රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-07-21

ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ සඟරාව ‘සිතුමිණ’


ආරම්භය 1895 දෙසැම්බර් 17
කර්තෘ අර්වින් ගුණවර්ධන


ශ්‍රී ලංකාව අධිරාජවාදීන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන්ගේ පාලනය පහසු කිරීම උදෙසා කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කෙළේය. යටත් විජිත යුගයේ ලංකාවේ මහාමාර්ග විප්ලවයේ පියා ලෙස සලකන ආණ්ඩුකාර එඩ්වඩ් බාර්න්ස් මේජර් තොමස් ස්කිනර් හා එක්ව මේරට මාර්ග පද්ධතිය සැකසීමට කටයුතුකෙළේය. එකල ශ්‍රී ලංකාවේ මහාමාර්ග ලෙස සැලකිය හැකි කිසිවක් නොවීය. 1890 වන විට යටත් විජිත පාලකයන් මේරට ඉදිකර තිබූ පාරවල් ප්‍රමාණය සැතපුම් 3142ක් විය. ඉන් සැතපුම් 1635 කළුගල් යොදා සකස්කරන ලද මහාමාර්ග වේ. බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව අතහැර යනවිට දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර් 445ක් දක්වා දීර්ඝකර තිබුණි.

වර්ණ සිංහල සඟරාවක් මුලින්ම පළකළ කතුවරයා
“සිතුමිණ” කර්තෘ අර්වින් ගුණවර්ධන මුදලි තුමා
ආරම්භය 1895 දෙසැම්බර් 17






සිතුමිණ කර්තෘ අර්වින් ගුණවර්ධන මුදලිතුමා
මාතරට දුම්රිය මාර්ගය 1895 දෙසැම්බර් 17 දින විවෘත කිරීම “සිහිවන” පිණිස (පසුකාලයේ ගම්සභා විනිශ්චයකාරධුරය හා මුදලි නමක් දැරූ) අර්වින් ගුණවර්ධන මහතා 1895 දෙසැම්බර් මස “සිතුමිණ” නමින් සඟරාවක් ආරම්භ කරන ලදී.

මේ රටේ 1895 වනවිට ප්‍රචාරයට පත්කරන ලද සියලු සිංහල සඟරා හා පුවත්පත් කළු හා සුදු වර්ණයන්ගෙන් පමණක් මුද්‍රණය විය. අර්වින් ගුණවර්ධන මහතා ආරම්භ කරන ලද මේ ‘සිතුමිණ’ සඟරාව හි මුද්‍රණ කඩදාසිය ඉතා උසස් කඩදාසියෙන් යුක්තව ඇත. මෙහි පිටපත් අද ද නිරුපද්‍රිතව කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇත. සිතුවම් සහිත (ඡායාරූප) මුද්‍රණය කරන ලද වර්ණ පළමු සිංහල සඟරාව මෙයයි.

මෙහි ලිපි සපයා ඇත්තේ 1895 වසරේදී ශ්‍රී ලංකාවේ සිටි ව්‍යක්ත ලේඛක මණ්ඩලයකි. මේ සඟරාවේ ප්‍රථම කාණ්ඩයේ කලාප 12ක් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ පුස්තකාලයේ සුරක්ෂිතව තැම්පත් කර ඇත.

මේ සඟරාවට ලිපි සැපයු අය අතර හික්කඩුවේ සුමංගල හිමි හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමි, උඩුගම්පොළ ජොත්‍යාසභා ජ්‍යොති සබාහිමි, මඩුගල්ලේ සිද්ධාර්ථ හිමි

දේවගැති ගෞ. ඒ. ඇස්. අමරසේකර උන්නාන්සේ , ගෞ.ජි. ඩී. ද. ලැනරෝල් උන්නාන්සේ, ටී. බී. පාණබොක්කේ විනිශ්චයකාරතුමා, ගාල්ලේ ඊ. ආර්. ගුණරත්න වාසල මුදලි තුමා, චාර්ල්ස් සිල්වා සමරසිංහ සිරිවර්ධන මුහන්දිරම් මහතා, අධිනීතිඥ වොල්ටර් පෙරේරා මහාතා, නීතිඥ වී පෙ. රණසිංහ මහතා, නීතිඥ ජෝන් ද සිල්වා මහතා, ඇම්, ධර්මරත්න ලක්මිණි - පහන කර්තෘ, ඒ. ජේ. වික්‍රමසිංහ, ලක් රිවිකිරණ කර්තෘ, ටී. ඒ. මැන්දිස් - ඥානාර්ථ ප්‍රදීප කර්තෘ, ඩී. බී. ජයතිලක, සත්‍යොදය කර්තෘ, ඩී. ඇස්. විජයරත්න සංසප්‍රදීප කර්තෘ, ඩී. ඇම්. සිල්වා, සත් සරසවිය කර්තෘ, එච්. ඇස්. පෙරේරා - සරසවිය සඳ රැස කළමනාකාර, ජේ. සමරදිවාකර, ඩී. දහනායක, ඇල්බට් ද. සිල්වා යන අය වෙති.

ප්‍රථම කාණ්ඩයේ පළවු කළාපයේ සිතුවම් පහත සඳහන් දෑ අන්තර්ගත වෙයි. අර්වින් ගුණවර්ධන මහතා, නිල්වලා ගඟ, අබ්දුල් අහමද් ලැමසුරියර් මහතා, ධම්පාල හේවාවිතාරණ මහතා, දඹදිව මහාබෝධි ආරාමය, මහන්තා නොහොත් මොහන්ත් කෘෂ්ණ දෙයල් ගිරි.

මේ සඟරාවට අමතරව මාතරට දුම්රිය මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ජේ. පී. ඒකනායක මහතා විසින් ශ්‍රී ල ඩ් කොත්තංසය නමින් සඟරාවක් 1895 දෙසැම්බර් 17 වන දින පටන් ගන්නා ලදී.

අතින් ලියා 1885 දී පළකළ මුල්ම සඟරාව සිතුමිණ

සිතුමිණ සඟරාව පළමුව 1885 වසරේ දී අර්වින් ගුණවර්ධන මහතාගේ සංස්කරණය යටතේ අතින් ලියා ප්‍රචාරයට පමුණුවන්නට පටන් ගත් සඟරාවකි. අතින් ලියා පළ කිරීමට පටන් ගත් පළමු සඟරාව මෙය බව කළු කොඳයාවේ ප්‍රඥාශේඛර හිමි සිය සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් කරයි. මේ සඟරාවේ තුන් මසක දායක මිල ශත 37 ½කි. අතින් ලියා පළ කරන ලද සිතුමිණ සඟරාව ගැන 1895 දෙසැම්බර් මස සිතුමිණ සඟරාවේ මෙසේ සඳහන් වෙයි.

මීට අවුරුදු දහයකට පමණ ප්‍රථම (1885 ඔක්තෝම්බර් මස 01 වෙනි දින) අප විසින් “සිතුමිණ” යන නමින් පිටු අටකින් යුත් සඟරාවක් අපමිත්‍ර ආර්. ජී. පෙරේරා මහත්මයාගේ උපදෙස් පිට ඊ. හේවාවිතාරණ, බී. ජෝර්ජ් පෙරේරා, ඒ. ඇල්.ද. සිල්වා යන අප සහෝදර මහතුන් තිදෙනාගේ ආධාරත් ඇතිව ටික කාලයක් පවත්වන ලදී. මෙය මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කළ සඟරාවක් නොව මාස්පතා අත් අකුරින් ලියා යවන ලද්දක් බැවින් මේ ගැන වැඩි දෙනෙක් නොදනී යැයි සිතමු.”

ගාල්ල දක්වා ධූමරථ මාර්ගය දික්කිරීම

1894 මැයි මස වනවිට ගාල්ල දක්වා මුහුදු බඩ දුම්රිය මාර්ගය කොළඹ සිට දික්කිරීමට යටත් විජිත පාලකයන්ට හැකිවිය.

මාතර දක්වා ධූමරථ මාර්ගය දික්කිරීම

1894 මාර්තු මාසයේ ගාල්ලේ සිට ඉඳිකිරීම් ඇරැඹි මාතර දූමරථ මාර්ගය 1895 දෙසැම්බර් 17 වැනිදා වනවිට විවෘත කිරවීමට බ්‍රිතාන්‍ය පාලකයන්ට හැකිවිය. සැතපුම් 27ක් වූ මේ මාර්ගය විවෘත කිරීම මාතර වැසියන්ට එකල මහත් ප්‍රීතිය ගෙන දෙන්නක් විය.

මේ දූමරථ රථ මාර්ගය මාතර දක්වා දික්කිරීම නිමිත්තෙන් එකල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේද විශාල පෙරළියක් සිදුවිය.

එනම් මාතරට දුම්රිය මාර්ගය 1895 දෙසැම්බර් 17 දින විවෘත කිරීම නිමිත්තෙන් වර්ණ ඡායාරූප සහිතව මුද්‍රණය කරන ලද ප්‍රථම සිංහල සඟරාව වූ ‘සිතුමිණ’ එළිදැක්වීමට අර්වින් ගුණවර්ධන මහතාට හැකිවීමයි.

මාතරට දූමරථ මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් ඇරැඹි මේ සඟරාව ශ්‍රී ලංකා මුද්‍රණ ඉතිහාසයේ සිංහල බසින් පළවු පළමු වර්ණ සඟරාවයි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකාවේ පළවු සියලුම සඟරා පළකරන ලද්දේ කළු හා සුදු වර්ණයන්ගෙන්ය. 1895 දෙසැම්බර් මස ඇරැඹි ‘සිතුමිණ’ සඟරාව පළමුවරට කළු හා සුදු වර්ණයන්ගෙන් මිදී සිතියම් සහිතව වර්ණවත්ව ඉදිරිපත් කිරීමට අර්වින් ගුණවර්ධන නම් තරුණයාට හැකිවිය.

අද මාතර දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දික් කිරීමේ වැඩ අවසන් වෙමින් පවතී.

සිතුමිණ සඟරාවේ මුල්ම කළාපයේ “සිතුයම්” පිළිබඳ පළවූ විස්තරය “සිතුයම්”(ඡායාරූප)

“ඉංග්‍රීසි සඟරාවල මෙන් පළමු වෙනි කලාපයේ අපේ සිතුයම ද යෙදුවෙමු. එය 1893 නේ දී ගත් ඡායාරූපයකින් ගන්නා ලද්දකි. මාතර නිල්වලා ග‍ඟේ “සිතුයම” දෙවැනි වේ. තුන්වැනි “සිතුයම” මාතර දිශාපති තැන්පත් නොබෝදා මහමදාගම් භක්තිකයෙක් වූ අපමිත්‍ර අබ්දුල් අහමද් ලැමසුරියාර් මහතාගේ වේ. එය එතුමා විසින් අප වෙත එවන ලද පස් අවුරුද්දකට පමණ ප්‍රථම ගත් ඡායාරූපයකින් ගන්නා ලදී.”

සිතුමිණ 1895 දෙසැම්බර් කලාපයෙන් සරසවි සඳරැස ගැන.

14 වෙනි දින පත්‍රයේ ශිලා චාර පාලනය මාතෘකා කොට වාක්‍යයක් ප්‍රසිද්ධකර තිබේ. පුරාණ කාලයේ යමෙක් මද්‍යපානය කෙළේ නම් එය ඉතා රහසිගතව බව දැක්වීමට මෙසේ කියා තිබේ.

අතීතයේ මත්පැන් පානය කළේ රහසිගතව

“රාජාධිරාජසිංහ මහරජ කාලයෙහි විශ්‍රාම ශාලාවක වැඩකරවන නිලමවරුන්ගේ අඩුක්කු පෙට්ටි තුබූ තැනට අසුපිටින් අහම්බෙන් පැමිණි මහරජාණන් විසින් නිලමේවරුන්ගේ භෝජනයන් පරීක්ෂා කරන පිණිස අඩුක්කු පෙට්ටි විවෘත කරවා බලන අතර එක නිලම කෙනෙකුගේ පෙට්ටියෙහි කොළඹින් ගෙන්වා ගත් මද්‍යකුප්පියක් තිබුණා. මහරජ දුටු බව අනභිමුඛව කටයුතුවල යෙදී සිටි නිලමේ අසා දැන බිය පත්ව ඊට රාජ දඬුවම් ලැබේ යැයි යන සංකාවෙන් එතැනින්ම සැඟවී, ඌව දිසාවට ගිය බවත් ඒ මැතිඳා කටයුතුවල දක්ෂයෙක් වූ හෙයින් මහ රජාණන්ගේ කරුණාව තිබෙන බැව් දන්වා යවා නැවත ගෙන්වා ගත් බවත් උඩරට ප්‍රකාශ වූ කථා ප්‍රවෘත්තියක් යනුයි. පුරාණයේ දී මද්‍ය වර්ග භාවිතා කිරීම ඉතා රහස් වශයෙන් කළ බවට මෙය හොඳ නිදර්ශනයකි. මිනීමැරුම්, පිහියා ඇනුම් සහ වෙනත් නොයෙක් දුශ්චරිත වැඩිවීමට ප්‍රධාන හේතුවක් නම් මත්පැන් භාවිතාව බහුලවේගෙන යාම බව අපි කියමු. එබැවින් ක්‍රමක්‍රමයෙන්වත් මේ අන්තරාදායක පානය භාවිතා කිරීම අඩුකිරීමට උත්සාහ දැරීම ආණ්ඩුවේ යුතුකමක් බැව් මතක් කරමු”.

සත්ගුණවත් ධර්මපාල මහතාගේ ඥාති සහෝදරයකු වූ අර්වින් ගුණවර්ධන “සිතුමිණ” ගැන 1896.01.01  ලක්මිණි පහන පුවත්පතින්

“ මෙහි කර්තෘ වූ තරුණ අර්වින් ගුණවර්ධන මහතා ගැන කරුණු මඳක් කියනු කැමැත්තෙමු. මුන්නැහේ නැසීගිය අන්දිස් ප්‍රේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් මහත්මයාගේ මුණුබුරෙක් සහ සත්ගුණවත් ධර්මපාල මහතාටත්, සහෝද්රත්වයක් ඇත්තෙකි. නැසී ගිය මුහන්දිරම් මහත්මයා යහපත් ගුණවන්තයෙක් ද ලෝකයාගේ මිත්‍රයෙක් ද වූවාක් මෙන් මේ තරුණ මහතාගේ ක්‍රීඩාපර්වශ විය යුතු වයසේ දී නපුරු සමාගම්වලින් තොරව මනා අදහස් ඇතුව තමාගේ සහ අනුන්ගේත් ශිෂ්ටාචාර දියුණුව පෙරටු කරගන මෙබඳු යහපත් වැඩ පටන් ගැනීම මහත් ප්‍රීතියකි.”

විද්‍යාධර සභාවේ ලේකම් සිතුමිණ ගැන 1895.09.11 ලක්රිවිකිරණ පුවත්පතින්

“ඇස්.පී. ඩී. ගුණවර්ධන මුහන්දරිම් මහත්මයාගේ පුත්‍ර වූ ප්‍රසිද්ධ විද්‍යාධාර සභාවේද ලේකම් ධුරයක් දරන අර්වින් ගුණවර්ධන මහත්මයා විසින් ප්‍රකාශ කරන්ට අදහස් කර තිබේ. මෙම සිතුමිණ නම් සඟරාවේ යෝජනා පත්‍රය අද පත්‍රයේ අතිරේකයක් වශයෙන් අප දායක මහතුන්ට එවා ඇත‍.”

“සිතුමිණ” පිටු 18කින් යුත් මාසික සඟරාවක් 1895 .12.31සරසවිය සඳරැස “සිතුමිණ” ගැන කියූ දෑ .

“මාතර දුම්රිය මඟ විවෘත කිරීම සිහිපත් වනු පිණිස අර්වින් ගුණවර්ධන මහත්මයා විසින් ආරම්භ කරන ලද මේ නම් සඟරාවේ ප්‍රථම කලාපය අප වෙත එවන ලදින් ස්තූතියෙන් පිළිගෙන බැලිමු. මෙය පිටු 18කින් යුත් මාසික සඟරාවකි. සියල්ලන්ගේ නෙත් සිත් පිණවන පරිද්දෙන් මේ සඟරාව සකස්කර තිබේන බැව් පෙනේ. මේ කලාපයෙහි “සිතුමිණ” ගැනද, මාතර ගැනද, ගාල්ල පටන් මාතර දක්වා මාර්ග විස්තර ගැනද, සිංහල භාෂාව ගැනද, ශිෂ්ටාචාරය ගැනද, සිංහල භාෂාවේ උත්පත්තිය ගැනද, ස්වදේශමමත්වය ගැනද, ගොවි කර්මාන්තය ගැනද, ස්ත්‍රීන්ගේ තත්ත්වය ගැනද, සිංහල නීතිය ගැනද ලියන ලද ලියවිලි ද අන්තභීත කර තිබේ.”

ස්වදේශ සංගමයකට හඬනැගූ දිනමිණ පළමු කතු එච්. ඇස් පෙරේරා 1896 සැප්තැම්බර් 1 සත්‍යප්‍රදීපය ‘සිතුමිණ’ ගැන ලියා තිබූ දෑ

“ සිතුමිණ සඟරාවේ 9 වෙනි කලාපයක් ලැබුණා. මෙම සඟරාවේ මහාසිත්වය අප නොකීවාට දැන් රටතොට පසිඳු වී ඉවරයි.

නොබෝදා කථාශෙෂභාවොපගත වූ ඉලංගකොන් ලමාඑතනිගේ ඡායාරූපයක් ද එහි යොදා තිබේ.

මෙහි බහා පසිඳු කර තිබෙන වාක්‍ය කොයිවත් ප්‍රයෝජන වත් ඒවා වෙති. එහෙත් “ස්වදේශ සංගමයක් අපට ඕනෑද? ‍”යන මාතෘකාවෙන් යුත් සඳරැස කළමනාකාර තැම්පත් එච්. ඇස්. පෙරේරා මහතාගේ වාක්‍යය වි‍ෙශෂයෙන්ම සැලකිය යුත්තකි. ලක් දිවටත් මෙබඳු සංගමයක් අවශ්‍යයෙන් වුවමනා බව අපි ද සිතමු.

එබඳු සංගමයක් පිහුටුවා ගන්නා තුරු ආණ්ඩුවේ නිලධාරීන්ගේ මඟින් නෙයෙක් විට ලැබෙන අලාභ හානි හිරිහැර ආදියෙන් ලක්වැසියන් මුදවා ගැනීම උගහටය.”

පුවත්පත්වල ජනප්‍රියතාව මැණ බැලූ ශ්‍රී ලංකාවේ පළමු තරගය

සිතුමිණ සඟරාවේ 2වෙනි කලාපය වූ 1896 ජනවාරි කලාපයේ ප්‍රශ්නයක් අසා තිබුණි. සිංහල පත්‍ර සම්බන්ධවත් අප සඟරාවෙන් ප්‍රසිද්ධ කිරීමට යුරෝපයේ පත්‍රයක ප්‍රසිද්ධ වී තිබුණ ප්‍රශ්නයක් අප උගත් මිත්‍රයකු විසින් එවන ලදී. එය සිතුමිණ සඟරාවේ 2 කලාපයේ පත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් බහාලීමු.

එනම් මහත්මයා වැඩි ගරුකොට සලකන සිංහල ප්‍රවෘත්ති පත්‍ර මොනවාද?යනුයි.

එයට ලැබුණු පිළිතුරු අනුව 1896 වන විට ජනප්‍රියව තිබූ පුවත්පත් පිළිවෙළට මෙසේය.

01 සරසවි සඳරැස

02 ලක්රිවි කිරණ

03දිනකර ප්‍රකාශය

04 දිනපත්‍ර ප්‍රවෘත්ති

05 ලක්මිණ පහන

06 සත්‍යායෝදය

07ඥානාර්ථ ප්‍රදීපය

08 ශ්‍රීලාංකොත්තංශය

09 ලංකා ප්‍රදීපය

10 සත් මිණිකිරුළ

ඉහත සඳහන් පිළිවෙළට උත්තර ලියා එවූ ලැබූ අකුරැස්සේ මිනිදෝරු මහතකු වූ ඩී. සී. අභය ගුණවර්ධන මහතා එම තරගයේ තෑග්ග වූ සිතුමිණ ඔරලෝසුව දිනාගෙන ඇත.

ස්ත්‍රීන්ගේ ඥානයෙහි උතුම්කම නින්දා සරදම් වාදයේ ඇතැම් අය ගෑනුන් පිළිබඳ

ගෑනු වගේ වැඩ නැති හෙරලියෝ නැත
ටිකක් අඬ අඬා මුල්ලට රිංගාත
බැරිය කිය කියා කිරි කැද බැටේ දෙනු
ගෑනු වගේ හත්පල් මෝඩියෝ නැත

යනු කියති නමුත් ස්ත්‍රී ජාතියේ ඤාණයේ උතුම්කම නොකියති. නොහොත් නොදනිති .....

අප රටේ කාව්‍ය නක්ෂත්‍ර ආදි ශාස්ත්‍රයන් දැනීමෙහි පතළාවූ කීර්ති අතිව සිටිය ගජමන් නෝනා නැමති කාන්තාවගෙන් ඔප්පුවේ ඈ විසින් රචනා කරන ලද සිව් පදයක් මෙහි පහත

බහාලම් මේ එක කාව්‍යයෙහි අර්ථ සහිතවු කාව්‍ය අටක් අඩංගුකොට සාදා තිබේ.

තිලක රත්නය ගුණැති මුදලිදු
දීර කේසර සමර නමකුරු
ලකල පත්මස නැබග යසසිදු
සිර සාගර පැතිර ලදි සුරු

කලක තර්ගය දවල හරනිදු
නෑර ආවර පැහැ කරදුරු
සි පත ගත්මය ලෙසට පරසිදු
කෝරළේකර පවර බුවිසුරු

මෙසේ ස්ත්‍රියේ අඥානියෝය, මෝඩියෝය, කාරණා රහිත වූ අතිකානුකුලවූ පුහු භාෂණ........ (සිතුමිණ සඟරාවෙන්)

අශ්‍රිත ග්‍රන්ථ:

සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය, කලුකොදයාවේ ප්‍රඥාශේඛර හිමි

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සිරිසේන රාජපක්ෂ

‘සිතුමිණ’ පළමු කාණ්ඩය 1895 – 1896, අන්තර්ජාලය


නන්දික බැද්දේගම

35 comments:

  1. මේ වර්ණ කියන්නෙ (එතෙක් කළු හා සුදු වර්ණයන්ගෙන් පමණක් මුද්‍රණය වුනු පුවත්පත් සඟරා පමණක් තිබුණු නිසා) ටූ කලර් කියන එකද නලින් අයියා. මොකද අර උඩින්ම තියෙන කවරය මට පේන්නෙ එහෙමයි. ඇතුලත පිටු හා ඡායාරූප කළු වර්ණය වෙනුවට දුඹුරු, රතු හෝ වෙනත් තනි වර්ණයකින් මුද්‍රණය වීමද මෙතනදි වර්ණ කියන එකෙන් අදහස් කරන්නෙ නැත්නම් අද අපි දකින ෆෝ කලර් කියන එකමද. මොකද මේ කියන කාලවකවානුවත් එක්ක බැලුවම මම ඇත්තටම පුදුම උනා.

    ReplyDelete
    Replies
    1. කළු වර්ණයට අමතර වර්ණයක් එක් කොට සගරාවක් පළමුවරට පළ කිරිමයි මෙතැන සිදුව ඇත්තේ.. මෙහිදි රතු හා කළු වර්ණ දෙක සුසංයෝග කර තිබෙනවා.

      Delete
    2. ස්තූතියි නලීන් අයියා. මටත් හරියටම පැහැදිලි කරගන්න ඕන උනේ ඒකම තමයි. මොකද වර්ණ කිව්වම අපිට එකවරම ඇතිවන අදහස වෙනස් නිසා.

      Delete
  2. මේ වගේ ලිපිවල හරිම රසයක් වටිනාකමක් දකිනවා මම. ඇත්තට සුද්දන්ට බැන්නට, උන් හිටියේ නැතිනම් අපි අද කොතන ඉඳීවිද කියලා මම වෙලාවකට කල්පනා කරනවා. ඇත්තෙන්ම මීට ඉස්සරහින් ඉඳීවිද, ගව් ගානක් පස්සෙන් ඉඳීවිද?

    ReplyDelete
    Replies
    1. සුද්දට බැන්නට උගෙන් අපිට බොහෝ දේවල් ලැබිලා තියනවා

      Delete
    2. ඈයි නලින් මාමේ සමහරු අනික් අයට උගන්නන්නේත් සුද්දාගේ බාසාව නොවෑ

      Delete
    3. මේ ළඟදී ලාල් කාන්ත ලස්සන කතාවක් කියනවා. මේ ආන්ඩුව පාරවක් කාපට් කරන නිසා. වරායවල් හදන නිසා. එයාර්පෝට් හදන නිසා දිගටම තියාගෙන ඉන්න ඕන නම්. එහෙනම් අපි සුද්දට කියමුලු ඇවිත් ආයෙත් මේක බාර ගන්න කියලා. මොකෝ සුද්දා තරම් මේ රටට කරපු එකෙක් නැති නිසා කියලා. සුද්දා හිටයනම්, අද හොං කොං වලින් මෙහේට හවුස් මේඩ්ලා එනවා. එහෙනම් හෙන්‍රිලා අපි හැන්දෑවට පබ් එකක ඩ්‍රින්ක් එකක් දාලා බය නැතිව බොගකුත් දාගෙන ඉන්නවා. ආතල් එකේ. දැනුත් කරනවා. ඒත් අර ක්ලාස් එක නෑ. ෆ්‍රීඩම් එක නෑ. ආතල් එක නෑ.

      Delete
    4. දැනුත් එ්මද මාතයිය.... මං කියන්නෙ මේ නිදාස......ඇයි ඉතිං කටිටියක් කියන්නෙ මේ රටේ මාද්දිය නිදාස නැතෙයි කියාලා

      Delete
  3. //ගෑනු වගේ වැඩ නැති හෙරලියෝ නැත
    ටිකක් අඬ අඬා මුල්ලට රිංගාත
    බැරිය කිය කියා කිරි කැද බැටේ දෙනු
    ගෑනු වගේ හත්පල් මෝඩියෝ නැත//

    කැත කවියක්. ඒ වුනාට ලිපිය ලියලා තියෙනවා ලස්සණයි. :D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අර ‘වනිතා හඬ‘ මේ පැත්තෙ එන්නෙ නෑ වගේ. නැත්නම් පොඩ්ඩිටත් ඒක කැත උනා කියන්නෙ බලාගන්ට තිබුනා අපිට හොඳ කමෙන්ට් එකක්. :)

      Delete
    2. වනිතා හැමදාම මා එක්ක හැප්පෙනවා කමෙන්ට් වලින්

      Delete
    3. පොඩ්ඩි අක්කා +++++++++++++++++ මාත් කියන්න දුවන් ආවේ ඔය ටිකමයි. ;) 

      Delete
  4. ඇත්තෙන්ම වැදගත් ලිපියක් නලින් අයියෙ ස්තූතියි.

    නන්දික ඔබටත් ස්තූතියි.

    ReplyDelete
  5. අද දවසට කියෙව්වා දෙවැනි ලිපිය පරණ සගරා ගැන හැලප එක්ක කතාවෙලද දෙකම එක දවසේ දැන්මේ ? :D

    ReplyDelete
  6. මෙවැනි ලිපියක් ලියන්න කරන කැපකිරීම සහ අදාළ තොරතුරු හොයන්න දක්වන මහන්සියට සරිලන අගය කිරීමක් මේ ලේඛකයන්ට ලැබෙනවද කියලයි මම කල්පනා කලේ

    ReplyDelete
  7. බොහොම අගනා විස්තරයක් නලීන්. ලේක්හවුස් පුස්තකාලයේ ඇති පැරණි වටිනා පොත්පත් ලිපි ලේඛන වරින් වර උපුටා දක්වන ලෙස ඔබෙන් ඉල්ලන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා මම මේ ළඟදි දවසක රුක්මණී දේවිගෙ අභාවය සිදුවුණු අනතුර පිළිබඳ පුවත්පත් වාර්තාවක් ජංජාලෙන් හොයාගන්න පුළුවන්ද කියල බැලුව, සිරා කලින් දවසක බණ්ඩාරනායක අගමැතිතුමාගෙ ඝාතනය ගැන පරණ ලංකාදීප පත්තර පිටුවක් බ්ලොග් එකේ දැම්මා. මම හිතුවා තව කවුරු එහෙම එකක් වත් දාල තිබුනොත් කියල. හ්ම් ... තිබුනෙ නෑ. ඒ වෙලාවෙත් මට හිතුනා අඩුතරමෙ විශේෂ සිද්ධීන් ගැනවත් එහෙම පරණ පත්තර පිටුවක් ගෙදර ඉඳන් ජාලෙන් පෙරලල බලන්න පුළුවන් නම් කොච්චර හොඳද කියල.

      Delete
    2. ඇත්තටම ඒ වගේ විස්තර ලේක්හවුස් පුස්තකාලයේනම් අනිවාර්යයෙන් තියනවා. නලීන්ට පුළුවන් වෙයි එවැනි දේ වරින්වර පලකරන්න.

      Delete
  8. හැමදාම වගේ වැදගත් ලියනමක්.. වර්ණ කිව්වම හිතේ ඇඳෙන රූපයත් මෙයත් වෙනස් හැබැයි ඇරඹුමක් ලෙස විශාල පියවරක්.. ස්තුතියි තොරතුරු බෙදාගත්තාට

    ජ ය වේ වා!!!

    ReplyDelete
  9. පට්ට මහන්සියක් අරන් තියෙනවා.
    හොඳ ලිපියක්.

    ReplyDelete
  10. වටිනා අදහස් ටිකක් දැන ගත්තා. ඉතින් ස්තූතියි.

    ඒත් අයියා,
    සිතුමිණ වගේද සිළුමිණ.
    ලියැවෙන්නෙ තද නිල් පාට විතරමයි නේද?

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට පාට වෙනස් වෙනවනේ ඒකේ..

      Delete
  11. හැමදාමත් වගේ නලියාගෙන් අර්ථවත් ලිපියක්... අපේ දැනුම වෙනුවෙන් ඔබ විසින් ගෙන එන්නා වූ මේ ලිපි එකතුවට අපේ ස්තූතිය........ අපිට දවසක හැකිවේවි මේ දේවල් පොතක් විදිහටත් දකින්න නේද? ඇත්තට ම නලියා ඔබේ මේ ලිපි ඒ විදිහට ජනතාව අතට පත් කරන විදිහක් ගැන අපි හිතුවොත් හොදයි නේද????

    ReplyDelete
  12. කාල සීමාව ගැන හිතලා බලද්දී වර්ණ දෙක තුනක් වගේ අරන් පත්තර කලාව කලා කියන්නේ සෑහෙන්න ලොකු දෙයක්.. හුඟක් වටින විස්තරයක්..

    ReplyDelete
  13. නන්දික/නලීන්....බොහොම ස්තූතියි. කියවන්න කැමති වර්ගයේ ලිපියක්. අර වෙළඳ දැන්වීමේ තියෙන්නේ කොත්තමල්ලි වතුර බෝතලයක්ද? වර්ගය මොකක්ද? මම ඔය සබ්ජෙක්ට් එකට කැමති නිසා අහන්නේ. ඒ කාලේ තිබුනු බීම ගැන පොඩි අයිඩියා එකක් ගන්න.

    ReplyDelete
  14. පරණ .....දේවල් ඇහෙද්දි දකිද්දි දුක හිතෙනවා.........වටිනා ලිපියක් නලින් අයියෙ....

    ReplyDelete
  15. වටින ලිපියක්...
    ස්තූතියි බෙදාගත්තට...
    ජයවේවා

    ReplyDelete
  16. නලීන් //අබ්දුල් අහමද් ලැමසුරියර් මහතා,// කවද කියල හොයන්න පුලුවන්ද?

    උඩරට නීතිය ගැන Le Mesurier විසින් පොත් ලියල තියනව. ඔය කියන්නෙ ඔහුද? විවාහ දෙකක් වගේ කාරණයක් නිසා ඔහු ඉස්ලාම් ආගම ගත්තද?

    ReplyDelete
    Replies
    1. විස්තර අඩංගු පොතේ සේයාරුවක් මා සතුව ඇත. එය එවන්නට ඔබේ විද්‍යුත් ලිපිනය එවන්න මට .

      Delete
  17. ඒ දවස්වල පත්තරයක් ගැහැව්වොත් කොච්චර වැදගත් තොරතුරු කන්දරාවක් නම් තියේද රටවැසියන්ට දෙන්න. දැන් පත්තර වැඩි නිසා නළුවෙකුට හෙම්බිරිස්සාවක් හැදුනත් ප්‍රවෘත්තියක්. ආ.... කෝ ගිය සුමානේ රන්ජන් අමරරත්නගේ විචාරෙ?

    ReplyDelete
  18. ලංකාවෙ පාඨකයන් තුළ වාර ප්‍රකාශන සහ සඟරා කියවීමේ අඩුවක් තියෙනවා ඒනිසාම වාර ප්‍රකාශන සහ සගරා පළවෙන්නෙ ඉතාමත් අඩුවෙන්. දැන්කාලෙනම් මුද්‍රන වියදමවත් හොයාගන්න අමාරුයි

    මීට කාලෙකට කලින් සගරාවලට හොද ඉල්ලුමක් තිබුණා
    සගරා ඉතිහාසය ගැන ආපසු කියවිම අගෙයි.

    ReplyDelete
  19. අපේ මලයට කරන්න වෙන ඒ ලෙවල් ප්‍රොජෙcට් එකට මං මේ කරුණු තියෙන ලිපි පෙළ එකතුකරනවා නලීන් අයියේ. බොහොමත්ම ස්තූතියි..

    ReplyDelete
  20. හරිම වටිනවා.. ගොඩක් වෙලාවට අපිට ඕනි වුනත් දැනගන්න විදිහකුත් නෑ නේ මේ වගේ දේවල්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්