රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-09

ටෙනිසන්ගේ බණට කන් දෙන්න!


වයස්ගත ටෙනිසන් දැන් බණ කියන්නට පටන්ගෙන තිබේ. එහෙත් මේ බණ නරක නැත. ව්‍යාජ නැත. ජීවිතය තත්වාකාරයෙන් වටහාගත යුතු කිසිවකු වෙත් ද, ඔහු හෝ ඇය හෝ කිසියම් මිලක් ගෙවා යථෝක්ත බණ දේශනාව තමන් සන්තක කර ගත යුතුය. එයින් කිසිදු පාඩුවක් සිදු නොවන බව හොඳට ම සහතිකය. ටෙනිසන් දැන් පරිණතය. ඒ තරමට ම සන්සුන්ය. “එකොළොස් ගිනි” නවකතාව ටෙනිසන්ගේ කතා කලාවේ හැරවුම් ලක්ෂයයි.


පුංචි පහේ බණ දේශනාවක් ද සහිත ආකර්ෂණීය නවකතාවක් කියවන්නට ලැබිණි. එය පිටු තුන්සිය දහඅටකින් සමන්විත දීර්ඝ ප්‍රබන්ධයක් වූව; වේගයෙන් කියවාගෙන යා හැකිය. කුතුහලය දනවමින් එක්තරා රිද්මයක පිහිටා අපූරු කතා වස්තුවක් විස්තාරණය කිරීමට කතුවරයා සමත් වේ. මේ පොත ගෙදර මේසය මත තැබිය නො හැකි විය. කවුරු හෝ කෙනෙක් එය උදුරාගෙන වරින්වර කියවති. කන්තෝරුවේ තත්ත්වය ද එය ම විය. කන්තෝරුවේ මේසය මත දී නවකතාව හිටිහැටියේ අතුරුදන් වේ.
 ටෙනිසන්පෙරේරා

විවිධ අය විවිධ මෝස්තරයෙන් යුතු ව ටෙනිසන්ගේ පොත කියවති. පොතක් පාඨකයාගේ අතින’ත දිගේ ගමනක යෙදීම ලේඛකයාගේ නො මද සතුටට හේතුවෙකි. ටෙනිසන් පෙරේරා “එකොළොස් ගිනි” නම් කෘතියෙන් එම වාසනාව උදා කරගෙන තිබේ. “එකොළොස් ගිනි” යනු කතුවරයාගේ විසිපස් වන නවකතාවය. එය ඔහුගේ කතා කලාවේ හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වා දෙන්නට කැමැත්තෙමු. මීට පෙර ඔහු විසින් රචනා කරන ලද; ප්‍රබන්ධ ගණනාවක පැවැති දුර්ගුණ මේ කෘතියෙන් විද්‍යාමාන නොවේ.

නීරසබව, අනවශ්‍ය වැල්වටාරම් සහිත දීර්ඝ විස්තර හා විග්‍රහ ඇතුළත් වීම, ව්‍යාජ නිරූපණ පැවැතීම, නො ගැළපීම් තිබීම, ඉන්ද්‍රජාලික යථාර්ථවාදයෙහි පැටලීම හා භාෂාවේ කඨෝර බව ද ටෙනිසන්ගේ පූර්ව ප්‍රබන්ධවල දක්නට ලැබුණු පොදු දුර්වලතා ය. එකොළොස් ගිනි ප්‍රබන්ධයේ දී ඔහු මේ පොදු දුර්වලතා පරයා අලුත් ඉසව්වකට පැමිණ තිබේ. ඒ හැරත් දැඩි සංයමයකින් යුතුව සියල්ල කළමනා කිරීමට කතුවරයා සමත් වේ.

ඔහු අතින් ලියැවුණු හොඳ ම නවකතාව මේ වන්නට ද පුළුවන. ටෙනිසන් දැන් පරිණතය. එලෙසම සන්සුන්ය.

විවිධ ආශාවන් පසුපස හඹා යන මිනිසා, ඒ මතම විනාශයට පත් වේ. එහි නිමාවක් නැත. කෙළවරක් නැත. මිනිසා ද – ගැහැනිය ද කියා වෙනසක් නැත. ඔව්හු ගමනක යෙදී සිටිති. මේ ගමන පුරාවට ම ඇත්තේ දුෂ්ඨකම්, ව්‍යාජකම් හා කුරිරුකම්ය. කතුවරයා මේ සියල්ල විනිවිද දකියි. එය ම සියුම් ව නිරූපණය කරයි. වරෙක ශෝකය ද, වරෙක භීතිය ද, වරෙක හාස්‍යය ද පාඨකයාට දැනෙයි. කතුවරයා ජීවිත යථාර්ථයෙන් බිඳක් අප හමුවේ තබයි. එය ම ජීවිතය පිළිබඳ ගැඹුරින් විමසන්නට අප පොලඹවයි.

සෑම ජීවිතයකට ම හුදු අනන්‍යතාවක් ඇතැ’යි කියනු ලැබේ. එය වෙන ම ලෝකයෙකි. මිනිසා ද ගැහැනිය ද පළමු ලෙස හා ප්‍රධාන ලෙස ස්වකීය ලෝකයෙහි ජීවත් වෙති. පවුල් සංස්ථා, ඥාති සබඳතා, සමාජ සම්බන්ධතා යනු දෙවන ලෝකයකට යන පාරවල් වන්නේය. මිනිසාට මෙන් ම ගැහැනියට ද අවශ්‍ය වන්නේ පෞද්ගලික ලෝකයෙහි අභිමතයන් සාක්ෂාත් කර ගැනීමට ය. ඒ සඳහා ඔවුන් දරන අරගලය ටෙනිසන් පෙරේරාට මනාව හසු වී ඇත. ඔහු එම අරගලය චරිත කිහිපයක් ඔස්සේ සියුම් ව නිරූපණය කරයි.

හේමලතා මැණිකේ යනු මේ කතාවේ ප්‍රධාන චරිතයයි. ඇය අතිශය රූමත්ය. ඒ තරමට ම රාගයෙන් පොහොසත්ය. රූමත් තරුණ ගැහැනියකට අත්විඳින්නට සිදුවන සියලු ඛේදවාචකයනට ඇය මුහුණ දෙන්නීය. ඇගේ වැඩිහිටියන්ගේ ජීවිත අවුල්ය.

පළමු පෙම්වතා ඈ හැර යන්නේ ගබ්සාවකට හේතු සාධක ඉතිරි කරමින්ය. හේමලතා මැණිකේට විවාහ වන්නට සිදු වන්නේ වයස්ගත, විරූප, කණවැන්දුම් එහෙත් සල්ලිකාර සාම්ප්‍රදායික මිනිසකු සමඟය. ගෙදර මෙහෙකාරයකු සමඟ ද, පොලිස් කාරයකු සමඟ ද, දේශපාලකයකු සමඟ ද යනා දී ලෙසින් බහු පුරුෂ සේවනයක යෙදෙන්නට මැණිකේට සිදු වේ. මේ වනා හී නූතන සමාජය තුළ අප අත්දකින සත්‍යය යි. යථාර්ථයයි.

කතුවරයා මේ සිදුවීම් ව්‍යාජ ලෙස ගළපන්නේ නැත. එහි එන සෑම සිදුවීමක් ම එකිනෙකට ගැළපී හේතු-සාධක සහිත ව නිරූපණය වේ. නූතන සමාජයේ රූමත් ගැහැනියකගේ ශෝකාන්තය ලෙස ද, ගැහැනියකගේ ඛේදවාචකය ලෙස ද මේ කතාව හඳුන්වන්නට පුළුවන. ටෙනිසන් මෙහි දී පුරුෂයන් මත ම වරද පටවන්නේ නැත.

හේමලතා මැණිකේ ද අසරණියක් නොවේ. ශුද්ධවන්තියක් නොවේ. ඇගේ ජීවිතයේ පවතින කුණුකන්දල් ද එළියට අදින්නට කතුවරයා සමත් වේ. එය සාධාරණ විනිශ්චයකි. අප මේ නූතන ඛේදවාචකය නම් නඩුව විභාග කළ යුත්තේ පැමිණිල්ලේ සාක්ෂි පමණක් නො ව; විත්තියේ සාක්ෂිද සැලැකිල්ලට ගනිමින්ය.

වනසිංහ පොල් මුදලාලි, නෝමා නම් ඇගේ අක්කා, අබේසිරියා, රෙන්ගා, නිකිණි නම් පෝනියා පමණක් නොව, වාසලමුදලි මන්දිරයද මේ කතාවේ විත්ති පාර්ශ්වය නියෝජනය කරන චරිත වේ. නිකිණි නම් පෝනියාද මැණිකේ හා කතා කරයි.

අබේසිරියා කයින් ශක්තිමත් ගොළුවෙකි. එහෙත් ඔහු ද මැණිකේ හා කතා කරයි. නෝමා දෑස් අන්ධ ගැහැනියෙකි. එහෙත් ලෝකය ඉතා නිවැරැදි ව දකින්නේ ද නෝමා ය. මේ සියල්ලට ම වඩා වාසල මුදලි මන්දිරය හා එම විශාල වත්ත හැඟීම් සාගරයෙකි. කතුවරයා යථාර්ථ නිරූපණය සඳහා යොදා ගනු ලබන චරිත මෙන්ම පරිසරයන් ද අපූරුය.

සිහින, මනෝ සංවාද, මවා ගැනීම්, ස්වයං තර්ක, කතා වස්තුවට බාධාවක් නො වන ලෙස ද, පාඨකයා වෙහෙසට පත් නො කරන ලෙස ද ගළපා ගැනීමට ටෙනිසන් සමත් වී ඇත. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යැයි කීමට ඉක්මන් විය යුතු නැත. අපට උරුම මූලික කතා කලාවේ ආභාසයක් ද කතුවරයාට තිබේ. එබැවින් ඔහු මේ සියල්ල ව්‍යාජයකින් තොරව ගළපයි.

“නිකිණි වහා ම දිව විත් ගල් ගැසුණාක් මෙන් ඇය ඉදිරියෙහි බලා සිටියේය. නිකිණිට ද අසන්නට ප්‍රශ්න ගණනාවක් විය. ඒ කිසිවක් නෑසූ ඌ එක ප්‍රශ්නයක් පමණක් ඇසුවේය”

“මැණිකෙ ගල් ගුහාව බලන්ඩ යමු ද?”


(හය පරිච්ඡේදය 103 පිටුව)

නිකිණි නම් පෝනියා මැණිකේගෙන් ප්‍රශ්න විචාරන්නේ කෙසේදැ’යි ඇසීමට තරම් අපේ පාඨකයා මෝඩ නැත. ටෙනිසන්ගේ “ජිමික්” හොඳහැටි ගැළපෙන බව පමණක් බුද්ධිමත් පාඨකයා වටහා ගනු ඇත. කතුවරයාගේ “නෝමා” නම් චරිතය කියවන විට මාර්කේස් ඇතුළු ලතින් අමෙරිකානු ලේඛකයන් රැසක් සිහිපත් වේ. කරුණු කිහිපයක් නිසා එම චරිත ගෙන හැර නො දක්වමු. පළමුවැන්න කතුවරයා ළඟ කොපි කිරීමක් නැති බැවින්ය. දෙවැන්න ඔහු සියල්ල මනාව ගළපන නිසා ය. තෙවැන්න ඔහු සිය නවකතාවේ පසු කවරයෙහි ලා සඳහන් කරන වැදගත් කියමනක් හේතුවෙන්ය.

“සබඳ සාහිත්‍ය සේවනයෙන් ඔකඳ වූ ඔබ මෙහි එන හේමලතා මැණිකේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නම් ප්‍රබන්ධයෙහි කොනී යැයි නොසිතන්න. “මැඩම් බෝවාර්හි” එමා යැයි ද නො සිතන්න. “බෑඩ් ගර්ල්හි” නරක ම ගැහැනිය ද මැණිකේ යැයි නො සිතන්න. ඇය වූ කලී මේ ප්‍රබන්ධයෙහි කතුවරයා මව්බිමේ දී සියැසින් දුටු මිනිස් ආත්මයක සිරගත වූ සැබෑ ගැහැනියක ම වන්නීය.”

ටෙනිසන්ගේ ප්‍රකාශය සත්‍යයක් සේ ගත හැකිය. මෙවන් ස්ත්‍රී චරිත පිළිබඳ ජීවමාන අත්දැකීම් අපට තිබේ. එලෙස ම එබඳු චරිත පිළිබඳ පුවත්පත් විශේෂාංග අප අනන්තවත් කියවා තිබේ.

ස්ත්‍රී විෂයයෙහි පවත්නා පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ සජීවී අත්දැකීම් කාටත් තිබේ. නූතන සමාජ ක්‍රියාකාරකම් තුළ ස්ත්‍රියකට බසයක යා නොහැකිය. ඇය කූරුගෑමට ලක් වේ. දුම්රියක යා නොහැකිය. ඇය හෙත්තු කිරීම්වලට ලක් වේ. ඇයට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යා නොහැකිය. ව්‍යාජ උදවුකාරයෝ වහා පැමිණෙති. ඒ උදවු කිරීමට නොව, ඇයගේ ශරීර සාරය උරා බීමටය. ටෙනිසන් මේ තත්ත්වය හොඳින් නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ සියලු ගැහැනුන් මේ පොත කියවා බැලීම වටී. එහි අර්ථය උකහා ගැනීම වටී.

කතුවරයා මේ කෘතියෙන් ප්‍රධාන අරමුණු දෙකක් සාක්ෂාත් කිරීමට වෑයම් කරන බව පෙනී යයි. පළමුවැන්න නූතන මිනිස් ජීවිතවල ඇතුළාන්තය හෙළි කරමින් ජීවිත යථාර්ථය පසක් කිරීමට උත්සුක වීමය. දෙවැන්න නූතන වාණිජ සමාජයෙහි ස්ත්‍රිය දරන අරගලය නිරූපණය කිරීමය. එක අතෙකින් නූතන ස්ත්‍රිය පිළිබඳ අපූරු චිත්‍රයක් ඔහු අතින් සිතුවම් වේ. තව අතෙකින් ජීවිතයේ නිස්සාරත්වය පිළිබඳ බණ දේශනාවක් ද ඔහු අතින් පෙළ ගැසේ. මේ කරුණු දෙක ම වැදගත්ය.

නව ප්‍රබන්ධයක එක් අරමුණක් වන්නේ ජීවිතය පිළිබඳ වැටහීමක් ලබා දීමය. යථාර්ථය සාක්ෂාත් කිරීම වැනි බරසාර වචනවලින් කියැවෙන්නේ ද එය මය. මේ කාරණය මැනැවින් ඉටු කළ හැකි බුද්ධිමය ශක්‍යතාවක් සාර්ථක නවකතාකරුවාට තිබේ. ටෙනිසන් පෙරේරා බොහෝ නවකතා ලියා ඇතත්; ඔහුගේ පරිපූර්ණත්වය මතු වී ඇත්තේ මේ කෘතියෙන්ය. “එකොළොස් ගිනි” මහා විශිෂ්ට නවකතාවක් යැයි ඔසොවා තබන්නට වුවමනාවක් අපට නැත. එහෙත් එය සාර්ථක අංග ලක්ෂණ සහිත සමාජයට බලපෑමක් කළ හැකි ප්‍රබන්ධයක් යැයි ඉඳුරා කිව හැකිය.

මේ නවකතාව ඔස්සේ සමාජ සංවාද ගණනාවක් ඇති කළ හැකිය. මෙබඳු පුංචි තීරුවකට හිර වී ඒ සියල්ල විග්‍රහ කළ නො හැකි බව පමණක් සඳහන් කරමු.
මෙම ලිපිය අද දිනමිණ පුවත් පතෙන් ද කියැවිය හැකිය.
------------------------------------------------------------------------------------------------
රන්ජන් අමරරත්න

6 comments:

  1. තව පොතක්.. ඒක නම් කියවන්න හිතුනා හැබැයි....

    ReplyDelete
  2. ලංකාවේ මේ පොත කියවන ගැහැණු අතර එක් අයෙක් වන්නට අපේක්ෂා කරමි...

    ReplyDelete
  3. ලබන සතියේ පොත් ටිකක් ගන්න හිතාගෙන ඉන්නේ. මේකත් ලැයිස්තුවට දා ගන්නම්.

    ReplyDelete
  4. ටෙනිසන් පෙරේරා කියන්නේ මම කැමතිම ලේඛකයෙක්. ඔත්තුවට ස්තූතියි නලියා.

    ReplyDelete
  5. මමත් කියවන්න උත්සාහ කරනවා...

    ReplyDelete
  6. ටෙනිසන් පෙරේරාගේ මෑතකදී මා කියවූ හොඳම පොත 'අසිරිමත් වැඩබිම' කියන කෙටිකතා පොතයි. භවාන්තරය නවකතාව තරමක් හොඳයි. නමුත් අභිරහස් ජීවිත තරණය නම් කියව ගත්තේ අමාරුවෙන්. ටෙනිසන් දැන් හැම අවුරුද්දෙම ස්වර්ණ පුස්තක සම්මානෙ ඉලක්ක කරලා ලියනවද කියලත් හිතෙනවා. අන්තිම නවකතා කීපයම එකම රටාව.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්