මේ සාමයේ නගරයට අවතීර්ණ වන මාර්ගය යි. ඒ-9 මාර්ගය යි. ඒ-9 මාර්ගය ඔස්සේ යාල්පානම (යාපනය) දෙසට අපේ රිය වේගයෙන් ඇදෙයි. සිතුවිලි එකින් එක සිතේ පොර බදයි. යුගයක දී ගිනි ගත් යුද පිටියක්ව තිබූ බිමක් අද සැනසුම් සුසුම් හෙළමින් සිටී. මිනිස් හදවත්, මිනිස් සිතුවිලි අලුත් ගමනක සේයාවකට, අලුත් රටක සේයාවකට පාර පෙන්වයි.
නිදහසේ තුටු සිතින් දැන් ඔබට ඒ-9 මාර්ගය ඔස්සේ අප ද සමඟ මෙසේ යා හැකියි. ඒ-9 මාර්ගය ඔස්සේ යන අපට “අලිමංකඩ” හමුවෙයි. අලිමංකඩ ද පසු කර අයියකච්චි (ඉයකච්චි) මංසන්ධියට යා යුතුය. එතැනදී ඒ-9 මාර්ගයෙන් මිදී දකුණු අතට විහිදී ඇති මාර්ගයට පිවිසි යුතුය. මේ මග දිගේ යන අපට අපේ හමුදා නිලධාරීන් දැක්වූ සහයෝගය ඉමහත්ය.
ඔබ මේ මගෙහි කිලෝ මීටර් 16ක දුරක් යා යුතුය.
මා දැන් ඔබව කැඳවාගෙන යන්නේ ඔබව මන්මත් කරවන අපූරු ඉසව්වක් වෙතය. මෙතැනදී ඔබේ ගත පමණක් නොව සිත ද මෝහනයට පත් වනු නිසැකය.
ඔබ පසුකර ආ තාර නොයෙදූ වැලි පාර අතිශය කටුක ය. එහෙත් ඒ කටුක මග ගෙවමින් ඉදිරියට ම යා යුතු ය.
අපි මේ බිමට පිවිසෙද්දී සවස් යාමය උදා වෙමින් තිබුණ ද ගිනි ගහන
අව් කාෂ්ටකේ තවමත් මේ බිමෙන් පහව ගොස් නැත. දූවිල්ල උළුප්පා ඇදී ආ රථය කිසියම් වැලි තීරුවක් මතට පිවිසියේය. ගත දහදියෙන් නැහැවී ඇත. දැනෙන විඩාව ද අපමණය. ගමනේ අවසානය දක්වා අපි සේන්දු වුයේමු. අපි ආ වග දැනගත් එහි සිටි නිරෝෂන් බණ්ඩාර මහතා සිනාමුසු මුහුණින් අප පිළිගත්තේය. එන්න.
අපි ද ඔහු පසුපස ඇදුණෙමු.
ගත දහදියෙන් ගිනි ගනිද්දී සිත ද වියවුලකින් ගිනි ගනියි.
කෙසේ වෙතත් අපි පහත් බිම් තීරුවකට අවතීර්ණ වූයෙමු. මෙය නම් අදහාගත නොහැකිය. සොබා දහම් මවගේ සොඳුරු නිර්මාණයක්.
ගත වේගයෙන් සිහිල් වෙයි.
සිත සහනයෙන් මෝදු වෙයි.
අප පිළිගත් පිළිගැනීමේ නිලධාරියා ප්‍රථමයෙන්ම අප අතට බන්දේසියක් මත රෝල් කර තැබූ තුවා පිරිනැමුවේය. අනතුරුව ගතේ විඩාව යන්නට අපි මුහුණු සිහිල් ජලයෙන් දොවා ගතිමු.
ඒත්, එක්කම අපට පිරිනැමුණේ නෙල්ලි පානයකි.
එය නම් දිව ඔසුවකි.
සන්ධ්‍යාව මනරම්ය. දෙසවනට ඇසෙන්නේ කුරුලු කූජන පමණි.
දැඩි නිශ්ශබ්දතාවයක් හාත්පස රජ කරයි.
මේ කෑලි කපනා නිහැඬියාව බිඳ ලන්නේ මොණරෙකුගේ හඬ තැලීමෙනි. නැතහොත් කුරුල්ලන්ගේ හඬින් පමණි. නොයෙක් වර්‍ගයේ කුරුල්ලන්ගේ රජදහන මෙයයි.
චුණ්ඩිකුලම් කුරුලු අභය භූමිය මෙයයි.
ආදරය හා ප්‍රේමය යනු තමන් ළඟ තබා ගත යුතු දෙයක් නොවේ. තමන්ගේ සිත පහන් හැඟීමෙන් උතුරා ගිය විටෙක අන් සත්ත්වයන් වෙනුවෙන් පිදිය යුතු දෙයකි.
ම’ සිත මහත් වූ ආල්හාදයකින් උතුරා යන්නට විය. පරිසරයේත්, සියොතුන්ගේත් කූජනයෙන් ම’ සිත මන් මත් වී ඇත. මා උන්ට උන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හැර උන් දෙස බොහෝ වේලාවක් බලා හිඳියෙමි.
සත්ත්ව ලෝකය කොතරම් උදාර ද? සියොතුන්ගේ රැස්වීමක්. කුරුලු සමූහයා එක් තැනකට එක් රොක් වී හිඳිති. වරෙක එකෙකු තමා සිටි තැනින් මඳක් ඉඟිල යති. නැවතත් එතැනටම එයි. එතැන සිටින්නේ උන්ගේ වර්‍ගයේම කුරුල්ලන් පමණි. මෙවන් පක්ෂි කණ්ඩායම් රැසක් මෙහි වෙති.
ජල තටාකය ආසන්නයට වත්ම ගොඩබිමේ ඉවුර අසල ස්වභාවයෙන්ම විල්ලුද පලසක් නිමැ වී ඇත. විල්ලුද පලස මත මා හිඳ ගතිමි. කුඩා බුරුත පැළයකට වාරු වූයෙමි.
මේ පරිසරය ලබා දෙන ප්‍රබෝධය අති රමණීයය. පරිසරය නගන ගීතය කන්කළුය.සංගීතය මඳ නලය. ගස් කොළන් පිස එන සියුම් මිහිරියාව ගත සිත ප්‍රබෝධමත් කරවයි.
මෙය නම් පින් බිමකි. මෙවන් තැනක මෙවැනි අපරිමිත සුවයක් ලබන්නට නම් අපමණ පින් කළ යුතු නොවේද? කිසිවෙකුගේත් බාධාවක් නැත. මද නල, සියොතුන්, සෝබමාන පරිසරය හා අප හැර අන් කිසිවෙකු මෙතැන නැත.
අවිවේකී නගරයක සිට මෙවන් සුවදායි පරිසරයකට ආ විට සිත දැහැන් ගත වෙයි. සිත භාවනාවකට මුල පුරයි. ඒ, මේ පරිසරය විසින් ලබා දෙන සුවයෙනි. සිත සැහැල්ලුවෙන් පුරවයි.පරිසරයට සම වැදී පරිසරයෙන් පමණක් දැහැන් ගතව සිටිනා මේ මොහොතේ කාලය පියඹා යනු නොවැටහේ.
පරිසරයට බැඳි පේ‍්‍රමයත් සමඟ දීග ගිය මගේ සිත බොහෝ චමත්කාරයෙන් පිරී ඇත.
මනරම්, සෝබමාන පරිසරය හා නිහඬ බව හැර වෙනත් කිසිවක් මෙහි නැත. දවස නිමාව දකින්නට වෙර දරයි. අහස නොයෙක් සිත්තම් මවන්නට අර අදියි. බැස යන හිරු සෞම්‍ය කාන්තිය විහිදුවන්නට පටන් ගෙන ඇත. හිරු බැස යන මේ මොහොතේ දර්ශනය වඩාත් ආකර්ෂණීයය. දැකුම්කළුය.
හිරුගේ රත් පැහැ කාන්තිය ජල තටාකය මත පතිතව වඩාත් සෝබමාන සිතුවමක් මවා ඇත. කුරුල්ලෙකු දෙදෙනෙකු මේ චිත්‍රයට තවත් වර්ණයන් එක් කරයි.
ඒ මේ ජල තටාකයේ රැළි සෝදා යන රත් පැහැය මතින් විටින් විට එහාට මෙහාට පියෑඹීමෙනි. අන් පක්ෂීහු තම තමන්ට නියමිත ස්ථානයන්හි තවමත් තම තමන්ගේ කාර්යයේමය.
මා ලැබූ මිහිරියාව මා මෙසේ අකුරු කළෙමි. සිත්තරෙකු, ගීත රචකයෙකු මෙතැනට පැමිණියේ නම් ඔවුන් තමන්ගේ ලෝකවල දැහැන් ගත වනවා නිසැකය.
මා ඔබව කැටුව ගිය මේ අභයභූමිය අයිති ඔබටවත්, මටවත් නොවේ. එහි අයිතිකරුවෝ පක්ෂීන්ය. එබැවින් ඔබ මෙහි පැමිණිය ද කිසිම විටෙක මෙහි නිහැඬියාවට හෝ සෝබමාන සෞන්දර්යයට හෝ අල්පමාත්‍රයක හානියක් නොකළ යුතුය. ඔබ උන්ට උන්ගේ පාඩුවේ ඉන්නට හැර කිසිඳු ශබ්දයක හෝ හානියක් නොකරන්න.
මුදල් පසුපස හඹා යන ලෝකයේ බොහෝ දෙනා සිටිනා වැරදි මතය කාසිවලින් සියල්ල ලබාගත හැකි බවයි. එවන් සිතුවිලි හා මත කොතරම් සාවද්‍යද?
මා මේ ලැබූ අපමණ මිහිරියාවට කිසිදු මුදලක් අය නොවිනි. මට ලබා දුන් අනේකවර මිහිරියාව වෙනුවෙන් කිසිදු මුදලක් වැය නොවිණි.
කිසිදු අය කිරීමකින් තොරව අපට ලබා දෙන මේ සුවයට අපි ගරු කළ යුතු නොවන්නේද?
රතු ඉන්දියානු සියටැල් ද ගෞතම බුදුන් වහන්සේ ද ඒ බව හොඳින් පසක් කර ගත් උත්තමයෝ ය.
ස්වභාවිකව පිහිටියා වූ වැලි කන්ද විසින් මේ බිම රක්ෂා කර දෙයි. බෙංගාල බොක්ක හරහා කරකැවී එන ගොඩ සුළං හා මුහුදු සුළං පිස එන වැලි රැල්ලෙන් වැලි කන්ද නිර්මාණය වී ඇත. සුනාමි වැනි ව්‍යසනවලින් මේ බිම රැකෙන්නේ ද වැලිකන්ද නිසාවෙනි.
වසර මුළුල්ලේම දැඩි නියඟයක් ඇති වුව ද මේ බිම සිහිල් සෞම්‍ය දේශගුණයෙන් ම පවතී. ඒ මෙහි ඇති විශේෂත්වයයි.
චුණ්ඩිකුලම් පිහිටා තියෙන්නේ ලංකාවේ අති විශේෂ ස්ථානයකය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගොඩබිමත් යාපනය අර්ධද්වීපයත් එකතුවන මුහුදුබඩ පටු බිම් තීරය මෙයයි. කලක් ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක්ව පැවැති මෙය අපේ ආරක්ෂක හමුදාව විසින් අභීතව ජය ගත් බිමකි. චුණ්ඩිකුලම් කලපුව මඟින් යාපනයත් ප්‍රධාන ගොඩ බිමත් වෙන් වේ.
චුණ්ඩිකුලම් කලපුව හා එහි වටා ඇති වනගහනයත් සමඟ හෙක්ටයාර් 11, 149ක භූමි භාගයක් අභයභූමියට අයත්ය. චුණඩිකුලම් අභයභූමියක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 පෙබරවාරි 25 වැනිදාය.
කුරුල්ලන්ගේ අභයභූමිය නරඹන ඔබට තවත් සුවිශේෂී පහසුකම් රැසක් ද මෙහි පවතී. ඔබට මෙහි පැමිණ නිදහසේ පරිසරයේ චමත්කාරය විඳින්නත්, ඔබ කුරුල්ලන් ගැන කිසියම් පරීක්ෂණයක නිරත වන්නේ නම් හෝ එවැනි අධ්‍යයනයක් කිරීමට කිසිවෙකුගෙනුත් බාධාවක් නොමැත.
තව ද ඔබට අතිශය ප්‍රණීත ආහාර පාන ඇතුළු නවාතැන් පහසුකම් ද මෙහි වෙයි. ඔබ බෝට්ටු සවාරියකට පි‍්‍රය කරන්නේ නම් කාලගුණ සහ ජලධාරිතාවේ ස්වභාවය අනුව යහපත් නම් එම අවස්ථාව ද ඔබට හිමි වේ.
අවට වන රොදක් ද පවතින හෙයින්, මුවෝ, වල් ඌරෝ සහ වළස්සු ද මෙහි ගැවසෙති.
මිරිදිය මත්ස්‍යයන් සහ කුඩා ප්‍රමාණයේ ගැට කිඹුලන් ද මෙහි සිටී. මෙය සත්ත්වයන්ට අයිති බිමක් වන බැවින් උන්ට උන්ගේ පාඩුවේ හිඳීමට ඉඩ දීම ඔබගේ යුතුකමය. වගකීම ද වන්නේය.
යම් කිසි හෙයකින් ඔබ මෙහි නිහැඬියාවටත්, ජෛවීය පරිසරයටත්, කිසියම් හානියක් කරන්නේ නම් එහි ඇති නීති රීති ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි බව ද තරයේ සිහි තබා ගත යුතුයි. අපි ලියන දෙයත්, අපි විඳි සුන්දරත්වයත් කියවන ඔබ දඩබ්බරයෙකු හෝ
පරිසර හිංසාවාදියෙකු නොවනා බව ද අපි තරයේ විශ්වාස කරන්නෙමු. එබැවින් ඔබේ හිත සුව පිණිස සියලු තොරතුරු ඔබ වෙත ගෙන හැර දැක්වූයෙමු.
හාත්පස අඳුර ගලාගෙන විත් ඇත. සිතට කවි කී මොහොත නිමා කළ යුතු වන්නේ සිතකින් නම් නොවේ. මේ බිමෙන් යෑමට සිත නොදෙයි.
ඒත්, යා යුතුය. ගතින් පිටත්ව ගිය ද සිතින් මේ බිමෙන් පිටත්ව නොයන්නේ මේ බිම විසින් ලබා දුන් සුවය අමා සුවයක්ම වූ බැවිනි.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප - එස්. ගුණසේකර
මේ ලිපිය සමකය වටේ අඩවියට ලබා දුන් මිහිතුරු කර්තෘ ශාමා සොයුරියට මාගේ ස්තුතිය
මෙච්චර දුෂ්කර ප්‍රදේශයක මෙහෙම තැන් තියනවාද කියලත් හිතෙනවා. හොද චාරිකා සටහනක්. ශාම්‍ය සොහොයුරියටත් ගොඩක් ස්තූතියි ඒ වගේමට අපිත් එක්ක බෙදාගත්තට ඔබටත් ස්තූතියි.
ReplyDeleteයාපනේ යනවා නම් මෙතැනට අනිවා ගිහින් බලන්න.
Deleteසොරි බන් මාතෘකාව දැක්කෙ කුරුල්ලන් සමඟ යහන් ගත වෙන්න එන්න කියලයි.. පස්සෙ දැහැන් ගත වෙන කතාව දැක්කහම මටම හිනා ! :-D
ReplyDeleteමළ ඉළව්වයි...තව පොඩ්ඩෙන්.
Deleteඔන්න බලපන් දැහැන් ගතවීමෙයි යහන්ගත්වීමෙයි වෙනස
Deleteඔහොම ස්ථාන වලට ගියාම දැනෙන සුවය විස්තර කරන්න වචන මදි... මේක පිහිටලා තියන ප්‍රදේශයත් එක්ක බැලුවාම ඉතා වටිනා බිමක් කියල පේනවා...
ReplyDeleteස්තුතියි දෙන්නටම..!
මලයෝ අනිවා දවසක යන්න ඒ පැත්තට ගියොත්
Deleteකිසිදා දැක නැති පැත්තක්!
ReplyDeleteලබන අවුරුද්දේ නිවාඩුවට ආ විට යනවනම් අගනාම තැනක්..මේ සෙනසුරාදා මම ආයිමත් යනවා කච්චතිව් දූපතට. ඉන්දියාව අයිතිය ඉල්ලන්නේ ඒ දූපතටනේ..එදාට ලයිව් අප්ඩේට් පොස්ට් එකක් දාන්න හිතන් ඉන්නවා.
Deleteෂෙහ්.. මරු!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මරේ මරු තමා රජෝ..
Deleteමෙතන මගේ සිත් ගත්තා, මගේ සවාරියට මේකත් එකතුකරගන්න ඕනේ..
ReplyDeleteඋතුරට ගියොත් මෙතැන නරඹන්න අමතක කරන්න එපා..
Deleteඉන්දියාව හරහා උතුරු පියාසර මග දිගේ එන සංක්‍රමණික කුරුල්ලෝ ඉස්සෙල්ලාම ලංකාවට පය ගහන්නේ චුන්ඩිකුලම්වල දී. නලින් මලයාටයි, ෂ්‍යාමා කෙල්ලටයි ස්තුතියි තොරතුරු ගෙනාවාට.
ReplyDeleteසතා සීපාවා ගහ කොළට ආදරය කරන වනජීවි විධායක නිලධරයෙකු මේ තැන ගැන වටින කම මට වඩා හොඳට දන්නවානේ.. ස්තුතිය් අය්යා මේ කමෙන්ටුවට..
Deleteහැබෑවටම මේ තොරතුරු වටිනවා. හැමදාම පුරුදු තැන් වලට විතර නෙව යන්නේ. වෙනසකට හරි වටිනවා.ස්තුතියි දෙදෙනාටම.
ReplyDeleteසත්‍ය ලෙසම මේ පෝස්ටුව එක් කළේ වෙනසක් ඇති තැනක් නිසයි.
Deleteෙහාද සටහනක්.
ReplyDeleteහම්..
Deleteකියවලාම ලිවුවා නම් තමයි හොඳ !! ඔයා හැම එකටම ගිහින් නොකියවා පොදු වැකියක් ලියලා යනවා.
Deleteමාගේ සිහින විනෝද සවාරියට මේ තැනත් එකතු වුනා.
ReplyDeleteඇයි බං සිහින ...
Deleteයාපනේ ගිහින් ඇතත් මේ කුරුලු පාරාදීසයට ගිහින් නැහැ. ඒත් මේ සටහන කියෙව්වාම දවසක් විතර ගතකරන්න නියම තැනක් වගේ.
ReplyDeleteඇත්තටම යාපනේ සංචාරයකට ගියොත් අනිවාර්‍යයෙන්ම බලන්න යන්න ඕන තැනක්.
ReplyDeleteලස්සන ආටිකල් එකක්.තෑන්ක්ස් නලින් පොස්ට් එකට.
ReplyDeleteහරිම ලස්සනයි.
ReplyDeleteබොහෝම ස්තුතියි!
හෙන ලස්සනයි , මමත් යන්න ඕනේ දවසක් දාගෙන හරි
ReplyDeleteරස්සාව කරන කාලෙ පණ අතේ තියාගෙන කන්කසන්තුරේට පොයින්ට්පෙදුරුවලට එහෙම උඩිං ගියාට පස්සෙ යාපනේ පලාතට ගිහින් නෑ.. මෙහෙමවත් ඉතිං බලන්න සැලැස්සුවාට ස්තුතියි ලියපු නෝනටයි පලකරපු නලින්ටයි..
ReplyDeleteචුණ්ඩිකුලම් ලිපිය කියවූ සියලු දෙනාටම ස්තූතියි. ලංකාවේ මේ වගේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඉදිරියේ දී ඒ තැන් ඔබ වෙනුවෙන් ලබා දීමට අපට පුළුවන්. ලේක්හවුස් ප්‍රකාශනයක් විදියට මසකට වරක් එළිදකින මිහිතුරු පාරිසරික සඟරාව මඟින් අපි ඒ තැන් ඔබට පෙන්වනවා.
Delete“මිහිතුරු” සංස්කාරක-ශ්‍යාමා සමරසිංහ
පට්ටම ලිපියක්නේ. ලියහන්කෝ මෙ වගේ එව.
ReplyDelete