රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2012-08-29

"සර්පයාගේ දියණියත්" පොත් ගෙඩියක් විතරයි-අමරෙගේ පොත් විචාර-2



කලාවෙහි එක් අර්ථයක් වන්නේ ජීවය ගැනත් ඒ අවට පරිසරය හෙවත් විශ්වය ගැනත් අතිශය සුන්දර පුදුමයන් නිරූපණය කිරීම ය. පුදුමය හෙවත් විස්මය ඔස්සේ විවිධ රස ජනනය වේ.

යථාර්ථ ගවේෂණය යනු ද විස්මය සොයා යන එක් මාර්ගයෙකි. නුතන නවකතාව දෙස බැලුවහොත් එහි කලාත්මක මාර්ගය වන්නේ මිනිස් ජීවිතය පිළිබඳ ආශ්චර්යය පළකිරීම ය. එය ශෝකයක් විය හැකි ය. ප්‍රහර්ෂයක් විය හැකි ය.


කුමක් වුව අවසන් ප්‍රතිඵලය වන්නේ මිනිස් ජීවිත පිළිබඳ සාමාන්‍ය මිනිසා නො දත් හා අත් නොදුටු අනුභූතියක් ඉදිරිපත් වීම ය. ඒ මගින් විස්මය පළ වීමය. නවකතාවක සාර්ථක - අසාර්ථකභාවය නිශ්චය කළ හැකි එක් මාර්ගයක් ලෙස අප මුලින් සඳහන් කළ විස්මය හෙවත් අපූර්වත්වය පෙන්වා දිය හැකි ය.

එක තැන පල්වෙන හා මෙතෙක් ජීවිතයේ අත් දුටු අනුභූතීන් නැවත - නැවත පෙර පරිදිම නිරූපණය කිරීම සාර්ථක නවකතාකරුවකුගේ මාර්ගය නො වේ. සිංහල නවකතා ව දෙස බලන විට එය එක තැන පල්වෙයි. එක ම අත්දැකීම් පෙර පරිදි ම යළි - යළි ඉදිරිපත් වෙයි. වෙනසකට ඇත්තේ කර්තෘගේ නම වෙනස් වීම පමණි.

දීර්ඝ කාලයක සිට මන්දනයට ලක් ව ඇති සිංහල නවකතාවට කදිම නිදසුනක් ලෙස “සර්පයාගේ දියණිය” නම් පොත් ගෙඩිය හඳුන්වා දිය හැකි ය. එය පාඨකයා අතිශය වෙහෙසකට පත් කරවනසුලු හිස් ප්‍රබන්ධයෙකි. උපේක්ෂා නුවන්ශ්‍රීනි නම් කතුවරිය මේ පොත් ගෙඩිය ආරම්භ කරනුයේ දොස්තොවුස්කි සේ ජීවිතයට බරක් හා විස්මයක් එක් කරමින් ය.

එතැන් සිට මේ කතාව ගලා යන්නේ අනවශ්‍ය විස්තර වර්ණනා, පඬි වදන් හා කතාවට නො ගැළපෙන චරිතයන් ද ඒකරාශී කරමින් ය. මේ කතුවරිය ට ඉලක්කයක් නැත. ජීවිතය පිළිබඳ දර්ශනයක් නැත. විශාල සිදුවීම් ප්‍රමාණයක් එල්ලයකින් තොර ව ඉබාගාතේ විස්තර කිරීම පමණක් කතුවරිය අතින් සිදු වී තිබේ.

මේධා මේ නවකතාවේ ප්‍රධාන චරිතය යි. ඇගේ ආත්ම කථනයක් ලෙස හා අතීතා’වර්ජනයක් ලෙස ද කතා විකාශය සිදු වේ. මේධාගේ පියා පහතරට ය. අම්මා උඩරට ය. මේධාගේ සැබෑ පියා කවුරුන්දැ’යි සංකේත පියා දන්නේ නැත. විවාහයෙන් මාස හයකට පසු දරුවා බිහි වන බැවිනි. කතුවරිය විසින් මව ද පියා ද හිටි හැටියේ අතුරුදන් කරනු ලැබේ. ඒ මේධා හුදෙකලා කිරීම සඳහා ය.

කතුවරිය නවකතාවක බාල ම සූත්‍රය භාවිත කරමින් පියා මරණයට පත් කරන්නී ය. මව ද මරණයට පත් කරන්නී ය. ඊළඟට සුනාමියක්, අසරණ සරණ නිවාසයක්, දේශපාලන ව්‍යාපාරයක් මුල් කර ගනිමින් කතාව ඉදිරියට ඇදේ. මේධා යනු මේ ලෝකයේ ගැහැනියක නම්; විය නොහැකි ය. ඇය අක්මුල් නැති චරිතයකි. ඇයගේ ජීවිතයට හේතු - ප්‍රත්‍යයන් නැත.

ඇයගේ අධ්‍යාපනය, පත්තර කලාව, කවීත්වය ආකස්මිකව පහළ වූ අද්භූත ප්‍රපංචයන් ය. මේධාගේ චරිතය ඔස්සේ කියැවෙන්නේ කතුවරියගේ අතාර්කික හිතලු යැයි පිළිගන්නට පුළුවන. කතුවරිය නිතර - නිතර සිහියට නඟන එක් අත්දැකීමක් වන්නේ පිරිමියකු සමඟ යහන් ගත වීමෙන් බෙල්ලේ මතු වන ලපය යි. එය කතුවරියගේ විශේෂ අත්දැකීමක් විය හැකි’මුත් පාඨකයා ඉන් විස්මයට පත් වන්නේ නැත. පාඨකයාට ඉන් ලැබෙන රසයකුත් නැත.

“සර්පයාගේ දියණිය” නවකතාව මෙවර “ස්වර්ණ පුස්තක” සම්මාන උළෙලෙහි දෙවන වටය සඳහා ද නිර්දේශිත වී තිබුණේ වුව; එම ප්‍රබන්ධයෙන් ප්‍රකට වන ප්‍රධාන දුර්වලතා පහක් තිබේ.

(i) සියුම් හෝ සංකීර්ණ චරිත නිරූපණය වෙනුවට අනවශ්‍ය විස්තරවලින් චරිත විස්ථාපනය කිරීම.
(ii) ධාරණාවක් නොවීම හෙවත් අරමුණකින් තොරව ඉබාගාතේ කතාවක් කීම.
(iii) පුනරුච්චාරණ අධික වීම.
(iv) විශාල චරිත ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස කතාවට එකතු කිරීම.
(v) පාඨකයා වෙහෙසට පත් කිරිම හෙවත් කතා රසය නැතිකම.

නවකතාවක මුඛ්‍ය ශිල්ප ධර්මය වන්නේ චරිත නිරූපණය යි. ඕනෑ ම සාර්ථක නවකතාවක අපූරු චරිත නිරූපණයක් තිබේ. කතුවරියගේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ චරිත නිරූපණය වෙනුවට චරිත විස්තර කිරීම ය. සිදුවීම් විස්තර කිරීම ය. මේ කතාවේ සෑම පරිච්ඡේදයක් ම ආරම්භ වන්නේ පරිසරය හා බද්ධ දීර්ඝ විස්තරයකින් ය. එම විස්තර කතාවේ චරිත නිරූපණයට සම්බන්ධ වන්නේ කලාතුරෙකින්ය.

හර්මන් හෙස සිය “සිද්ධාර්ථ” නම් කෘතියේ දී ප්‍රධාන චරිතය වූ සිද්ධාර්ථ හා ඔහුගේ කලණ මිතුරා වූ ගෝවින්ද යන චරිත දෙක නිරූපණය කරන්නේ කෙසේ ද? කතුවරයාට මුඛ්‍ය අරමුණක් තිබේ. ඒ පුද්ගල විමුක්තිය පිළිබඳ සංවාදය යි. එම සංවාදය සඳහා ගෝවින්ද හා සිද්ධාර්ථ අතර දීර්ඝ සංවාද පවතී. ඒවා අරමුණෙන් බැහැර නැත. නීරස නැත. නවකතාව කෙටි ය. කවියක් බඳු ය. කිසිසේත් ම නීරස නැත.

ඇල්බෙයා කැමූ “පිටස්තරයා” කෘතියේ දී මසෙල්ගේ චරිතය ගොඩ නඟන්නේ කෙසේ ද? ඔහු අමුතු මිනිසෙකි. විස්මය හැම විට ම පවතී. කතාව ආරම්භ වන්නේ් පුදුමයකින් ය. අවසානය දක්වා ම එය විස්මය පවතී. අනවශ්‍ය වචනයක් තිතක් කොමාවක් පවා එහි නැත. නූතන සිංහල නවකතාකරුවන් චරිත නිරූපණය අතින් ඉතා දුර්වල ය. චරිත ගවේෂණයක් ඔවුන් ළඟ නැත. නිරූපණය පිළිබඳ අභ්‍යාසයක් ද ඔවුන් ළඟ නැත. උපේක්ෂා නුවන්ශ්‍රීනි ඊට කදිම නිදසුනකි.

ඈ ඇතැම් විට එක ම චරිතය තුළ ද පරස්පරයන් මවයි. එම පරස්පරයන් අතාර්කික ය. නිහඬ ගැඹුරු චරිතයක් ලෙස පළමු ව හුවා දැක්වූ මේධාගේ මව පසුව භේද යුක්තියකින් තොර ව වාචාල ගැහැනියක කරයි. (අම්මා වඩාත් දොඩමළු ගැහැනියක වූ නිසා; මම ඉතා නිහඬ තරුණියක වීමි.) සර්පයාගේ දියණිය කෘතියේ චරිත නිරූපණය ගැන දිගින් - දිගට ම කරුණු දැක්වීමෙහි තේරුමක් නැත.

එහි ඇත්තේ අසාර්ථක චරිත නිරූපණයක් පමණක් නො ව, පාඨකයා වෙහෙසට පත් කරවන චරිත නිරූපණයකි. මේ කතුවරියට දැක්මක් හෙවත් දෘෂ්ටියක් නැති බව අපි මුලින් සඳහන් කළෙමු. එබැවින් ඇයගේ අන්තර්ගතය විසිරී - පැතිරී පවතී. එක ම දේ නැවත - නැවත කිය යි. කතුවරිය ජීවිත විවරණය යන්න නිවැරැදි ලෙස හඳුනාගෙන නැති අතර එය නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමට ද නො දන්නී ය. ඒ නිසා ම සර්පයාගේ දියණිය කෘතිය හිස් පොත් ගෙඩියක් බවට පත් වේ.

විචාරකයාගේ කාර්යභාරය වන්නේ කිසියම් කලා කෘතියක තත්ව නිර්ණය කොට එය පාඨකයාට හඳුන්වාදීම ය. මේ කෘතියේ තත්ව නිර්ණය කිරීමේ දී ඉහතින් සඳහන් කළ දුර්වලතා සියල්ල ප්‍රකට වේ. එහෙත් නවකතාව යනු ගණිත සූත්‍රයක් නො වේ. එය ගණනය කළ හැකි ප්‍රමේයයක් නැත. එබැවින් ගජ මිතුරු විචාරකයකුට අලුත් සූත්‍රයක් මගින් සර්පයාගේ දියණිය හුවා දක්වන්නට පුළුවන. එය සාර්ථක නවකතාවක් යැයි තර්ක කරන්නටත් පුළුවන.

අද එබඳු විචාර ඕනෑතරම් පළ වේ. එහෙත් පාඨකයා බුද්ධිමත් ය. ඔව්හු ඒවාට නො රැවටෙති. සිංහල නවකතාව අයාලේ යන්නට පටන් ගත්තේ මෑතක සිට ය. සම්මාන උළෙල හා සම්මන්ත්‍රණ බහුල ලෙස පැවැතිය ද නවකතාව පිළිබඳ නිගමනයක්, ප්‍රමිතියක්, සංස්කරණයක් හා හරි විචාරයක් ද අප අතර නැත. නවකතාව ගැන කිසිදු අධ්‍යයනයක් නැති අය තමන්ගේ කතාව ප්‍රසිද්ධ කිරීමේ මාර්ගයක් ලෙස ප්‍රබන්ධ කථාව තෝරාගෙන සිටිති. ඒ අනුව තමන්ගේ සිහින හා හිතලු නවකතාවට ඇතුළත් කරති.

මේ ක්‍රමය පවතින තාක් විකාර නවකතා බිහි වනු ඇත. සිංහල සාහිත්‍යයට නිය ම නවකතාව හඳුන්වා දුන්නේ ද ඊට දාර්ශනික පදනමක් ඇති කළේ ද මාර්ටින් වික්‍රමසිංහ මහතා ය. සිංහල නවකතාවේ භාෂාව ඉදිරියට ගෙන ගියේ මහාචාර්ය සරච්චන්ද්‍ර ය. ඉනික්බිති සාර්ථක නවකතාකරුවන් කිහිප දෙනකු පහළ වුව අද ඔවුන්ගේ මාර්ගය ඉදිරියට ගෙන යන්නකු දැකිය නො හැකි ය. සිංහල නවකතාවේ කලාත්මක ලක්ෂණ, දාර්ශනික පදනම මෙන් ම භාෂා භාවිතය ද දුර්වල ය.

මේ පරිහානියෙන් ගොඩ ඒමට නම් දීර්ඝ අභ්‍යාසයක් අවශ්‍ය වේ. එහෙත් අපේ නවකතාකරුවන් ඊට සූදානම් නැත. ඔවුහු තමන් ම කෙරුමා යැයි සිතන මමංකාරය නම් රෝගයෙන් පෙළෙති. මේ අනුව බලන විට පෙනී යන්නේ සිංහල නවකතාව බේරා ගැනීමට දෙවියන් වහන්සේ ට වත් බැරි බව ය.

රන්ජන් අමරරත්න

8 comments:

  1. මාත් සම්පූර්ණයෙන්ම එකගයි ඔබේ අදහස් වලට.. නවකතා කරුවෝ පිරිහිලා.ගොඩ ගන්න නම් බෑ..

    ReplyDelete
  2. මම මේ පිළිබඳව වැඩිය දන්නේ නැතත් මම මේ ලිපියට කැමතියි!

    ReplyDelete
    Replies
    1. දෙදෙනාටම ස්තුතියි

      Delete
  3. මමත් කියෙව්වා නමුත් ඔය පොත නම් ඇහැ ගැහිලාවත් නෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  4. මේක අලුතෙන් අවුට් කරපු පොතක්.

    ReplyDelete
  5. සිංහල නවකතාවට ගිය කල! හොඳ විචාරයක් දීල තියෙන්නෙ. ලඟකදී පොත් කීපයක් කියෙව්වත් හිතට ඇල්ලුවේ නෑ එකක් වත්. දැන් පරිවර්තන කියවනවා ඒ නිසාම.

    ReplyDelete
  6. සම්පූර්නයෙන් එකඟයි..
    මට ඉතාමත් පුදුම සහගත සිද්දිය සුනාමිය පැමින තමන් සතු සියල්ලම විනාශ කරද්දී මේධා තමන්ගේ ගුරුවරයා සොයා අඬා වැලපී උමතුවෙන මුත් කුඩා කල සිට දුක්ගැහැට විද තමන් වැදූ මව පිළිබදව කිසිම වචනයක් නොකියන ආකාරයයි.

    අනෙක් ප්‍රාදානම කරුන වන්නේ අස්භාවිකව උලුප්පවා පෙන්වන මිනිස් ක්‍රියාකාරකම්ය.

    ReplyDelete
  7. සම්පූර්නයෙන් එකඟයි..
    මට ඉතාමත් පුදුම සහගත සිද්දිය සුනාමිය පැමින තමන් සතු සියල්ලම විනාශ කරද්දී මේධා තමන්ගේ ගුරුවරයා සොයා අඬා වැලපී උමතුවෙන මුත් කුඩා කල සිට දුක්ගැහැට විද තමන් වැදූ මව පිළිබදව කිසිම වචනයක් නොකියන ආකාරයයි.

    අනෙක් ප්‍රාදානම කරුන වන්නේ අස්භාවිකව උලුප්පවා පෙන්වන මිනිස් ක්‍රියාකාරකම්ය.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්