සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල ක්‍රියාත්මක වන අමානුෂික දඬුවම් කිහිපයක් තිබේ. පළමු වැන්න වරදකරුවා ගේ බෙල්ල කපා මරා දැමීම ය. දෙවැන්න වරදකරුවාගේ දෑත් හා දෑස් බැඳ දමා ඔහුට ගල් ගසා මරා දැමීම ය. තුන් වැන්න වරදකරුවා නිරුවත් කොට බිම දමා ඔහු ට නො නවත්වා කස පහර දීම ය. මෙහි බලවත් අමානුෂික ස්වරූපය වන්නේ මේ සියලු දඬුවම් ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරියේ සිදු කිරීම ය. මේ දඬුවම්වලට අදාළ නීතිය ෂාරියා නීතිය ලෙස හඳුන්වනු ලබන අතර එය ශුද්ධ වූ කුරානයේ වගන්තිවලට අනුව නිර්මාණය කර ගත් නීතියක් ලෙස ද සැලකේ. ෂාරියා නීතිය අපට වැදගත් නො වූව ද දැන් ඒ ගැන කතා කරන්නට සිදු වී තිබේ.

රිසානාගේ මරණය සැලවීමෙන් පසු ඇගේ නිවෙස අසල
රිසානා නෆීක් නම් ශ්‍රී ලාංකික තරුණිය ඊයේ සෞදි අරාබියේ දී හිස ගසා මරා දමන ලදී. අප දන්නා පරිදි හිස ගසා දැමීම යනු බෙල්ල කපා මරා දැමීම ය. ඇය පිළිබඳ කතාව ශ්‍රී ලංකාව පමණක් නො ව තවත් රටවල් ගණනාවක සාකච්ඡාවට ලක් වී තිබිණි. ලෝකයේ ප්‍රබල මානව හිමිකම් සංවිධාන කිහිපයක් සෞදි රාජ්‍යයෙන් ඉල්ලා සිටියේ රිසානා නිදහස් කිරීම වඩා සාධාරණ බව ය. මීට දින දෙකකට පෙර දී එමිනෙස්ටි ජාත්‍යන්තරය ද රිසානා නිදහස් කරන්නැ’ යි ඉල්ලීමක් කර තිබිණි. එහෙත් සෞදි රජය හෝ අධිකරණය හෝ එය සැලැකිල්ලට ගත්තේ නැත.
රිසානා යනු ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් මුතූර් නම් නො දියුණු ප්‍රදේ්ශයේ අන්ත දිළිඳු පවුලක වැඩිමහල් දියණිය යි. ඇයට සහෝදර - සහෝදරියෝ පස් දෙනෙක් සිටිති. පියාගේ රැකියාව මූකළානට ගොස් දර කපා නගරයට ඒවා කරත්තයකින් ප්‍රවාහනය කොට හෝටල්වලට අලෙවි කිරීම ය. මේ රක්ෂාවෙන් වැඩි ආදායමක් ලැබුණේ නැත. පවුලේ සියලු දෙනාට සිදු වූයේ දවසේ කෑම වේල් තුනෙන් දෙකක් ම හිස් බඩ ව සිටීමට ය. පියා දන්නා තරම් උපාය මාර්ග යෙදුව ද ආදායම ඉහළ ගියේ නැත. ඔව්හු දිනෙන් – දින ම ප්‍රපාතය කරා ගමන් කළ හ. මේ අතර මාපියන් විසින් තීරණයක් ගනු ලබන්නේ වැඩිමහල් දියණිය රට රැකියාවක් සඳහා පිටත් කර යැවීම ට ය.
දුප්පත් රිසානා තම සහෝදර පිරිසගේ ද මාපියන්ගේ ද කුසගින්න හඳුනාගෙන සිටි බැවින් මේ තීරණයට එකඟ වූවා ය. එහෙත් නීතිය හරහට සිටියේ ය. ඒ වන විටත් ඇය රැකියාවකට සුදුසුකම් ලබා නොසිටියේ ළාබාල වයස නිසා ය. ඇය ඉප දී ඇත්තේ 1988 වසරේ ය. 2005 දී ඇය සෞදියට යන විට සැබෑ වයස අවුරුදු දාහත සම්පූර්ණ වී නො තිබිණි. එහෙත් ලිපි ලේඛන ව්‍යාජ ලෙස වෙනස් කොට ඇගේ උපන් වර්ෂය 1982 ලෙස වසර හයකින් වෙනස් කර දීමට රැකියා ඒජන්සිය සමත් විය. ඒ වෙනස්වීම සිදු වන්නේ ඒජන්සියට ලැබෙන ගතමනාව සලකාගෙන ය.
මිදුලේ දුව පැන ඇවිදිමින් සෙල්ලම් බත් උයන වයසේ පසු වූ රිසානාට සෞදියේ සල්ලිකාර පවුලක ගෘහ සේවිකා තනතුරක් ලැබිණි. එහි රාජකාරියෙහි කෙළවරක් නැත. ඇය පාන්දර තුනට පිබිදී රාත්‍රී එකොළහ වන තුරු නො නවත්වා වැඩ කළ යුතු විය. එහි භයානක ම රාජකාරිය වූයේ මාස හතරක් වයසැති දරුවා බලා ගැනීම ය. 2005 මැයි මාසයේ දිනෙක එම ළදරුවා සූප්පුවෙන් කිරි බොමින් සිටිය දී කිරි උගුරේ හිර වී මරණයට පත් වූයේ ය. චූදිතයා වූයේ අහිංසක රිසානා ය. ඇය අධිකරණය ඉදිරියේ වැරැදිකාරිය වූවා ය. ෂාරියා නීතියට අනුව ඇයට මරණීය දණ්ඩනය නියම කරන ලදී.
ශ්‍රී ලංකා රජය රිසානා ට සමාවක් දෙන ලෙස සෞදි රජයෙන් ඉල්ලා සිටියේ ය. වන්දියක් අවශ්‍ය නම් ඒ මුළු මුදල ගෙවීමට එකඟතාව පළ කළේ ය. සාකච්ඡා ගණනාවක් පැවැත් වී ය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ නඩුව අභියාචනාධිකරණයට යොමු කැරිණි. තීන්දුව ලැබෙන තෙක් රිසානා සිරගත කැරිණි. නඩු විභාගය දිගින් – දිගට ඇදී ගියේ ය. අවසන් ප්‍රතිඵලය වූයේ අභියාචනාධිකරණය ද මරණීය දණ්ඩනය අනුමත කිරීම ය. මින් පසු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ද රිසානා ට සමාවක් ලෙස සෞදි රජයෙන් ඉල්ලා සිටියේ ය. ඒ සියල්ල ඉවත දැමූ සෞදි අධිකරණය ඊයේ පෙරවරුවේ දී රිසානා ගේ බෙල්ල කපා මරා දැම්මේ ය.
ලෝකය පුරා ම මානව හිමිකම් ගැන මහ ඉහළින් සංවාද පැවැත් වේ. සාධාරණය, යුක්තිය, ස්වාභාව ධර්මයේ නීතිය, පොදු නීතිය ගැන කෙස් පැලෙන තර්ක මේ සංවාදවල දී ඉදිරිපත් වේ. එහෙත් නො දැන සිදු වූ වරදකට බෙල්ල කපා මරා දමන නඩු තීන්දු ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වේ. මෙහි දී නීතිය ගැන ප්‍රශ්න කළ යුතු ය. අධිකරණය ගැන ප්‍රශ්න කළ යුතු ය. මේ අතර දෙවියන් වහන්සේ කොහි වැඩ සිටිත් දැ’යි කෙනකු විමසන්නට ද පුළුවන. රිසානා යනු අහිංසක දැරියකි. ඇය හිතා - මතා මිනීමැරුමක් සිදු කර නැත.
 සානා බෙල්ල කපා මරා දැමීමත් සමඟ පුළුල් වශයෙන් සංවාදයට ලක් කළ යුතු ගැටලු සහගත සිදුවීම් ගණනාවක් තිබේ. පළමුවැන්න ශ්‍රී ලංකාවේ දරුවන් රට රැකියාවලට පිටත් කිරීමේ ප්‍රතිපත්තිය යි. ඊට අදාළ නීති සමූහය යි. දෙවැන්න මැද පෙරදිග අරාබි රටවල පවත්නා නීතිය හා විදේ්ශිකයනට ඔවුන් සලකන පිළිවෙළ යි. තෙවැන්න මැද පෙරදිග රටවල් හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව යි. මේ මරණීය දණ්ඩනයත් සමඟ ඒ සියල්ල ප්‍රශ්න කිරීමට ලක්වීම නො වැළැක් විය හැකි ය.
ශ්‍රී ලංකාවේ අපට තවත් පාඩම් කිහිපයක් ද මේ මඟින් උගත හැකි ය. 1970 ගණන් වල සිට ආරම්භ වූ විදේශීය ගෘහ සේවා වෘත්තීය නිසා එක අතකින් අපගේ විදේශ විනිමය ඉපැයීම් ඉහළ ගියේ ය. ඒ සමඟ පවුල් බිඳ වැටීම ද ඉහළ ගියේ ය. රට යෑම මෝස්තරයක් කර ගත් පිරිසක් දැන් අප අතර සිටිති. මෙසේ රට යන සමහරු විවිධ අතවරවලට ලක් වෙති. ලිංගික හිංසනය ඒ අතර ප්‍රධාන වේ. මැද පෙරදිග සේවයෙහි නියුතු ගෘහ සේවිකාවකට ගෙහිමියා ගේ පමණක් නො ව ඔහුගේ තරුණ පුතුන්ගේ ද ලිංගික ආශාවන් සන්තර්පණය කිරීමට සිදු වන්නට පුළුවන. මේවා ගැන නැවත සිතා බැලිය යුතු තැනට අප පැමිණ තිබේ.
රිසානා ගේ අවාසනාවන්ත ඉරණම වෙනත් දරුවකුට සිදු නො වීමට වග බලා ගැනීම අප ගේ ඊළඟ වගකීම හා යුතුකම වේ. එක අතකින් මේ සිදුවීමට අදාළ වරදකරුවන් ගැන නැවත – නැවත සමාලෝචනය කළ යුතු ය. ඒ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කළ යුතු ය. ඒ සමඟ සෞදි රජයෙන් ද විමැසිය යුත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ගේ ඉල්ලීමට වත් කන් නො දීමට තරම් ඔවුන් සාහසික වූයේ මන් ද යන්න ගැන ය.





රිසානාගේ නිවෙස




රිසානාගේ මව පියා

මෙම සටහන අද දිනමිණ පුවත් පතේ කතු වැකියයි

25 comments:

  1. එක අතකට ගෑණු රට යවන ක්‍රමය වැරැදියි.. ඒකේ තියෙන්නේ ඔය ගිහින් වෙන කරදර විතරක් නෙවෙයි.. අම්මා නැති දරුවෝ මේ රටේ විඳින කරදරත් ඕක ඇතුලේ තියෙනවා... අනිත් අතට මේ දෙමවුපියෝ වැරදියි... කන්න බොන්න නැති කමත් අස්සේ දරුවෝ මෙචච්ර තොගයක් හදාගත්ත නොදැනුවත්කම එක්කම මේ ළමයව මේ විදියට රට යවන්න ගත්ත තීරණයත් එක්කම...

    ඒජන්සිකාරයෝ රිංගන්නේ නීතියේ හිල් වලින්.. මමත් දැකලා තියෙනවා උප්පැන්න සහතික වෙනස් කරන හැටි වයස වෙනස් කරන්න.. එහෙම කරලා එක දවසෙන් පාස්පෝට් හදනවා ඒජන්සිකාරයෝ... ඒක නිසා මෙතන එක වැරැද්දක් නෙවෙයි තියෙන්නේ...

    කො‌ෙහාම උනත් හොඳට ඉගෙනගෙන ටීචින්, නර්සිං වගේ රස්සාවලට ඇරෙන්න ගෘහසේවිකා රස්සාවලට පිටරටට ගෑණු යවන එක නවතතන්න ඕ‌ෙන් කියන එක තමයි මගෙත් අදහස...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++

      Delete
    2. මමත් කියන්නේ මේ ටිකමයි . රටක් විදිහට වගකියන්න ඕන . නමුත් මේ අම්ම තාත්ත වැරදියි . පවුලට කන්න නැත්නම් සේරම එකට මැරෙන එක නේද සැප අසරණ කෙල්ල විකුනන්න කලින් . නුගත් කම දුප්පත්කම කියල අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ වගකීම නැති වෙන්නේ නැහැ දරුවෙක් ගැන .


      Delete
    3. ඇත්තටම කන්න බොන්නවත් නැති පවුල්වල ළමයි ගොඩක් හදාගන්නේ මොකද කියන කාරණයත් හිතන්න ඕන දෙයක් තමා. නොදැනුවත් කමද නොසැලකිල්ලද

      Delete
  2. රිසානා සොයුරිය.. ඔබ නමින් කඳුලක් හෙළමි... දුප්පතුන්ට සාධාරණයක් ඉටු වන සමාජයක් වෙනුවෙන් මට කළ හැකි උපරිමය ඉටු කිරීමට සිතට ගනිමි... ඔබේ බෙල්ල කපා දැමීමට සෞදි රජයට මග පාදා දුන්නේ අපම නොවේද?

    ReplyDelete
  3. ගෘහ සේවිකාවන් රට යැවීම සපුරා තහනම් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. කෙනෙක් ගෘහ සේවිකාවන් හැටියට යන්නෙ නැති බැරි කම් නිසයි සුමිත්. ඒත් අපේ රටෙන් ගෘහ සේවිකාවන් යවද්දී දෙරටේම ක්‍රියාත්මක කරන එක නීති රාමුවකට එකඟ වෙලා යැව්වා නම්. දැන් ඉතාලිය වගේ රටවලට ගිහිනුත් බොහෝ දෙනෙක් වැඩ කරන්නෙ ගෘහ සේවිකාවන් හැටියට. ඒත් එක නීති රීති මාලාවක් උඩ. නියමිත පැය ගණනකට. සතියකට එක දවසක් විවේකය වගේ දේවල්වත්. මම හිතෙන්නෙ මේ වගේ දේවල් වෙන්නෙ මුස්ලිම් රටවල විතරයි. එකක් උන් මුස්ලිම් හැත්ත නිසා. හරකුන්ගෙන් වගේ අපේ ගැහැණුන්ගෙන් වැඩ ගන්නවා.

      අපේ ලොකු පුටුවල ඉන්න උන්ටත් මේ වගේ දුප්පත් මිනිස්සු ගැන හොයන්න වෙලාවක් නෑනේ.

      Delete
    2. ළිහිණි මේ නරුම ගති මුන්ගේ ආගමෙන්ම ආපු දෙයක්. උන්ගෙම එකාට මෙහෙම නම් වෙන ආගමක අයට කොහොම වෙයිද? මට ගොඩක් කොටන්න බැ මෙතැන මම ගෙදර යන ගමන්

      Delete
    3. ශිෂ්ට මිනිස්සු ඉන්න රටකටනම් ගැටළුවක් නෑ. ඒත් මුස්ලිම් රටවල්වටනම් එපා,

      අපේ ගමෙත් තරුණයෙක්, ගිහින් සති දෙකකින් පොල්ලකින් ගහල මරලා තිබුණා. මරණයට හේතුවක් නෑ. තවත් තරුණියක් රෙසට්ටුරන්ට් එකකදි මරාදාලා තිබුණා එයා ගෘහසේවිකාවක් නෙවෙයි.මරණයට හේතුවක් නෑ, වන්දිත් නෑ.
      හැමෝම රිසානා ගැන කතා කළාට සාමාන්‍යයෙන් අවුරුද්දකට සැලකිය යුතු ලාංකිකයො පිරිසක් අරාබි රටවල්වලදි මරණවා.ඒ හැම මිනීමැරුමක්ම අපරිමිත දයාවන්ත වූ ද කරුණාවන්ත වූ ද අල්ලාහඃගේ ශුද්ධ වූ නාමයෙන් කෙරෙන මිනීමැරුම්....

      Delete
    4. අර බුදුන් වැන්දා කියල මරණ දඬුවම ලැබිච්ච කෙනාට වෙච්ච දෙයක් දන්නවද?

      Delete
  4. මසුරං පෝස්ටුවක් නලින් අයියෙ...මේකෙ තියෙන හැමදේටම මම එකගයි... ඇමරිකාව සම්බාධක දාන්න ඕනෙ මේ වගේ තුජ්ජ විදියට නීතිය ක්‍රියාත්මක කරන, මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරන, මිනිසත්කමේ අගය නොහදුනන මෙවැනි රට වලට...කාන්තාවක් රට යවලා අතරමැදියා උපයන කොමිස් කුට්ටිය නැති වෙන දවසකට තමයි මේ ඛේදවාචකයෙන් අපේ රට ගැලවෙන්නෙ...

    ReplyDelete
  5. ඔබ වෙනුවෙන් ගලන කදුළු නිමක් නැත.
    .

    ReplyDelete
  6. ආරබිකරයට මෙන්ම ආසියාතික රටවලටත් අපේ කාන්තාවන් සේවයට යවන එකට නම් මාත් හරිම විරුද්ධයි. මේ නිසා අනාත වන දරුවන් හා කඩා වැටෙන පවුල් කොතරම් ද? සොයුරිය ඔබ සමාදානයේ සැතපේවා!

    ReplyDelete
  7. විදේශ විනිමය වගේ දෙතුන්ගුනයක් අපේ රටට ප්‍රශ්න මේවා ගැන හොයන්න ඉන්න ඇමැතිටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. බෙලි කපන එක ශේෂ්ටයි කියන ජාතියක් එක්ක ප්‍රශ්න කතා කරලා විසඳන්න බැහැ..

    ReplyDelete
  8. නීතිය කියන දේ කොයි රටටත් එක විදිහට සලකන හොඳ නීතිගරුක රටකට හැර මෙවැනි රටවලට කාන්තාවන් සේවයට යැවීම සුදුසු නැහැ කියල තමයි මගේ අදහස ..නැත්නම් අනිවාර්යෙන්ම නීති ගිවිසුමකට අදාළ විය යුතුයි .

    ReplyDelete
    Replies
    1. තමන්ට ඕන විදිහට නීතිය අර්ථකථනය කරන රටක පුරවැසියන්ට වෙනත් රටවලදී අත්වන ශෝකජනක ඉරණමක්.

      Delete
  9. අපේ එක්කෙනා මෙහේට ලොකු උනාට කවුරුත් ගනන් ගන්නෙ නෑ...

    ReplyDelete
  10. මරණ දඬුවම සාධාරණ වූවත් මැරෙන කෙනාටත් අයිතීන් තියෙන්න ඕන.. ඒව ගැන නොසලකන මොන නීතියක වුණත් අසාධාරණයි...

    ReplyDelete
  11. තුහ් නොදකින් !! මේ වගේ රටවල්..අර නලීන් අයියා කිව්වා වගේ උන්ගෙම ආගමේ උන්ට මෙහෙම නම් අනිත් උන්ට කවර කතාද....ශික්

    ReplyDelete
  12. කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ... අනික දැං මොනව කිව්වත් වැඩක් නෑ

    ReplyDelete
  13. රිසානා
    කියන් මට
    සුළගක්ව නුඹ ඇවිත්
    අවසන් තප්පර කීපයේ
    නුඹ හදවතට දැණුනු සිතුවිලි...
    බුදුන් තෙවරක් වැඩි
    ඒ පින්වත් භූමියේ යලි ඉපදෙන්න පැතුවාද ?
    නබී පා සහස ලද
    නුඹගේ දිවිගත් ඒ භූමිය තුලම ඉපදෙන්න පැතුවාද ?
    සිහින පොදි බැද පැමිණ
    ගොඩ ගන්න බලා සිටි
    පවුල ගැන සිතුවාද ?
    කඩු අමෝරා ගෙන
    නුඹේ ගෙල සිද ලන්න
    ලගට එන ගසලයා ගැන සිතුනේද ?
    ජාතියද , ජන්මයද , ආගමද එකක් උව
    පංතියෙන් එක නොවන
    ජාතියද , ජන්මයද , ආගමද වෙනස් වී
    එකම පංතියෙ බව හැදින
    ගැහෙන , වැලපෙන , හඩන
    සෝ තැවුල් දැණුනේද ?

    අජිත් දසනායක Ajith Dasanayaka

    ReplyDelete
  14. හරිම අමානුශිකයි

    ReplyDelete
  15. මේවානම් හෙන ගහන අපරාද අයියේ...නේද....?

    ReplyDelete
  16. බෙල්ල කපන්න එල්ලන්න සුදුසු නහුතයක් අතර ඉදිරියෙන්ම ඉන්නේ රිසානාද?රිසානාගේ මරණයට කදුලක් හෙලන අතර කාන්තාවන් රට යැවීම සපුරා තහනම් කල යුතුයි.නමුත් ඔවුන් එවන ඩොලර් ලක්ෂ හැටෙන්ලුනෙ අපි ජීවත් වෙන්නෙ.එහෙමනම් අපි කෝටි දෙකම මේ අපරාධයට වග කිව යුතුයි.වරද අපේ අපි කාන්තාවන් රට යවන එක.මොන හේතුව වුනත් අපි සේරම වැරදිකාරයො.මැදපෙරදිග හැර වෙනත් රටවලට යවනවානම් ලොකු ප්‍රශ්න නැතිවේවි.මොකද මැදපෙරදිග මිනිස්සු ලංකාව ගැන හිතන්නෙ කලු වහලුන්ගෙ රටක් කියල.මේ චින්තනය අති භයානකයි

    ReplyDelete
  17. බෙල්ල කපන්න එල්ලන්න සුදුසු නහුතයක් අතර ඉදිරියෙන්ම ඉන්නේ රිසානාද?රිසානාගේ මරණයට කදුලක් හෙලන අතර කාන්තාවන් රට යැවීම සපුරා තහනම් කල යුතුයි.නමුත් ඔවුන් එවන ඩොලර් ලක්ෂ හැටෙන්ලුනෙ අපි ජීවත් වෙන්නෙ.එහෙමනම් අපි කෝටි දෙකම මේ අපරාධයට වග කිව යුතුයි.වරද අපේ අපි කාන්තාවන් රට යවන එක.මොන හේතුව වුනත් අපි සේරම වැරදිකාරයො.මැදපෙරදිග හැර වෙනත් රටවලට යවනවානම් ලොකු ප්‍රශ්න නැතිවේවි.මොකද මැදපෙරදිග මිනිස්සු ලංකාව ගැන හිතන්නෙ කලු වහලුන්ගෙ රටක් කියල.මේ චින්තනය අති භයානකයි

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT