2019-11-08

බියකරු මහ වන මැදින් කැබිලිත්තට | Off-Road Jeep Tour Katharagama To Kebiliththa

මං රට පුරා ඇවිදින එකා වෙච්චි නිසාද මන්දා මා හිතවත් රවී දොරවක ගෙන් ආරාධනයක් ආවා 'මචං පොඩි ගමනක් තියනවා ටිකක් අමාරු තැනක. දවස් තුනක්වත් යයි ගමනට. අපි හතර දෙනයි යන්නේ ඔයත් එනවනම් හුගක් කැමතියි,යමුද කියලා'.
මගේ උත්තරය වුණේ දිනේ කියපන් වැඩක් දාගන නැත්තං යමු කියන එකයි.
'එහෙම ආවාට ගියාට යන්න බෑ ටිකක් කැප වෙන්න වෙනවා මචො'
'හරි හරි මං කොහේ ගමනක් ගියත් ඒ ගමන ගැන කැප වෙලා තමා යන්නේ බං'
'එහෙම නෙමේ මචං. යන්න ඉන්නේ කැබිලිත්තේ. අපි බාරයක් ඔප්පු කරන්න යන්නේ. උඹත් එනවනං කැමතියි. එත් ගමන යනවනං උඹේ ගති සිරිත් මාස එකහමාරකටවත් නවත්තලා දාන්න වෙනවා. මං දන්නවනේ උඹ හැමදාම කන බොන එකා. ඉතින් මේ ගමන යනවානං අද ඉදන් මාස එක හමාරක් මස් මාංශ ආහාර බෑ. මධු පානය බෑ. උඹට පුළුවන්ද? එහෙම ඉන්න'.

ගමනට එකතුවෙන ආසාවක් වගේම හිතුවොත් මත්පැන් පානය නවත්තා දමා ඉන්නත් හැකියි කියන එක පෙන්නන්නත් එක්ක මාත් මේ අභියෝගය ඉතා සතුටින් භාර ගත්තා.



'එහෙනං අද පැලෙන්න බොමු මා ගානේ කියලා කිව්ව රවියා, අද රෑ අටට අපි සෙට්වෙමු ගමනට යන පස්දෙනාම අද බීලා ගමන අවසන් වන තුරු අපි පේ වෙමු කිව්වා. මාත් අභියෝගය සතුටින්ම භාර ගත්තා.
ඔන්න එදා රෑ හොඳට සෙට්වෙලා අපි පස් දෙනාම අමධ්‍යප වුණා, නිර්මාංශ වුණා.


කාටත් පුදුමයි හිටි අඩියේ ම මගේ මේ වෙනස් වීම.
කැබිලිත්ත කියන්නේ දේවාලයක් වුණත් එහි කිසිම කපු මහත්තයෙක් හෝ මිනිසෙක් ජීවත් වෙන තැනක් නෙමේ. 
යාල වනෝද්‍යානයේ පස්වැනි කොටසේ එක් මායිමකුත් කුමණ වනෝද්‍යානයේ එක් මායිමකුත් හමුවන කුඹුක්කන් ඔය දෑලේ තමා මේ කියන ස්ථානය පිහිටා තියෙන්නේ. ගමන දුෂ්කරය.
කොහොමින් හරි නිසියාකාර පේවීමකින් මාස එක හමාරක් ගෙවුණු තැන අපි අපේ වන්දනා චාරිකාව ආරම්භ කෙරුවෙමු.
අපේ නඩයට එක්ව සිටි අතුලට අයත් සුඛොපභෝගී බසි රියකින් අපි පස් දෙනා කතරගමට ගියෙමු. පළමු දින රැය කතරගම ගත කළ අපි එදින කිරිවෙහෙර මෙන්ම කතරගම දේවාලයද වන්දනා කරගතිමු.



හෙට අළුයමින්ම කැබිලිත්ත ගමන ඇරඹීම අපේ සැලසුම විය. අපේ කැබිලිත්ත ගමන යන්නට රවී තෝරාගන තිබුණේ ව්‍යාපාරික අරමුණු පසෙක ලා තමන් සමග යන පිරිසේ ආරක්ෂාව අරමුණු ආදිය කෙරෙහි ඉතාමත් ලෙන්ගතු පිළිවෙතක් අනුගමනය කරන සිසිර නම් තරුණයාය. ඔහු සේවය කරන්නේ කතරගම දමිත් නම් තරුණයකුට අයත් ජිප් රථ සේවා සපයන ආයතනයක ය.
දමිත් මෙන්ම සිසිරද ලංකාවේ නම ගිය ඕෆ් රෝඩ් ජිප් රථ ධාවන ශූරයන් දෙදෙනකි. රළු කැලෑ ගමනට අවැසි පරිදි නවීකරණය කරන ලද එමෙන්ම ගමන් ගන්නා මගියාට සුව පහසුවක් දැනෙන ආකාරයට මේ ජිප් රථ සැලසුම් කොට තිබීම සුවිශේෂය.
හරියටම උදේ හය වෙන විට සිසිර තම යකඩ යකා සමග අපේ නවාතැනට සේන්දු විය. ගෙන යන බඩු බාහිරාදිය ජිප් රියට පැටවීමේ සිට අවශ්‍ය සියලු දේ ගැන සිසිර අපට සහය විය.



කැබිලිත්තට යන්න පහසුම හා ළගම මාර්ගය කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ අසලින් වැටි ඇතත් දැන් එම මග වනජීවි එක මගින් මහජනතාවට තහනම් කොට ඇත. අනෙක් එක් මාර්ගයක් වැටි ඇත්තේ පානම කුමණ පුංචි කැබිලිත්ත ඔස්සේ ය. එය ඉතාමත් දුර බැහැර ගමනකි.
මෙනිසා අප තෝරාගත්තේ බුත්තල මොණරාගල හරහා වන පෙත ඔස්සේ යන මාර්ගයකි. උදෑසන හත වෙන විට අපි ගමන ආරම්භ කෙරුවෙමු. උදෑසන ආහාරය ගන්නට තැනක් සිසිර දුරකථනය ඔස්සේ සූදානම් කර තිබිණි. ඒ බුත්තලට ටිකක් ඔබ්බෙන් පිහිටි තැනකි.
බුත්තල මගේ ගල්ගේ හමුදා මුරපොළ අසල දේවාලය ඉදිරි පිට ඇති බුදු පිළිමය අසල නැවති එහි මල් ආසන සුද්ධ පවිත්‍ර කොට මිදුලද ඇමද මල් පහන් පූජා කර නිසි වතාවත් ඉටු කොට යමු යැයි යෝජනා කළේ සිසිරමය. ඒ අතර තුර මහ පාර හරස් කරගත් වන අලි දෙතුන් දෙනකු අපට හමුවිය. බස් රථ නවතාගන චන්ඩින් මෙන් සිටි මේ යෝධයෝ සිසිරගේ එක වචනයට අවනත වන්නේ කුඩා දරුවෙකු මෙන් වීම අප කාගේත් පුදුමයට පත් විය. වරෙක අප ජිප් රිය මේ දැවැන්තයෙකු අසලටම කිට්ටු කරවු සිසිර ආ බණ්ඩා කොහොමද කියා උගේ නලල අත ගෑම අදහා ගන්නට බැරි විය.



ඒ ඇරෙන්නට විශේෂ සිදුවීමක් නොමැතිව කාපට් මාර්ගයේ අපට මොණරාගල දක්වාම පැමිණෙන්නට හැකි විය. ඉන් පසු අප ඇතුළු වූයේ මහා හේන් යායකට ය. තෙරක් නොපෙනෙන තරම් ඈතට විහිදුණු ඉරිගු යායවල් මැදින් අපේ මග වැටී තිබිණි. හේනක වැඩකරන ගොවියෙක් ඇරෙන්නට කිසිවකුත් එහි නැත. ඉරිගු යායන් අතර මැද ඉඳ හිට වට්ටක්කා යායන් ය. තව පැත්තක රාජාල නොහොත් දංදිල වගා හේන් ය. මේ හැම හේනක්ම සරුසාරය. ලස්සනය. එහෙත් ගොවියෝ ඒ වෙනුවෙන් මහා වෙහෙසක් ගන්නා බව නම් ඉතා පැහැදිලිය. මේ හේන් යායවල්වලට ඇති එකම ගමනාගමන ක්‍රමය ට්‍රැක්ටරයයි. ට්‍රැක්ටරයේ ගමන බොහෝ වෙහෙසකරය. 



කැබිලිත්ත ගමනට ට්‍රැක්ටර්ද යොදා ගනිතත් මේ ආ ටික දුරේදීම ට්‍රැක්ටර් ගමනක අපහසුව වටහා ගන්නට අපට හැකි විය. ඔබත් කැබිලිත්ත ගමනක් යන්නේ නම් මිල අවම වුවත් ට්‍රැක්ටර් චාරිකාවක නම් නොයෙදෙන්න කීම අපේ උපදෙසයි. එය වෙහෙසකරය බිය කරුය අනතුරු දායකය.



තරමක් මිල අධික වුවත් පළපුරුදු රියදුරු මහතකු සමග ඔෆ් රෝඩ් ජිප් රියකින්ම යන්න කියන එක අපේ රෙකමදෝරුවයි.
හේන් යායවල් පසුකරමින් ඉතා අසීරු මගේ කිලෝමීටර් දහයකට වැඩි දුරක් ආපසුවයි අපට වන පෙතට ඇතුළුවන්නට අවස්ථාව උදා වෙන්නේ. මෙහි දුර ප්‍රමාණයන් මට නිවැරදිව කිය නොහැක. දුර විමසනවාට සිසිර කැමති නැත.
ඉන් පසු මහ වන පෙත මැද අති භයංකර ගමනක පැය පහක හයක ගමනකින් පසු අපි කැබිලිත්තට ළගාවීමු.



අපේ වාසනාවට එදින කුඹුක්කන් ඔයේ වතුර තිබ්බේ ඉන මට්ටමටය. එනිසා එගොඩ පිහිටි සියඹලාව වෙතම ගොස් පුද පුජා පවත්වන්නට අපට හැකිවිණි. පසු දින දහවල වෙද්දි ජල කඳ බොහෝ සේ ඉහළ ගියේ අප බලාසිටියදිමය.
තව දුරටත් එහි දී අප කළ කී දැ විස්තර කරන්නට නොයමි. මේ වීඩියෝ පටය නැරඹීමෙන් ගමනේ මුල සිට අග දක්වාම විස්තර ඔබට දැක ගත හැකිය.
ත්‍රාසය භිතිය ගුප්තබව රැදී චාරිකාවකට කැමති ඔබට අගනා ගමනකි කැබිලිත්ත.

වීඩියෝව පහළින් බලන්න.




13 comments:

  1. කාලෙකින් නලියා ලියාගෙන ඇවල්ල ගතියට. වීඩියෝ එක මතක් වෙලා සේරම කියවිල්ල නවත්තලා. අපුරු චාරිකාවක්.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං ලිය ලිය ඉන්නැද්දි වෙන වැඩකට යොමුවෙන්න වුණා.

      Delete
  2. වීඩියෝ එකනං කලිං බැලුවනෙ.

    වීඩියෝ එක තිබ්බත් තවත් ටිකක් විස්තර දැම්මනං අගෙයි.

    ReplyDelete
    Replies
    1. හම් බලමු අගට ආයිත් එකතු කරන්න.

      Delete
  3. ත්‍රාසය භීතීය ලොමු දැහැ ගැන්වෙන ආකාරයේන් පටන් අරන් මගදිම වැඩේ කෙලලා ඇරලා

    ReplyDelete
  4. කිවයුතු සියල්ල නලින් අයියා කියා ඇත. අද්දැකීම් විඳින්න කැබලිත්තේ යන්න..ආතල් එකට නෙවෙයි..භක්තිමත්ව... ඒ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න...මස් මාංශ වලින් මදුවිතින් වෙනත් දුරාචාර වලින් ඈත්ව ධාර්මිකව ⁣පේ වෙන්න
    කඳසුරිඳුන්ගේ රැකවරණය ආරක්ෂාව නිසැකව ලැබේවි..

    ReplyDelete
  5. වතාවත් ටික නම් හරියටම කරලා වගෙයි!

    ReplyDelete
  6. සුදු රෙදි දවටගෙන
    මූන කට වහගෙන
    හොඳට පේවීගෙන
    ජංගියක් ඇඳගෙන
    මුරුතැන්ගෙය පිසින
    දනෝ කවුරුද
    දෙවියන් යදින?

    ReplyDelete
  7. කදිම සටහනක් .....තවත් ලියන්න

    ReplyDelete
  8. ඊළඟ සැරේ ආවහම නලින්ව අල්ලාගෙන යන්න ඕනේ මේ වගේ ගමනක්. හාස්කම් ගැන නම් විශ්වාසයක් නැහැ. නයි ධාතු වගේම තමා. ඒත් ගිහිල්ල බලන්න කැමතියි

    ReplyDelete
  9. කාලෙකින් නලින්ගෙ සමකයට අාවේ. කියවන්න අාස හිතෙන බොහෝදේ තියෙන සමකය වටේට සුබ පැතුම්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.