සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගාල්ල, ඇතිළිගොඩ, බන්දුගොඩ වත්තේ පදිංචි ජයසේකර මොහොට්ටිගේ ජානක කා අතරත් ප්‍රසිද්ධව සිටියේ පොළේ දෙහි විකුණන කළු මල්ලී ලෙසිණි.

එළවළු වෙළෙන්දකු වූ හෙතෙම වැඩි පුරම දෙහි වෙළඳාමට නැඹුරුවීමත් කාල වර්ණ සමත් හේතුවෙන් ඔහුට මේ නම පටබැඳී තිබිණි.



තිස් හැවිරිදි ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. දියණිය පස් හැවිරිදිය. බිරිය දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් සිටින්නීය. දියණිය හිරුණි මධුෂිකාගේ පස් වැනි උපන්දිනය යෙදි තිබුණේ පසුගිය තුන්වැනි දාය. දියණියට පණ මෙන් ආදරය කරනා ජානක ඇයගේ උපන්දිනය දා පොළේ වෙළෙඳාමට පවා නොගොස් නිවෙසෙහි නතර විය. ඒ...ඇයගේ උපන් දින සතුට ළඟම හිතමිතුරන් හා එක්ව බෙදා ගැනීමටය.

ජානකට හොඳම මිතුරන් තිදෙනෙකි. දහ අට හැවිරිදි මලිත් මධුශංඛ උඩහ ගෙදර පදිංචි පවුලේ එකම දරුවාය. පහළ ගෙදර පදිංචි පුෂ්ප කුමාර නාවික හමුදා සේවයේ නියුතු විසි හතර හැවිරිදි තරුණයෙකි. අනෙක් මිතුරා අමිල නිශාන්ත තිස්පස් හැවිරිදිය. ඔහු පදිංචි වී සිටියේ මේ තිදෙනාගේ ගමට නොදුරිනි. ත්‍රිරෝද රථ රියැදුරකු වූ ඔහු විවාහකයෙකි. එක් දරු පියකු වන අතර බිරිය විදෙස් ගතව රැකියාවක නිරතව සිටී.

මේ තිදෙනාම එදා...තුන්වැනිදා උදේ වරුවේ ජානකගේ නිවෙසට පැමිණියේ ජානකගේ ආරාධනය මතය. දියණියගේ උපන්දිනය මහ ඉහළින් සමරන්න ජානක අත මුදල් හදල් නැත. ඒත්... හැකි අයුරින් විශේෂිත ආහාර පාන සැකසීමට ජානකගේ බිරිය වගබලා ගත්තාය. ගැබිණියක වන ඇයට ඉවුම් පිහුම් තනිව කළ නොහැකිය. ජානකගේ අත් උදව්වෙන් ඇය සකස් කළ දිවා ආහාර වේල රස බැලූ මිතුරෝ සතුටු සාමීචියේ යෙදෙමින් දවස ගෙවා දැමූහ.

දියණියගේ උපන්දිනයට කේක් එකක් පිළියෙළ කිරීමට ද ජානකගේ බිරිය දීපිකා අමතක නොකළාය. කේක් කපා උපන්දින සැමරුම යොදාගෙන තිබුණේ සවස් යාමයටයි.

ජානකට පොලිසියේ යාළුවෙක් සිටී. ඔහු විටෙක ජීප් රථයෙන් ජානක හමුවීමට නිවෙසට පැමිණෙන බවත් දීපිකා පවසන්නීය. ගෙදරට එන විට බෝතලයක් හා කට ගැස්ම ද රැගෙන එන ඔහු දීපිකාට කියා ඒවා සාදවාගෙන ජානක හා එක්ව මධු සාද පවත්වන අවස්ථා බොහෝ වූ බවද ඇය කියන්නීය.
එදා...හිරුණිගේ උපන්දිනය දා ජානක ඇතුළු මිතුරන් සිව්දෙනා සවස හයට පමණ එක්වරම අතුරුදන්විය. ඊට ටික වේලාවකට පසු මේ සිව්දෙනාම යළි නිවෙසට ආවේ විහිළු තහළුවෙන් සතුටින් සිනා නඟමිණි.
මීට දින කිහිපයකට කළින් සමන් කුමාර සෙනවිරත්න ගාල්ල ඩික්සන් වීදියේදී ඝාතනය කෙරිණි. ඒ කාලයක සිට පැවත එන දංගෙදර හා බංගාලියද්ද කණ්ඩායම් අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට සතියක් ඉක්ම ගිය පසු ඝාතනය කළ මළසිරුරු හතරක් පෝද්දලින් හමුවිය. එම සිව්පුද්ගල ඝාතනය ද දංගෙදර - බංගාලියද්ද කණ්ඩායම් ගැටුමේ තවත් ප්‍රතිඵලයක් ලෙස සැළකූ පොලිසිය දංගෙදර පවුලේ පුත්‍රයකු ඇතුළු සිවිදෙනකු අත්අඩංගුවට ගත්තේය. එහෙත්.... ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන්ව මුදා හැරියේ ඔවුන් ඊට සම්බන්ධ නැති බව පවසමින්ය.
“මහත්තයා ආවා. එයාගේ ජීප් එකේ රවුමක් ගියා...හරි..දැන් බර්ත් ඩේ කේක් එක කපමු”. ජානක දීපිකා අමතා කියා සිටියේය. උපන්දින කේක් ගෙඩිය කපා කේක් කා තේ බිවු සියල්ලෝ යළි සතුටු සාමීචියට වැටුණේ මධු විතක් තොළ ගෑමටද බලාපොරොත්තු ඇතිවය.

මිතුරන් සිව්දෙනා ද දීපිකා හා දියණිය ද සාලයේ වාඩි වී කතා බහේ යෙදෙමින් සිටී. වේලාව රාත්‍රී අටට පමණ වන්නට ඇත. ජානකගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. දුරකථනයේ තිරයේ වැටුණු අංකය දෙස බැලූ ඔහු කියා සිටියේ “අර මහත්තයා කතා කරන්නේ” ලෙසිණි. එසේ කී ජානක ඇමතුම ගත්තේය. මහත්තයා කියනා දෙය ජංගම දුරකථනය හරහා අවට සිටි අයටද ඇසිණි.

“එයාට ඒ මහත්තයා කතා කරලා කිව්වා බෝතලයක් ගහමු කියලා. මගේ මහත්තයා කිව්වා අපේ ගෙදරට එන්න කියලා. ඒපාර ඒ මහත්තයා කිව්වා ගෙදර නෙවෙයි වැල්ලට ගිහින් ගහමු මම නාලා ලෑස්තිවෙල එන්නම් රෑ නවය වෙද්දී නේවි කෑම්ප් එක ළඟට ඇව්ත් ඉන්න කියලා.”

“ඒ මහත්තයා එක්ක බොන්න ගියාම හරියට වෙලා යනවා. කට්ටිය කතා වුණා දැන් බොන්න ගියොත් රෑ එකොළහ දොළහවත් වෙයි කියලා. කට්ටිය අමිලගේ ත්‍රීවීල් එකේ නැගලා ගියේ ටිකක් අකමැත්තෙන්...”

“එයාලා ගියාට පස්සේ මම කෝල් කරන්න ගියේ නෑ. කට්ටිය බීලා රෑ වෙලා එයි කියලා මම නිදාගත්තා. ඒත්...එයා ආවේ නෑ...උදේ ආවෙත් නෑ. කෝල් කරලා බැලුවට ෆෝන් එක වැඩ කළේත් නෑ. පස්සේ තමයි ආරංචි වුණේ පෝද්දල හතර දෙනකුට වෙඩි තියලා මරලා දාලා තියෙනවා කියලා. බලද්දී...ඒ මගේ මහත්තයයි යාළුවෝ තුන් දෙනයි.”

“හැම තැනම කට්ටිය කියන්නේ එයාලා පාතාලේ කට්ටිය කියලා. පාතාලේ නම් එයාට සල්ලි තියෙන්න ඕනි. එයාට සල්ලි තියෙනවද? කොහේ හරි පොලිසියක එයාලට විරුද්ධව පැමිණිලි තියෙනවද? අර උඩහ ගෙදර අවුරුදු දහ අටේ පොඩි කොල්ලා මොනවද දන්නේ...? නේවි එකේ මල්ලිත් පාතාලෙද...?අනේ මේ අහිංසකයෝ මැරුවේ ඇයි? මම දැනගෙන හිටියේ එයාලා ගියේ අර මහත්තයා එන්න කියපු නිසා කියලා. ඒත්...අන්තිමට ඒ මහත්තයා කියනවා එයා “ජානකට කෝල් කළේ නැහැ කියලා.”

ජානකලා එදා රෑ මහත්තයගේ ජීප් එකේ නැගලා යනවා දැකපු කට්ටියත් ඉන්නවා. එයාලා ගිය ත්‍රීවීල් එකත් ජාකොටුව වැල්ලේ තිබිලා පොලිසියට හම්බවෙලා තිබුණා. ඒ කියන්නේ මෙයාලා මහත්තයාත් එක්ක වැල්ලට ගිහින් තියෙනවානේ...”

“ඒත් මෙයාලා මැරුවට සැකපිට හතර දෙනෙක් අල්ලලා තියෙනවලු. ඒ කට්ටියනම් කවුද කියලා අපි දන්නේ නෑ. “ බිරිය දීපිකා පවසන්නීය.

පසුගිය තුන් වැනිදා රාත්‍රී අටහමාරට පමණ ජානකගේ නිවෙසින් පිටව ගිය මිතුරන් සිව්දෙනාගේ වෙඩි වැදුණු මළ සිරුරු හමුවූණේ ඊට පසුදා උදෑසනයි. ඒ පෝද්දල පොලිස් වසමේ වල්පිට වත්තේ මහසෝන් බෝක්කුව අසල දමා තිබියදීය. සිව්දෙනාගේම දෑත් පිටුපසට කර බැඳ දමා පාද ද ගැටගසා තිබිණි. දෙඇස් ද රෙදි පටිවලින් ගැටගසා තිබුණු අතර සිව් දෙනාම ඝාතනය කර තිබුණේ වෙඩි තැබීමෙනි. සිව්දෙනාගේම හිසට වෙඩි තබා ඇති බව කියති. මුහුණු තලා දමා ඇති බවද මොවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් පවසන අතර එක් අයකුගේ දත් ගැලවී ගොස් තිබූ බවද සිව්දෙනාගේම මුහුණු විරූපීව තිබූ බවද කියයි.

මියගිය සිව්දෙනා අතර වූ නාවික හමුදාභට පුෂ්පකුමාර දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව වේග ප්‍රහාරක යාත්‍රාවක යාත්ත්‍රික නැවියකු ලෙස සේවය කරමින් සිටියේය. විසිහතර වැනි වියේ පසුවූ ඔහු අවිවාහකයකි. පියා මිය ගොසිණි. මව හා මල්ලී රැකබලා ගැනීමේ වගකීම ද පැවරී තිබුණේ ඔහුටයි. මල්ලී තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටී. මේ තිදෙනා ජීවත් වන නිවෙස ඉතා කුඩා යාන්තමට සෑදු නිවෙසකි. නව නිවෙසක සිහින දකිමින් ලස්සන අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු රැසක් පොදි බැඳ සිටි ඔහු ආන්දෝලනාත්මක සිව් මිනිස් ඝාතනයක එක් සාමාජිකයකු වී අකාලයේ මිය යෑමට සිදු වූයේ කුමන හේතුවක් නිසාදැයි කිසිවකු දන්නේ නැත.

ඝාතනයට ලක්වූ මලිත් මධුශංඛ තවමත් දහඅට වැනි වියේ පසුවන තරුණයෙකි. පවුලේ එකම දරුවාය. ඔහු අධ්‍යාපනය ලබමින් සිටි බව මවුපියෝ පවසති. මෙතරම් ලාබාල වයසේ පසුවන දරුවකු මෙලෙස වෙඩි තබා මරා දැමුවේ කවුරුන්ද....? කුමන හේතුවක් නිසාදැයි ඔවුහු විමසා සිටිති.

ඝාතනය වූ සිව්දෙනා අතර වූ වැඩිමහල් පුද්ගලයා අමිල නිශාන්තය. තිස් පස් හැවිරිදි ඔහු කලක් වඩුවකු ලෙස ජීවිකාව ගෙනගිය අතර පසුව ත්‍රීරෝද රථයක් මිලදී ගත්තේය. ත්‍රීරෝද රථයේ හයර් යමින් මුදලක් උපයාගත් හෙතෙම ඉතා අමාරුවෙන් සිය දරු පවුල නඩත්තු කළේය. ආර්ථික අගහිඟ කම්වල අවසානයක් නොවූ බැවින් ඔහුගේ බිරිය විදෙස් රටක බැලමෙහෙවරට ගියේ හත් හැවිරිදි දරුවා අමිල භාරයේ රඳවා තබාය. එහෙත්...ඔහුද සිව් මිනිස් ඝාතනයේ එක් ගොදුරක් විය.

ඝාතනය වූ සිව් මිතුරන්ගෙන් අමිල හැර අනෙක් තිදෙනාම පසුගිය හය වැනි අඟහරුවාදා සවස අවසන් ගමන් ගියහ. මේ තිදෙනාම අසල්වැසි නිවෙස්වල පදිංචිකරුවෝ වු අතර තිදෙනාම එකම අවමංගල පෙරහරකින් අවසන් ගමන් ගියහ.

අමිලගේ අවසන් කටයුතු කල් දැමුණේ විදෙස් ගතව සිටින බිරිය මෙරටට පැමිණෙන තුරුය. ඔහු ඊට දිනකට පසු අවසන් ගමන් ගියේ ඇයගේ දුක් අඳෙීනා විලාප හඬ මධ්‍යයේය.

මියගිය සිව්දෙනා අතරින් ජානක නොහොත් කළු මල්ලී අහිමිවීමෙන් ඔහුගේ බිරිය දීපිකා හා දුව හිරුණී බොහෝ අසරණව සිටී. ජානකගේ නමට ලියූ ඔප්පුවක් සහිත ඉඩමක් නිවෙසක් ඇතත් නිවෙස තවමත් භාගයක්වත් ඉදිකර නැත. පස්මස් ගැබිණියක වන දීපිකා අපැහැදිලි අනාගතයක අඳුරු මඟ සටහන් ඔස්සේ දිගු ගමනක් යාමට සැරසී සිටින්නීය.

මෙම සිව් මිනිස් ඝාතනය ගාල්ලේ දංගෙදර පවුල හා බංගාලියද්ද කණ්ඩායම් අතර පවතින දීර්ඝ කාලීන වෛරයේ තවත් එක් ප්‍රතිඵලයක් බව පොලිසිය කියයි. දංගෙදර සමන් කුමාර සෙනෙවිරත්න ඝාතනයට පළිගැනීමක් ලෙස මේ සිව්දෙනා ඝාතනය කරන්නට ඇතැයි සැකකරනා පොලිසිය සමන් කුමාරගේ එකම පුත්‍රයා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් නමුත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරියේය. කෙසේ වෙතත් දංගෙදර පවුලේ සමන් කුමාරගේ ළඟම ඥාතීන් පවසන්නේ සමන් කුමාර ඝාතනය කිරීමට පැමිණි පිරිස අතර මේ ඝාතනය වූ සිව්දෙනාගෙන් එක් අයකු හෝ සිටි බවට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. මේ අතර වරෙන්තුකරුවකුව සිටි පුද්ගලයකු හදිසියේම අධිකරණයට භාර වී තිබේ. ඒ...වෙනත් නඩුවකට වරෙන්තුකොට තිබීම හේතුවෙනි. මොහු හදිසියේම අධිකරණයට භාරවීමට හේතුව කුමක්ද? යන්නද පොලිසිය සොයා බලයි.

කෙසේ වෙතත් දංගෙදර හා බංගාලියද්ද කණ්ඩායම් අතර ආරවුලේ ආරම්භය ඇති වන්නේ මීට වසර හත අටකට ඉහතදී අවමංගල්‍ය උත්සවයකදී සූදු පොළක ඇති වූ කතා බහකිනි. මේ කතා බහ දුරදිග ගොස් ජන්මාන්තර වෛරයක් බවට පත්වූ අතර දෙපාර්ශවයේ එකිනෙකා මරා ගැනීම් දක්වාම මෙම ආරවුල දුරදිග ගියේය. ඉන් මුල් ඝාතනය වාර්තා වන්නේ 2008 වසරේදීය. එහිදී ඝාතනය වූයේ බංගාලියද්ද කණ්ඩායමේ අයෙකි. ඉන් අනතුරුව දිගටම පහරදීම්, වෙඩි තැබීම්, ඇසිඩ් ගැසීම්, අතපය කපා දැමීම් බොහී අපරාධ දෙපාර්ශවය අතර සිදුවිය. මේ වන විට බංගාලියද්ද පාර්ශවයේ දෙදෙනකු මිය ගොසින් තිදෙනකු බරපතල තුවාල ලබා සිටී. දංගෙදර කණ්ඩායමේ සිව් දෙනකු මිය ගොස් එක් අයකු බරපතල තුවාල ලබා තිබේ.

මේ මිනිස් ඝාතන හා අපරාධ සියල්ලටම සැකකෙරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදා හැර ඇත.

අවසන් වශයෙන් ඝාතනය වූ සිව්දෙනා ද මේ දෙපාර්ශවයේ ගැටුමේ ප්‍රතිඵලයක් බව පොලිසියේ අදහසයි. එහෙත්...මේ තොරතුරු හොඳින් දන්නා බොහෝ දෙනකුගේ අදහස වන්නේ මේ සිව් පුද්ගල ඝාතනය අබිරහසක් බවයි.

ඝාතනයට ලක්වූ දෙපිරිසේ ඉතිරි පුද්ගලයන් හා ඥාතීන් තුළ ඇත්තේ බිය සැක සංකා පමණි. කොයි මොහොතක කවුරුන් විසින් කවුරුන් මරා දමාවිදැයි යන සැකය ඔවුන්ගේ සිත්හි ගැබ්වී තිබේ. හැකි ඉක්මණින් මෙම ඝාතන රැල්ල පාලනය කිරීම පොලිසියේ හා ආරක්ෂක අංශවලද වගකීම බව ප්‍රදේශවාසීහු පවසති.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස්මත පෝද්දල පොලිසිය පරීක්ෂණවල නිරතවී සිටී.

තක්ෂිලා ජයසේකර
මාංචු අතිරේකයෙන්

10 comments:

  1. අෆ්ෆා .., මර මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. වෙනසක් කළා හොඳද නරකද කියන්න මලයා.

      Delete
  2. මිනිස්සු ඇයි මේ තරම් කෘර? මට නම් හිතන්න බැහැ ඇයි මෙහෙම දේවල් වෙන්නේ. කවදා හරි අපි හැමෝම මේවා දාල යන්න ඉන්න අය. ඇයි එහෙනම් තව කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්නේ?

    ReplyDelete
    Replies
    1. පාතාල බල අරගලය තමා හේතුව

      Delete
  3. මහා පොලව නුහුලන අපරාද කියනෙන් මේවට තමයි මොනවා උනත් මිනිස් ජීවිත

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෝරලේ මහත්තයා....

      Delete
  4. මේවායේ අවසානය කොතැනද ??

    ReplyDelete
    Replies
    1. දෙයියො දනී අප නොදනි මලයා

      Delete
  5. වෙනස හොඳයි,. ඇත්තෙන්ම ලංකාවේ අද තත්වය යුද්ධේ තිබ්බ කාලෙට වඩා වෙනස්. අද මාධ්‍ය කිසිම පාලනයකින් තොරව මරණ දැන්වීම් කියවන්නත් ම්ලේච්ජ මිනීමැරුම් ගැන දසුන් පෙන්වන්නත් තියන තැනක් වෙලා. ලංකාවේ නිවුස් බලන එක මම නම් නවත්තලා. මට නම් පෙනෙන්නේ මේ ප්‍රවනතාව හොඳ දෙයක් නෙවෙයි. හැමදාම ඝාතන. ලංකාව ගැන මිනිස්සු හිතන්නේ පුංචි චිකාගෝවක් විදියට. මේ අපරාධ රැල්ල එදත් තිබ්බා නමුත් මෙහෙම නෑ. මේක නවත්තන්න පියවරක් ගත්තේ නැත්තං ලංකාවට මොකක් වෙයිද දන්නෙත් නෑ.

    ReplyDelete
  6. අපරාධ කරුවනුත් නවිකරණය වෙලා මලේ..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT