 |
බෞද්ධ කැටයමක් |
අඳුරත්, වැහි බීරුමත් නිසා මුළු පතායා නගරයම ගිඟුම් දෙයි. අහස් කුසෙහි පොදිකන වැහි වළාකුළු සුළඟේ වේගයෙන් ඔබ මොබ යති. සැඩ සුළඟට කුඩා හැම අට්ටාලවල කුඩ ඉහළට පහළට ලෙල දෙයි. කුංකුම අංජන ගල්වාගත් සුරූපී ලඳුන් කඩිමුඩියේ අඳුරු කුටි අතරින් නොපෙනී යයි. වීථි දෙපස හිඳි වෙළෙන්දෝ දඩිබිඩියේ තම බඩු බාහිරාදිය එක්තැන් කොට උස් ගොඩනැගිලි ඉදිරිපිට වූ පියසි වෙත දුවති. පතායා නගරයට එතෙක් පැවැති තද හිරු රැස අඳුරු වළාකුළු ගිලගෙනය. නිමේෂයකි. අප බලා සිටියදීම මහ හෙණ හඬ දී වැසි පතිත විණි.
ආසිරිත් මමත් කැමරාව කමිසයෙහි සුරැකිව දවටාගෙන වේගයෙන් දිව ගියේ නවාතැනටය. හති දමමින් හෝටලයේ ලොබියෙහි ගතකළේ විනාඩි 10 කි. කෝ බං වැස්ස... මා ආසිරිගෙන් ඇසුවෙමි. ඒක තමයි බං වැස්ස කොහේ ගියාද? නෑනේ!...ආසිරි කීය. පුදුමයකි. යළිත් පතායා හි අහස් කුස සැඩ හිරු වෙලාගෙනය.
 |
සත්‍යෙය් උයන |
... මෙහෙ වැස්ස ඔහොම තමයි සර්... අහස කළු කරලා වහින්න හදනවා. ඒත් වහින්නේ නෑ. දැන් මාස ගාණක ඉඳන් ඔහොම තමයි. මෙහෙම වැස්ස... ලොබිය ඉදිරියට ආ හෝටලයේ සේවකයකු කීය.
... ගිය අවුරුද්දේ නම් මාස තුනක් තිස්සේ මෙහෙට එක දිගට වැහැලා ගංවතුරත් ගැලුවා... ඒත් මේ අවුරුද්දේ ඊට වඩා වෙනස්... පොළොව කරවෙලා, වහින්නෙම නෑ... ඒ නිසා අපට හැමදාම මල්වලට වතුර දාන්නත් වෙලා... මං හිතන්නේ ලෝක විනාශය ළඟයිද? කොහෙද?... ඔහු සිනාසී අපට කීහ.
පතායාවලට වැස්ස වැස්සත් නැතත් අප සංචාරක කාලසටහනට අනුව සවස් වරුවේ නක්ලුවා ප්‍රදේශයේ අරුම පුදුම ලී කැටයම් මාලිගයක් නැරැඹීමට යා යුතුව ඇත. ඒ සවස 4.00 ය. දැන් 2.30 යි. හෝටලයේ වේටර්වරයා ගෙන දුන් රසවත් තේ කෝප්පය පානය කර සිගරැට්ටුවක් දල්වාගත් ආසිරි ගෙන ආවේ කදිම අදහසකි. අපි ස්විමින් පූල් එකෙන් නාමුද? ... මරුනේ යමු... ඒ මගේ පිළිතුරයි.
දිව ආ මහන්සියෙන් ඇඟ පුරා දොරේ ගලන දහඩිය නිවා සනහලන්නට එය කදිම අදහසෙකි. පතායා හි නෝවා ප්ලැටිනම් හෝටලයේ විසල් නාන තටාකයට බැසගත් අපට දැනුණේ දැඩි සීතලකි. නමුත් ඒ සීතල මකාලන්නට ක්‍රම විධි එහි ඇත. නාන තටාකයෙහි වූ තැබෑරුමකි. ඇසිල්ලකින් බාත් 40 ක් දී බීර බෝතල් දෙකකට වග කී අපට(දැන් නවතා සති කීපයකි) එහිදී හමුවූයේ ඉන්දීය ජාතික තරුණයන් දෙදෙනෙකි. ඔවුන් ද පතායා හි අති සුන්දරත්වය විඳි අප වැනිම තරුණයන්ය. ඔවුන් හා අල්ලාප සල්ලාපයෙන් පසු පැයක් පමණ දිය නා සංචාරක මඟපෙන්වන්නිය ද සමඟ නක්ලුවා ප්‍රදේශයේ විසල් ලී කැටයම් මාලිගය නැරැඹීමට නික්ම ගියෙමු.
නක්ලුවා යන අතරමඟ දී එම මාලිගය පිළිබඳ “සාරා” අපට පැවැසුවේ පුදුමය දනවන කතාවකි. ඇයට අනුව මේ ගොඩනැගිල්ලේ කොටස් හතරක දර්ශන විද්‍යාව හා කලාව ඒවාට අදාළ වූ විවිධ මෝස්තර රටාවන් රාශියකින් නිර්මාණය වූ අති දැවැන්ත මාලිගයකි. මෙහි තිබෙන ලීවලින් තැනූ කැටයම් වසර 400 කට වඩා පැරැණි අයුත්‍ය යුගයේ ලී කැටයම්වලට බෙහෙවින් සමානය. මේ නිසා මෙය පුරාණ දැනුම සහ කුසලතාවන් සංරක්‍ෂණය කළ ස්ථානයක් ලෙස ඇය හඳුන්වන්නීය. ලී කැටයම් මාලිගයට ළඟා වූ අප දෑස් ඉදිරිපිට වූයේ විශ්මයකි. ඇත්ත වශයෙන්ම එය අනර්ඝ නිර්මාණයකි. බැලූ බැලූ අත දර්ශනීය ලී කැටයම් නිර්මාණය. මෙහි තිබෙන මූර්ති අතර බොහෝ ඒවා දේව රූප, දිව්‍ය අංගනාවන්, නාග රජවරු සහ බ්‍රහ්මණ රූපය.
මෙය සත්‍යයේ උයන නමින් හැඳින්වූත් තායිලන්ත භාෂාවට අනුව දර්ශනය යන තේරුම ගෙන දෙයි. තායිලන්ත වැසියන්ගෙන් මේ මාලිගය පිළිබඳ තොරතුරු දැනගන්නේ නම් මේ නමින් හැඳින්විය යුතුය. මෙහි ලී කැටයම් සම්පුර්ණයෙන්ම දැවමය වස්තූන්ගෙන් නිර්මිත වන අතර සිමෙන්ති, ලෝහ වැනි දෑ මේ සඳහා යොදාගෙන නොමැත. තවද මෙහි දොර ජනේලවල අගුල් පවා දැවයෙන් නිර්මාණය කර ඇත.
අක්කර 32 කට වඩා භූමි භාගයක පැතිර ඇති මේ මාලිගය සංචාරක සිත් ඇද ගනු ලබන්නේ ඈතින් පෙනෙන කඳු පන්තියත්, මාලිගය වටා ඇති මුහුදු තීරයත් නිසාවෙනි. මීටර් 105 ක ලී සැකස්මක් මත ඉදිකර ඇති මේ අති දැවැන්ත නිර්මාණය තායි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ කුසලතාව සහ හැකියාව වඩ වඩාත් තීව්‍ර කරයි. දාර්ශනික භාවය, අධ්‍යාත්මක ගුණය තේමා කොටගත් මේ ලී කැටයම මෙලෙස නෙලීමට කැටයම් ශිල්පීන් 250 කගේ පමණ දායකත්වය ලැබුණු බව එහි ඉදිරිපස සවිකර ඇති සුවිසල් දැව පුවරුවේ කොටා ඇත.
තායිලන්තයේ සංචාරය කරන්නෙකුට මේ ස්ථානය නැරැඹීමට අවශ්‍ය නම් සංචාරක ඒජන්තවරයෙකු හරහා දිනයක් සහ වෙලාවක් වෙන්කර ගත යුතුය. මෙය නැරැඹීම සඳහා වන ගාස්තුව සංචාරයට සහභාගි වන පිරිස අනුව වෙනස් වේ.
තවද මෙහි පැමිණෙන්නකුට ප්‍රථමයෙන් එහි කාර්ය මණ්ඩලය මගින් සවිස්තරයක් ඉදිරිපත් කරනු ලබන අතර දිනකට දර්ශන වේලාවන් දෙකක් පමණක් පැවැත්වේ. තවද මෙහි එක් කොණක කළපුවක සිදුකෙරෙන ඩොල්පින් ප්‍රදර්ශනයක් සහ අලි - ඇතුන්ගේ සංදර්ශනයකටද සංචාරකයනට සහභාගි විය හැකිය. මේ සියලු දෑ සඳහා බාත් 500 ක මුදලක් අයකරනු ලබන අතර ඉංගී‍්‍රසි භාෂාව හොඳින් දන්නා මාර්ගෝපදේශකයකු ද අවශ්‍ය වේ.
නලින් දිල්රුක්ෂ සමඟ ආසිරි මල්ලවආරච්චි
තායිලන්ත සංචාරයකින් පසු...
මේකේ වහලේ ඉදන්ම ලී ද නලින් අයියේ... ඒ වගේයි පෙනුනේ...
ReplyDeleteකැටයම් වලට නම් මාත් හරිම ආසයි.... ඒත් ගිහින් තියෙන්නේ ලංකාවේ තැන් කිපයකට විතරයි නේ.....
සම්පූර්ණයෙන්ම ලී. වෙලාවක දෙන්නත් එක්ක ගිහින් එන්නකෝ.
ReplyDeleteමං හිතං හිටියේ පතායා වල බලන්න තියෙන්නේ බීච් එක විතරයි කියලා....
ReplyDeleteහ්ම්ම්ම්...
නියම පෝස්ට් එකක්...
අපෝ නෑ ගොඩක් දේවල් තියනවා.මගේ මුල් ලිපිවලින් ඒ ගැන කියල ඇති
Deleteමේ තරම් ඓතිහාසික වටිනාකමක් ඇති තැන් පතායා වල තියන බව දැනගත්තෙ මේ ලිපියෙන්. ආසයි යන්න.
ReplyDeleteබොහෝ තැන් තියනවා.වෙලාවක යන්න.මොකද මේ දවස්වල වැඩද. දිගටම ලියන්න ඔයාගේ ලිපි වලට හොඳ ඉල්ලුමක් තියනවා.
Deleteඔව් මේ දවස්වල වැඩ ගොඩක පැටලිලා. ඉක්මනින් එවන්නම් නලීන්.
Deleteහරි සමූ නිවාඩුව එවන්න වැඩ පාඩු කරගන්න එපා.
Deleteබොහොම පුරාණ නගරයක් වගේ පේන්නෙ....
ReplyDeleteතායිලන්තය අදටත් රාජධානියක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලංකාවේ කැටයම් එක්ක බලද්දි නම් මට හිතෙන්නේ ලංකාවේ කැටයම් ගොඩාක් ලස්සනයි කියලා. මොකද අපේ රටේ කැටයම් වල අපූරු ගාම්භීරත්වයක් තියනවා.
ReplyDeleteඒත් මේ කැටයමුත් ගොඩාක් ලස්සනයි, ආකර්ශණියයි :)
ඒක ඇත්ත.සමහරවිට අපිට එහෙම දැනෙන්නේ අපේ රට නිසා වෙන්න ඇති.
Deleteහොඳ කොයිකද යන්න තීරණය කිරීම අසීරුයි.සංස්කෘතීන් දෙකක අගනා නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන් අමා.
Deleteඇත්තටම නියමයි පෝස්ටුවනම්.
ReplyDeleteහපොයි අන්කල්..මම ගියාට බලන් ආවේ මොනාද කියල දැන් තමා හිතෙන්නේ අප්පා :(
ReplyDeleteඅපූරුයි පෝස්ටුව!
රටකට යන්න කලින් ඒ රටේ බලන්න තියන දේවල් හදාරලා යන්න ඕනෑ.රටකට නෙමේ කොහේ ගියත්.ඔබට ආයිමත් ඉක්මනින්ම යන්න ලැබේවා කියලා පතන්නම්.
Deleteඔව් අන්කල් ඒක ඇත්ත.අම්මෝ මමයි,නංගියි,මල්ලියි එහෙ එයාපෝට් එකේ අතරමං උනත් එක්ක..
Deleteඅපූරු පෝස්ටුවක්. ඒ වගේම සුන්දර චාරිකාවක් වගේ නලින් අයියා
ReplyDeleteබොහොම ස්තුතියි ළීහිණි
Deleteලස්සනේ බැහැ. එල එල
ReplyDeleteමෙතන පුදුම ලස්සන තැනක්
Delete