මෙය
මෙහි කලින් තිබූ ලී පාලමේ අකාරයටම සෑදූ බව සඳහන්.
ආවරණය කර ඇති පාලම දිගටම චූටි කඩ පිරිලා. හැම කඩයකම සංචාරකයොත් ඵ් වගේම
පිරිලා. සතුටු සිනා හඬ හැමපැත්තෙන්ම ඇහෙනවා. වැනීසියෙ සමහර පාලම් නිමකර
ඇත්තේ ලී වලින්. එවැනි එක් ලී පාලමක ඇඳි දෙක දිගේම චූටි චූටි ඉබි යතුරු මහා ගොඩක්
දාලා පෝලිමට. හොයලා බැලුවම ඒ මෙහි පැමිණෙන ආදරවන්තයො තමන්ගෙ ආදරේ තහවුරු කරන
හැටිලු. සමහරු ටිකක් ලොකු ඉබ්බෙකුට චූටි ඉබ්බෙකුත් අමුණලා. යතුරු දාලා, තමන්ගෙ
ආදරේ තහවුරු කරලා, යතුර ගඟට විසි කරලා යන එකලු සිරිත.
![]() |
ආදර ඉබ්බෝ |
වැනීසියට යන්න
කලින් වෙබ් අඩවි පීර පීර තොරතුරු හොයද්දි, ඵක තැනක තිබුණා ‘වැනීසියෙ අතරමංවෙන්න‘
කියලා. ඒ තරම් මහන්සියක් නැතුවම ඒක කරගන්න පුළුවන් කියලා අපිට තේරෙන්න වැඩි
වෙලාවක් ගියෙ නෑ. සාප්පු, ආපනශාලා පහු කරගෙන, ගල් අතුරපු පටු පාරවල් දිගේ ඔහේ
ඇවිදින ඵකත් හරිම අපූරු අත්දැකීමක්! හැම වීදියක්ම දෙස් විදෙස් සංචාරකයින්ගෙන්
පිරිලා. මොනතරම් නවීන පහසුකම් තිබුණත් වැනීසියෙ පෞරාණික පෙනුමට ඒ කිසිවකින් බාධාවක්
වෙලා තිබුණෙ නෑ. රථවාහන නැති ජනාකීර්ණ නගරයක ඇවිදින එකත් කොයිතරම් නිස්කලංක අත්දැකීමක්ද.
පැය ගණනක් ඇවිදලා, සමහරවිට අතරමංවෙවී අපි කොහොම හරි ඕනෙ කරන තැනට ආවා.
![]() |
උඩු ගුවනේ සිට |
ශාන්ත මාක්
චතුරස්‍රය! පටු වීදි දිගේ ඇවිත් අපි ඵක පාරටම විශාල විවෘත ස්ථානයකට ආවා. බලන
හතරවටේටම තිබුණෙ හරිම ගාම්භීර පෙනුමැති ගෘහ නිර්මාණශිල්පයන්. ශාන්ත මාක් චතුරස්‍රය වැනීසියේ ඉතාමත් වැදගත්
ස්ථානයක්. රජයේ කාර්යාල ආදී බොහොමයක් පහසුකම් පිහිටා ඇත්තේ මෙහි. චතුරස්රයේ
පිහිටි ශාන්ත මාක් බැසිලිකාව සියලු
ගොඩනැගිලි අතර ප්‍රධානයි. නිමවා ඇත්තේ පෙර අපර දෙදිගම ගෘහ නිර්මාණ ශිල්පයන්ට
අනුව. අතිශය සියුම් කැටයම් විශ්වාස කරන්නත් බැරිතරම් විශ්මිතයි. ඵ් අසලම ඇති
ඝණ්ඨාර කුළුණ මීටර් 98.6ක් උසයි. 9 වන ශත වර්ෂයේ සාදන ලද මුල්කුළුණ 1902දී කඩා
වැටුණු පසු නව කුළුණ සාදා ඇත්තේ 1912 දී. විශාල ඝණ්ඨාර දෙකක් කන ලගම හඬවන කොට
නැගෙන ශබ්දය කන් බිහිරි කරවන තරම්. කුළුණ උඩට නැග්ගාම ඈත පෙනෙන ගොඩනැගිලි පිරුණු චූටි චූටි දූපත් පෙනෙන්නෙ, හරියට
පාවෙනවා වගේ.
![]() |
ජනාකීර්ණ වැනීස් වීදි |
ගිම්හාන කාලෙ
වැනීසියට අඳුර වැටෙන්න පටන්ගන්නෙ රෑ 10ට විතර. හවස 4 හමාරෙ විතර ඉඳලා ඇවිදලා
ඇවිදලා කියන්න බැරිතරම් මහන්සියි. ඇවිදින අතරෙ රසම රස ඉතාලි ජෙලාටෝ (අයිස්ක්‍රීම්)
තමයි අපේ මහන්සිය නිමුවෙ. කොච්චර මහන්සි උනත් වැනීසියට රාත්‍රිය උදාවෙනවා දකින්නෙ
නැතුව යන්නෙ කොහොමද. දැන් වෙලාව රෑ 9 හමාරට විතර ඇති. අපි රාත්‍රි ආහාර ගන්න තීරණය
කළා. ලොකු කුඩා හැම ආපන ශාලාවක්ම අමුත්තන්ගෙන් පිරිලා. යන්තම් අඳුර වැටීගෙන එනවා.
හවස තිබුණු කලබලකාරී පරිසරය කොහෙ ගිහින්ද දන්නෙ නෑ. සමහරවිට හුඟක් අය ආපහු ගිහින්
වෙන්න ඇති.
අපි ආපහු
ශාන්ත මාක් චතුරස්රයට යන්න පිටත්වුණා. රාත්‍රියට ශාන්ත මාක් චතුරස්‍රය දිස්වෙන
ආකාරය තමයි මම වැනීසියෙ තොරතුරු හොයද්දි හම්බුණු ආකර්ශණීයම පිංතූරය. මේ දර්ශණය
දැකගන්න මම හරිම නොඉවසිල්ලෙන් හිටියෙ. කලින් ගියපු පාරවල් මතක තිබුණු නිසා මේ සැරේ
ගමන ලේසියි. යන අතරමග දුටු සිත්ගත් අංගයක් වුණේ ගොන්ඩෝලා බෝට්ටු. මේ වැනීසියත්
එක්කම අත්වැල් බැඳගත් ජනප්‍රිය අංගයක්. යුරෝ 100ක් අයකරන ගොන්ඩෝලා බෝට්ටු පෝලිමට
ඇදෙන අයුරු, රාත්‍රියට හරිම ලස්සන දසුනක්.
![]() |
ගොන්ඩෝලා සවාරි |
ඔන්න අපි
නියමිත තැනට ආවා!
ඒ දර්ශනය කවදාවත්ම
අමතක වෙන එකක් නෑ මට! ඉහළට ගත්ත හුස්ම පහළට දාන්නත් අමතකයි අපි හතර දෙනාටම. සංචාරය
සැලසුම් කරන වෙලාවෙ හිතුවෙ නැතත් අහම්බෙන් වාගෙ අපි ගමන යොදාගෙන තිබුණෙ පෝය දවසට
කලින් දවසෙ. සුන්දර වැනීසිය සඳ වතුරෙන් නැහැවෙනවා. අලංකාර පැරණි ගොඩනැගිලි විදුලි
එළියෙන් ආලෝකමත් වෙලා. චතුරස්රයට වඩදිය ඇවිත් අපේ පතුල් වැහෙන තරමට. වතුරෙන්
පෙනෙන විදුලි එළිවල ප්‍රතිබිම්බය අතිශයින්ම රමණීයයි. චූටි කාලෙ ඉඳලා හිතේ මැවුණු
සිහින වැනීසිය!! ආපන ශාලා දෙකක් ඉදිරිපිට තැනූ කුඩා වේදිකා දෙකක,කුඩා සංගීත
කණ්ඩායම් දෙකක් ප්‍රේමනීය වාදනයක. අවුරුදු 15, 16 විතර යෞවනියෝ සිතූසේ රංගනයේ
යෙදෙනවා. මේ පාරාදීසයේ කාගෙන් කුමන බාධාද ඔවුන්ට. රාත්‍රී චමත්කාරය තවත් ටික
වේලාවක් රිසිසේ විඳගත්තා අපි.
![]() |
වැනිසිය ගැන මම ඉස්සරලාම දැනගත්තෙ චූටි කාලෙ මිහිර පත්තරෙන් |
මේ අගනා ලිපිය සමකයට යොමු කළේ දැනට දෝහා කටාර් හි වෙසෙන
සමුද්‍රිකා හේරත් ලේඛිකාවයි
මරු නේ වැනීසිය.ආස හිතෙනාව....
ReplyDeleteදහසක් රාජකාරි අතර ලද කෙටිම් කෙටි විරාමයකදි ගොන්ඩෝලා බොට්ටු වලින් වැනීසියේ ගිය චාරිකාව .....රියාල්ටෝ‘ පාලම මතින් පිය ඔසවමින් සමහරවිට අතරමංවෙවී ගිමන් හරිමින් , මාක් චතුරස්රයට ගිය ගමන...........
ReplyDeleteනතර නොකර දිගටම ලියන්න.............
ලේඛකයාගේ පරම සතුට ලැබෙන විචාරයයි.
Deleteඅපේ අම්මත් එක පාරක් වැනීසියේ සංචාරයක යෙදී තිබුනා.ඒ ගමනේ කතා ඇහුවම මටත් කවදාක හරි යන්නම ඕන කියල හිතුනා වැනිසියට.අපූරු ලිපියක් යාලු..
ReplyDeleteඔබට ජය!
බොහොම ස්තුතියි!
Deleteබොහොම ස්තුතියි දිරිගැන්වීමට.
ReplyDeleteසුන්දර අත්දැකීමක් නිර්මාණාත්මක විදියට බෙදාගන්න ගත්ත හොඳ උත්සාහයක්. නියමයි. කපිල & අයෝමා
ReplyDeleteස්තුතියි!
Deleteඅපූරු ලිපියක්. ලියපු ලේඛිකාවට සහ පළකරපු සමකයට බොහොම ස්තූතියි.
ReplyDeleteස්තුතියි සහෝදරයා
Deleteසමුද්‍රිකා දෝහා ඉන්නවානම් වැනීසිය ඉතින් තියෙන්නේ විලජියෝ එකේ..
ReplyDeleteඔව්නේ :)
ReplyDelete