රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-11-12

“විල්ලරවාඩිය” තනුවක් නැති සිංදුවක් වගෙයි!

අප හිතවත් බ්ලොග් රචකයකු වූ හෙන්රි වර්ණකුලසූරියගේ විල්ලරවාඩිය ගැන අමරේගේ විවරණය දිනමිණ කටගැස්ම වෙනුවෙන් ලියැවුණු සටහනකි මේ..

රචකයාට සමාජ අත්දැකීම් තිබූ පමණින් නවකතාවක් සාර්ථක වන්නේ නැත. රචකයාට නිරූපණ හැකියාව තිබූ පමණනින් ද නවකතාවක් සාර්ථක වන්නේ නැත. නවකතාවක් විකාශය විය යුත්තේ සමාජ ගැටුමක් හෝ පුද්ගල ගැටුමක් මූලික කරගෙන ය. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැතැ’යි කියන්නා සේ ම ගැටුමක් හා ඉලක්කයක් නැති තැන සාර්ථක නවකතාවක් බිහිවන්නේ ද නැත. අප අද කතාබහට ගන්නා හෙන්රි වර්ණකුලසූරියගේ විල්ලරවාඩිය නවකතාව ඊට හොඳ ම නිදර්ශනයෙකි.



හෙන්රි වර්ණකුලසූරිය
මේ නවකතාවෙන් කියැවෙන්නේ ලන්දේසි ඇළ හෙවත් මෝඩ ඇළ ආසන්නයේ පිහිටි ජනාවාසයක තොරතුරු ය. එහි විවිධ ජනවර්ගවලට අයත් මිනිස්සු ජීවත් වෙති. සිංහල, මුස්ලිම්, බර්ගර් යනාදී වශයෙනි. විවිධ කුලවලට අයත් මිනිස්සු ද එහි වෙති. කරාව, බද්ගම, ගොවිගම ආදී වශයෙනි. විවිධ ආගම් අදහන මිනිස්සු ද එහි වෙති. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ආදී වශයෙනි. මේ පිරිස් එකට ජීවත්වන හැටි හෙන්රි කියයි. ඒ හැර වෙනත් කිසිවක් නවකතාව තුළ නැත.


නවකතාවේ ප්‍රධාන අරමුණ පාඨකයාට රසයක් ලබාදීම යි. දෙවනුව යම් සමාජ යථාර්ථයක් හෝ ජීවිත යථාර්ථයක් හෝ හෙළිදරව් කිරීමයි. මේ දෙක එකිනෙකට සම්බන්ධ ය. කියැවීමේ රුචිය නැති නවකතාවක සමාජ යථාර්ථයෙන් හෝ ජීවිත යථාර්ථයෙන් හෝ පලක් නැත. කියැවීමේ රුචිය වර්ධනයට යොදාගත හැකි එක ම උපාය මාර්ගය සාර්ථක කතා වස්තුවක් ගොඩනැඟීම යි. නවකතාව ආරම්භ වන්නේ කතාන්දරයෙන් ය. කතාන්දරයට මුල් වන්නේ ගැටුම ය.

බටහිර සාර්ථක නවකතාකරුවන්ගේ මතය වන්නේ කතා වස්තුවක් ගොඩනැඟීමෙන් පසු නවකතාවේ වැඩවලින් අර්ධයක් අවසන් බව ය. සමහර නවකතාකරුවෝ කතා වස්තුවක් ගොඩනැඟීම සඳහා විශාල කාලයක් කැප කරති. කතා වස්තුව යනු කුමක් ද? කිසියම් ගැටුමක් මූලික කොට සිද්ධි ගැළපීම කතා වස්තුව යි. එය නවකතාවේ සැලැස්ම ලෙස ද සැලැකිය හැකි ය. චරිත නිරූපණය, සංකේත භාවිතය, ශෛලිය ආදිය නිර්මාණය වන්නේ ඉහත කී සැලැසුම හෙවත් කතා වස්තුවට අනුව ය.

කතාවකට තිබිය යුත්තේ ඊළඟට සිදුවන්නේ කුමක් ද? යන ප්‍රශ්නාර්ථය යි. (We read to bind out what will happen next) එය නිර්මාණය කරගත හැක්කේ ගැටුම ඔස්සේ ය. ගැටුමක් නැති නවකතාව තනුවක් නැති සිංදුවකට සමාන ය. තනුවක් නැති සිංදුවට තැනක් නැත. එය ශ්‍රවණයට, ගායනයට තනුව අවශ්‍ය වේ. මේ නවකතාවත්, තනුවක් නැති සිංදුවක් වගේ ම ය. එහි රසයක් නැත. ඊළඟට සිදුවන්නේ කුමක්දැ’යි කුහුලක් නැත. නවකතාවේ පදාස ගණන් අත්හැරිය ද පාඩුවක් නැත. හෙන්රිගේ වටිනා සමාජ අත්දැකීම් රැසක් මේ නවකතාව නිසා අපතේ‍ ගොස් තිබේ. ඒවා පහත සඳහන් ලෙසින් ගොනු කළ හැකි ය.

(I) වයඹ පළාතේ මිශ්‍ර ජනාවාසයක කුල භේදය.

(II) එම ජනාවාසයේ ජාතිවාදයට අදාළ තොරතුරු

(III) ශ්‍රී ලංකාවේ වමේ දේශපාලනය

(IV) ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පිළිබඳ පොදු ජනයාගේ මතය

(V) අසූව දසකයේ භීෂණ සමය හා තරුණ නැගිටීම

කුල පීඩනය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නයක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ පවතී. සමාජ චින්තනය ඉතා ශීඝ්‍රයෙන් දියුණුවට පත් වුව කුමන හෝ තැනක දී කුල භේදය මතුවීම අපේ සමාජයේ පවත්නා ප්‍රධාන දුර්වලතාවකි. පහත් යැයි සම්මත කුල නියෝජනය කරන ඇත්තෝ මීට සූදානම් වීම සඳහා සමිති - සමාගම් පවා පිහිටුවාගෙන සිටිති. මේ අතින් බලන විට ශ්‍රී ලංකාවේ කුල පීඩනය නවකතාවට හොඳ වස්තු බීජ සපයයි. මස්ඉඹුලගේ “සෙංකොට්ටං” නවකතාව රටේ කුල පීඩනය මූලික කොට මෑත භාගයේ ලියැවුණු කදිම නවකතාවෙකි. එම නවකතාව විකාශය වන්නේ මූලික ගැටුම් කිහිපයක් පදනම් කරගෙන ය.

විල්ලරවාඩිය නවකතාවට පසුබිම් වන ජනාවාසය තුළ ගොවිගම, කරාවේ හා බද්ගම කුලවලට අයත් මිනිස්සු ජීවත් වෙති. එහෙත් ඔවුන් ඔස්සේ මතුවන අමුතු ගැටුමක් නැත. ඉඳහිට සංවාදවලින් කුලය ගැන මතක් කර සිටිය ද ඔව්හු එකට ජීවත් වෙති. මෙය සාමාන්‍ය ජීවිතය සමඟ ගළපන විට විශාල බොරුවකි. කුලය පදනම් කොට මතුවන ගැටුම් සමූහයක් සෑම සමාජයක් තුළ ම තිබේ. කතුවරයා ඒවා නිරීක්ෂණය කර නැත. මේ දීර්ඝ නවකතාව තුළ ඇත්තේ වග විස්තර පමණි. මිනිසා ජීවත්වීම සඳහා දරන අප්‍රමාණ වෑයම, ආදරය ඉදිරියේ විඳින වේදනාව කතුවරයාගේ සැලැකිල්ලට ලක් වී නැත. කොටින් ම ඔහුට මනුෂ්‍යත්වය වැටහෙන්නේ නැත.

විල්ලරවාඩියේ මුස්ලිම්, සිංහල හා දෙමළ ජාතීහු වාසය කරති. ඔවුන්ගේ ඉඩකඩම් මායිම් කරගැනීම හැර වෙනත් ගැටුමක් පොතෙහි සඳහන් වී නැත. අවම ලෙස අවුරුදු 40 ක් 50 ක් කාලසීමාව තුළ රටේ ඇති වූ වර්ගවාදී ගැටුම් හා විරසකයන් මේ ජන කොට්ඨාසයට බලපෑ ආකාරයවත් හොඳින් නිරූපණය වී නැත. එක අතෙකින් විල්ලරවාඩිය යනු හුදෙකලා ජනාවාසයක් බඳු ය. එබඳු ගම්මාන හෝ ජනාවාස හෝ කොහේවත් නැත. නවකතාවකින් එබඳු ජනාවාසයක් මැවීමේ තේරුමක් ද නැත. ප්‍රබන්ධයක මූලික අරමුණ සමාජ යථාර්ථය හෙළිදරව් කිරීම නම්; මේ මඟින් එවැන්නක් සිදුවන්නේ නැත. විල්ලරවාඩිය කර්තෘගේ අත්දැකීම් නාස්තියට පත් කළ නවකතාවක් ලෙස පෙන්වා දිය හැකි ය.

වමේ දේශපාලනය ගැන වග විස්තර ගොඩක් ද පොතට ඇතුළත් ය. වැඩ වර්ජන, සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරීත්වය, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සිදුවීම් ආදිය ඒ අතර තිබේ. මේවා අදාළ චරිත සමග ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ කොට කතාවේ විකාශය සඳහා ගළපාගෙන නැත. සිදුවීම්, චරිත, සංවාද හුදෙකලා ලෙස එල්ලා වැටෙයි. නිදහස ලැබීම පිළිබඳ එකිනෙක මිනිසුන්ගේ මත පළකිරීමෙන් ද වැඩක් වී නැත. භීෂණ සමය කඩා වදින්නේ එක පාරට ම ය. ඒවා කතාව සමඟ සම්බන්ධ වන්නේ කාලයෙන් පමණි.

නවකතාවට වැදගත් වන කරුණු කිහිපයක් සිහිපත් කිරීම වැදගත් යැයි අපට සිතේ.

(I) කතා වස්තුව හා සැලැසුම

(II) චරිත නිරූපණය

(III) සිද්ධි නිරූපණය

(IV) පසුබිම තීන්දු කිරීම

(V) දෘෂ්ටි කෝණය

(VI) භාෂාව හා ශෛලිය

(VII) තේමාව

(VIII) උත්ප්‍රාසය හා සංකේත භාවිතය

මේ සෑම සාධකයක් ම නවකතා රචනයේ දී වැදගත් ය. හෙන්රි වර්ණකුලසූරිය එම සාධක ගැන වැටහීමකින් නවකතා රචනයෙහි යෙදෙන බවක් පෙනෙන්නට නැත. නිදසුනක් ගතහොත් විල්ලරවාඩිය කතාවට තේමාවක් නැත. වරෙක දේශපාලනය කියයි. වරෙක පවුල් සංස්ථාව ගැන කියයි. වරෙක කුල භේදය සටහන් කරයි. වරෙක නිදහස ගැන වාද - විවාද ඇතිවෙයි. ඒ සියලු අදහස් හා මතවාද විසිරී පවතී. කතාවට තේමාවක් නැත. ඉලක්කයක් නැත.

සිංහල නවකතාකරුවන් අතර නව ප්‍රබන්ධ හැදෑරීමක් නැත. වැඩි දෙනකු කතා ගොතනුයේ කියැවීමෙන් ලද පරිචය අනුව ය. බටහිර සාහිත්‍යය තුළ ද කියැවීමේ පරිචයෙන් හා ආභාසයෙන් නවකතා ලියන්නෝ සිටිති. එහෙත් නවකතාවේ ශිල්පීය ලක්ෂණ ඒ බොහෝ දෙනා ඉවෙන් මෙන් හඳුනාගෙන සිටිති. ඒ නිසා ම ඔවුන්ගේ ප්‍රබන්ධ තුළ කතා රසය මෙන් ම ගැඹුරු අන්තර්ගතයක් ද තිබේ. හෙන්රි වර්ණකුලසූරියගේ මේ කතාව තුළ ඒ ‍ෙදක ම නැත.

කතාවක් රසවත් ව ඉදිරිපත් කිරීම සඳහා කුතුහලය රඳවා ගත යුතු බව මුලින් ද සටහන් කළෙමු. එය නවකතාවක මූලික ලක්ෂණයක් ලෙස ද පවතී. මොන තරම් වැදගත් තේමාවක් තිබුණ ද කුතුහලයෙන් යුතු ව කියැවීමේ ගුණයක් කතාවකින් මතු නොවන්නේ නම් එය නවකතාවක් නො වන බව අපේ බොහෝ දෙනෙක් තව ම පිළි නො ගනිති. ඒ නිසා ම නවකතා ලෙසින් විශාල විස්තර සහිත හිස් පොත් ගෙඩි කලඑළි දකී. හෙන්රිගේ විල්ලරවාඩිය කෘතිය ද එබඳු පොත් ගෙඩියක් සේ හැඳින්වීම ඉතා නිවැරැදි ය.

මේ කතාවේ යම් රසවත් සිද්ධියක් ‍ඇතොත්; ඒ විල්ලරවාඩියේ සාමාජිකයන් එකිනෙකා මුණගැසී අරක්කු බොන අවස්ථා හා අනියම් සබඳතා පවත්වන අවස්ථා පමණි. අඩියක් ගසා විනෝද වන මිනිසුන්ගේ ස්වාභාවය පමණක් කතුවරයා ඉතා හොඳින් දනී. ඔවුන් පිළිබඳ නිරූපණයන් ද වැදගත් ය. අනියම් සබඳතා පවත්වන අවස්ථා ද හොඳින් නිරූපණය වී තිබේ. රසවත් සිදුවීම්වලට ඇත්තේ ඒවා පමණි.

තවත් යම් වැදගත්කමකින් යුතු සංවාද කිහිපයක් ද නවකතාවෙන් උපුටා ගත හැකිය.

“මාළු වෙළෙඳාම කරනවනං කරාවෙ

මිනිහෙක් වෙන්ඩ නැතෑ”

(පිටුව - 47)

“ඔව් ඉතිං අවස්ථාවාදෙත් එක්ක

ජාතිවාදෙත් හොඳට පෑහෙනවනෙ”

(පිටුව - 57)

මේ හැරෙන්නට හෙන්රිගේ සංවාද බෙහෙවින් දුර්වල ය. සාර්ථක නවකතාවක දක්නට ලැබෙන යටිපෙළ සහිත සංවාද විල්ලරවාඩිය තුළ දකින්නට නැත. ඇතැම් නවකතාකරුවන් සංවාදවලට කෙතරම් උනන්දුවක් දක්වන්නේ ද යත්; ඔව්හු සංවාද අවස්ථා පළමුව ලියා ඒවා කියවමින් නැවත - නැවත සංස්කරණය කරන හැටි අප දැක තිබේ. නව ප්‍රබන්ධයකට සංවාද ඒ තරමට ම වැදගත් ය. උත්ප්‍රාසය දනවන සංවාද ‍ෙමන් ම සංකේතාත්මක සංවාද ද හොඳ නවකතාවකින් පාඨකයා හමුවට එයි.

හෙන්රිගේ භාෂාව ද බෙහෙවින් අවුල් ය. ඔහු වරින් වර රිද්මය කඩා ගනී. ලිඛිත භාෂාව මෙන් ම කථන භාෂාව ද මිශ්‍ර කරගෙන වාක්‍ය ගොඩනැඟීමක් ද ඔහු ළඟ තිබේ. ඇතැම් සංවාද කටට හුරු නැත. ඒවා පරණ ටීටර්වල දෙබස්වලට සමාන ය. නවකතාව සෑම අංශයකින් ම පාහේ දුර්වල ය.

මෙබඳු දීර්ඝ හා නීරස නවකතා සිංහල නවකතාවලියට බලවත් තර්ජනයක් සේ අපට පෙනී යයි. සිංහල නවකතාවේ කියැවීමේ රුචිය වර්ධනය වෙමින් පවතින කාලයක් සේ මේ සමය හැඳින්විය හැකි ය. ස්වතන්ත්‍ර නවකතා මුද්‍රණය, නවකතා අලෙවිය, අලුතෙන් නවකතාකරුවන් බිහිවීම, නවකතා සඳහා සම්මාන උත්සව පැවැත්වීම වර්ධනය වී තිබේ. නවකතා පිළිබඳ අධ්‍යයනය ද ආරම්භ වී තිබේ. මෙබඳු සුබවාදී පසුබිමක් තුළ “විල්ලරවාඩිය” බඳු හිස් පොත්ගෙඩි පළකිරීම හැම අතකින් ම අවාසනාවකි.


රන්ජන් අමරරත්න

21 comments:

  1. රංජන් සිටින තුරු සෙල්ලම් නලින්ට බ්ලොග් කළ හැක... කියවන්න එපා උනා පොත මේක කියෙව්වම.. පොතක රිද්මයක් තිබිය යුතුමයි.. මොන බයිලේ උනත්..

    ReplyDelete
    Replies
    1. හෙන්රිත් බ්ලොගක් ලියනවා දේශෝ දන්නවද?

      Delete
    2. දන්නෑ බං..මොකක්ද ස්පොට් එක

      Delete
    3. අඩුමගානෙ ලිංක් කරන්නවත් තිබ්බ නලිං අය්යෙ

      Delete
    4. meka wenna athi....

      http://henrywarna.weebly.com/

      Delete
  2. //නවකතාවක් විකාශය විය යුත්තේ සමාජ ගැටුමක් හෝ පුද්ගල ගැටුමක් මූලික කරගෙන ය. ගැටුමක් නැති තැන නාට්‍යයක් නැතැ’යි කියන්නා සේ ම ගැටුමක් හා ඉලක්කයක් නැති තැන සාර්ථක නවකතාවක් බිහිවන්නේ ද නැත.//

    හ්ම්ම්ම්.. හිතල බලන්න ඕනැ අදහසක්

    ReplyDelete
  3. මේ පොත ගන්න ලිස්ට් එකටත් දාගෙන තිබුනෙ.ඒත් දැන් හිතේ දෙගිඩියාවක් තියෙනවා.

    ReplyDelete
  4. රන්ජන් කියන දුර්වලතා සමහර පොත් කියවනකොට තේරෙනවා. මේ පොත නම් කියවලා නැහැ. මේ වගේ විචාර කියවනකොට නවකතාවක් යනු කුමක්ද,,,ඒය කෙසේ ගොඩ නැගිය යුතුද යන වගේ අදහස් හිතට ගන්න පුලුවන්.

    නලීන්......උඹ කොහෙද මේ දවස්වල....පෝස්ටර් ගහන්න ලෑස්ති වෙනවද :D

    ReplyDelete
    Replies
    1. නෑ අරෑ අයියේ හිතට විවේකයක් නෑ යමක් ලියන්න. දැන් මැතිවරණ උණුසුමින් පිච්චෙන කාලෙන අපි.

      Delete
    2. එතකොට විල්ලර වාඩියම විකාරයක්ද අනේ මංද නලිං අය්ෙය ෙපාත කියවන්න කියල හිටියෙ දැං නං කියෙව්ව වගේ තමා

      Delete
  5. මමත් මේ පොත ගිය පාර එනකොට අරගෙන ආවා කියවන්න කියලා . අතට ගත්තට කියවන්න ගෝ එකක් තිබ්බේ නෑ . දැන්නම් කියවන්න හිතෙනවා රන්ජන් කියන්නේ ඇත්තද බලන්න. මොනා උනත් මේ විචාරය කකුලෙන් අදින සුළු එකක් නෙවෙයි කියලයි හිතෙන්නේ , දිරිමත් පරිණත ලේඛකයෙක් වන හෙන්රිට මේ විචාරය උදව්වක් කර ගන්න පුළුවන් ඔහුගේ ඊළඟ පොත හොඳ මට්ටමකින් ලියන්න .

    ReplyDelete
  6. රන්ජන් කොහොම කිව්වත් මටනම් මේ පොත කියවල බලන්න හොඳයි කියලා හිතෙනවා.

    නලීන් මොකද පහුගිය දවස්වල සද්දයක් වත් නැත්තේ. හොඳ වැඩක් කියන්නද. ලේක්හවුස් එක ළඟ ඉඳලා ඩී.ආර්.විජයවර්ධන මාවතේ පාරේ මැද තියන උස වීදිලාම්පු කණුවල සහ දෙපැත්තේ ගස්වල පෙලිකන් පක්ෂියෝ උදේට ඉන්නවා හරිම ලස්සනයි. පින්තූර කීපයක් අරන් දාන්නකෝ පොඩි ලිපියක්.

    ReplyDelete
  7. අනේ මන්දා???????

    පලු යන්න ගහලා.. මෙහෙම හරිද කියලත් හිතෙනවා මචං...

    ReplyDelete
  8. විල්ලරවාඩිය ගැන රංජන් හා පූර්ණව එකඟ නොවුනත් යම් කරුණු පිළිගත හැක. එහෙත්, රංජන් නියම කතෝලික ගම් පිළිබඳ කිසි අත්දැකීමක් නැත්තෙකු බව හැඟේ. මා හැදී වැඩුනේ මොරටුවේ කතෝලික ගම් ඇසුරේය. ඒවයේ සිංහල බොදු සහ කතෝලිකයන්ද මුස්ලිම් සුළු කොටසක්ද ඉතා සහයෝගයෙන් "ආතල්" එකේ විසුවෝය. ඒ හැර මගේ මව්පස ඥාතීන් වෙසෙන ජා ඇල තුඩැල්ලද, කුරුණෑගල කුඹුක්ගැටේද එවන් "ආතල් ගම්මාන" විය.

    කෙසේ වෙතත්, විල්ලරවාඩිය ගැන කලකට පෙර "පොත් කියවන අය" ෆේස් බුක් පිටුවෙහි පල මා කල අදහස යලි මෙහි උප්ටා දක්වන්නට සිතුනි.

    විල්ලරවාඩිය...අන්න නියම ගම!

    පොත එතරම් විශාල නැතු වූවද එය කියැවීමට කලක් ගතවිය. හේතුව මුල් පරිච්චේද කිහිපයේ වූ තරමක වෙහෙසකර ගතියද, නුහුරු ගතියදැයි පැහැදිලිකරගැනීමට ටික කලකට පසු එය යලි කියැවිය යුතුය.

    විල්ලරවාඩිය පොතෙහ් මුල් පරිච්චේදයන් කිහිපය මට සිහි කලේ "යුද්ධය හා සාමය" නම් මහා කෘතියයි. ඒ මෙයද එතරම් උසස් නිසා නොව, ඇති අසංකේය චරිත ප්‍රමාණය නිසාය. කතුවරයා මේ සියල්ල මතක තබාගෙන කතාවක් නිර්මාණය කිරීමම අපූරු වැඩකි!

    මුල එලෙස වෙහෙසකර වූ මුත් මැද සහ අග ඉතා රසවත් සහ බිම තැබිය නොහැකි වේගයකින් ගලා යන කුහුල පිරුණු සිදුවීම් ගහන රසවත් කතාවක් බවට පෙරලෙයි. අනෙක් විශේෂය මෙහි චරිත නිතරම අහසට පනිමින් දියෙන් මතුවන යලි දියට එබී නොපෙනන ඩොල්ෆින් රංචුවක් මෙන් වීමය. ඔවුන් ඉතා ගොඩකි. සියල්ලෝම එක වර වතුර යට හෝ උඩ නැත. එය මුලින් වෙහෙසක් සේ දැණුනත් පසුව එහි අපූර්වත්වය පාඨකයා මෝහනය කරයි.

    මේ පොතේ අනෙක් විශේෂය එය සමකාලීන සිංහල බොදු ගැමි සමාජය නියෝජනය කරන පොත් වල ඇති ලිංගික සම්භන්ධකම්වල හාත්පසින් වෙනස් තත්වයක් නිරූපණය කිරීමයි.

    මේ යුගයය අලලා ලියැවෙන, ලියවුනු බොහෝ පොත්වල සිටින සිංහල බොදු ගම්වල ලිංගික සබඳතා යනු එක්කෝ රාළහාමිලා, ආරච්චිලා හෝ මුදලාලිලා විසින් කරන ලිංගික සූරාකෑම් හෝ ස්ත්‍රී දූෂනයන්ය. නැතිනම් එකගෙයි කන, පිරිමින්ගේ ලිංගික පීඩනයට හසුවන අවස්ථාය. එහෙත් විළ්ලරවාඩියෙ වෙනස, එහි සිටින ගැහැණු පිරිමි ලිංගිකව් එක්වන්නේ තම අන්‍යෝන්‍ය සතුට උදෙසා විමමය. මෙය ඉතාම අපූරු, වෙනත් සිංහල නවකතාවල ලෙහෙසියෙන් දකින්නට නැති ගුණයකි.

    මේ ගමේ උන්ට තග දමන ආරච්චිලා, හොරට කිරා ණය දී ගමම කන මුදලාලිලා සහ ගමේ සාරය උරා බොන හාමුලා නැත. එය සෑහෙන තරමේ සමාජවාදී ගති ලක්ෂන පෙන්වන "නියම කන බොන කතෝලික" ගමකි. එහි ගැහැණු යටකරගෙන නිදියන පිරිමි වෙනුවට ගැහැණුන් හා නිදිවදින පිරිමි වෙති. මෙය මාරය!

    පොතේ අවසානය මා සිතූ තරම් "සිරා" නොවූවත්, ගමණක අවසානය නොව ගමණ යනු වින්දනයැයි අර්ථයෙන් ගත් විට, මෙය හොඳ රසවත් පොතකි.

    අන්නවිරාළ ඉඩම ගන්නට යන හදිසිය, බැසිල් යුරේසියානු වැන්දඹුව අතහැර ඩල්සි වෙත යාම වැනි දේ හැර මා වැනි දුහුනකුට දකින්නට මෙහි එහෙමට අඩුවක් නැත. සමාන්‍යෙන් පොතක් කියවා ඉවර වූ පසු, එහි මඟහැරුණු රසයක් ඇතිදැයිද, නැවත කියවිය යුතුයැයි සිතෙන්නේනම්ද, එය හොඳ සාර්ථක පොතකි. මම විල්ලරවාඩියද යලි කියැවීමට බලාපොරොත්තුවෙමි!

    ReplyDelete
  9. මේව තේරුම් ගන්න තවම අපි පොඩි වැඩිද මන්ද..?

    ReplyDelete
  10. "නවකතාවක් විකාශය විය යුත්තේ සමාජ ගැටුමක් හෝ පුද්ගල ගැටුමක් මූලික කරගෙන ය."
    "නවකතාවේ ප්‍රධාන අරමුණ පාඨකයාට රසයක් ලබාදීම යි. දෙවනුව යම් සමාජ යථාර්ථයක් හෝ ජීවිත යථාර්ථයක් හෝ හෙළිදරව් කිරීමයි. "
    මෙබඳු චූල ආස්ථාන මත පිහිටා කරනා විචාරයන් ගෙඩිය පිටින්ම කුණු බක්කියට දමමි!!
    පොත කියවා නැතියවුන් නොමග යවා, අගතිගාමී විචාරයක් වුව කියවා පොතක් කියැවීමට නිර්භය වුවන් සුලුතරයකයට අභියෝග කරණ මෙබඳු විචාරවලින් සාහිත්‍යයට කරන යහපතක් නම් නැත්තේමය.

    "කිසියම් ගැටුමක් මූලික කොට සිද්ධි ගැළපීම කතා වස්තුව යි. එය නවකතාවේ සැලැස්ම ලෙස ද සැලැකිය හැකි ය. චරිත නිරූපණය, සංකේත භාවිතය, ශෛලිය ආදිය නිර්මාණය වන්නේ ඉහත කී සැලැසුම හෙවත් කතා වස්තුවට අනුව ය." මේ කොහෙන් ගෙනා හොල්මන් කථාවක්ද?? කිසිවකු පහසුවෙන් නොදකින සම්බන්ධයන් දැකීමට / තම තමන් විසින්ම අරුත් ගන්වාගැනීමට, විවිධ අත්දැකීම් රුචි අරුචි කම් ඇති පාඨකයා යොමු කරවීම මිස ආකෘතිවලට පාඨකයා තල්ලු නොකිරීම විචාරයක මූලික හරය යැයි සිතේ. ගෙදරින් ගෙනා සපත්තුවකට කඩයෙන් කකුලක් ඉල්ලන්නෝ කවුරුද?

    මේ ඉතින් මේ විචාරයේ වටිනා යැයි හඳුනාගත් නීර්ණායකයන්ය
    • වයඹ පළාතේ මිශ්‍ර ජනාවාසයක කුල භේදය.
    • එම ජනාවාසයේ ජාතිවාදයට අදාළ තොරතුරු
    • ශ්‍රී ලංකාවේ වමේ දේශපාලනය
    • ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පිළිබඳ පොදු ජනයාගේ මතය
    • අසූව දසකයේ භීෂණ සමය හා තරුණ නැගිටීම
    ලියන්නට ඇති තරම් ලියා පුස්තකාල පිරැවූ මේ මාතෘකා වලට;
    • ලංකාවේ දෑවැදි ප්‍රස්නය
    • ගබ්සාව නීතිගත කල යුතුද
    යන මාතෘකාද එක්කලේ නැත්තේ ඇයිදැයි විමතියට පත්වුණෙමි!!

    ජයවිලාල් විලේගොඩ සිනමා විචාරකයෙකි! සමගාමීව දෙඤ්ඤං බැටේ රීතියද අඩු වැඩි ලෙස හොද්දට ලුණු ඇඹුල් සේ එකතු කරගත්තෙකි! ඒ සියල්ල ප්‍රස්තුත කලානිර්මාණය හා ඒ ඇතුලත් කලා /සාහිත්‍යාංග පරිහරණය කරන්නන්ගේ පරිකල්පණ ශක්තිය ඉහල දැමීම පිණිසම විය. දෙඤ්ඤං බැටේ තැනින් අල්ලාගෙන උඩහට ගොස් ජයවිලාල් කෙනෙකු වන්නට නොහැක!

    ReplyDelete
    Replies
    1. //• අසූව දසකයේ භීෂණ සමය හා තරුණ නැගිටීම//

      පොතේ අග කතුවරය කියල තියෙන මේ ටික එන්නෙ ඊලඟ කොටසෙ "දඩ කඳවුර" නම් කෘතියෙ කියල. එක්කො රන්ජන් ඒක දැක නෑ ( ඒ කියන්නෙ පොත දිගටම කියවල නෑ ) හෝ කලබලේට දීගෙන දීගෙන යත්දි අමතක වෙලා!

      //දෙඤ්ඤං බැටේ තැනින් අල්ලාගෙන උඩහට ගොස් ජයවිලාල් කෙනෙකු වන්නට නොහැක!// ++++++++

      Delete
  11. ane manda ithin owa.
    nalin aiye mawa lawata wage mathakada danne na ne.hehee

    ReplyDelete
  12. විල්ලරවාඩිය කියැවූ කෙනෙක් මේ සාහසික වගාලාප පිළිගන්න එකක් නැහැ.
    අපි ජීවත් වන ප්‍රදේශයේ ජන ජීවිතය අගේට විවරණය කළ නවකතාවක්. එසේම අප එකග වුණත් නැතත් යටි තලයේ දිවෙන දේශපාලනය ගැනත් සඳහන් කරන්න කැමතියි.

    ReplyDelete
  13. විල්ලරවාඩිය කියැවූ කෙනෙක් මේ සාහසික වගාලාප පිළිගන්න එකක් නැහැ.
    අපි ජීවත් වන ප්‍රදේශයේ ජන ජීවිතය අගේට විවරණය කළ නවකතාවක්. එසේම අප එකග වුණත් නැතත් යටි තලයේ දිවෙන දේශපාලනය ගැනත් සඳහන් කරන්න කැමතියි.

    ReplyDelete
  14. සියලු විවේචන මෙන්ම අගය කිරීම්ද ඉත සිතින් බාර ගනිමි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්