රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-09-30

අප්පුවා රජ වෙයි; කතුවරිය පච වෙයි!

යනූෂා ලක්මාලී ගමේ කිරිඅම්මා කෙනෙකු සේ අප්පුවා රජවීමේ කතාව කියාගෙන යයි. අප මේ කතාව සිය - දහස් වාරයක් කිරි අම්මලාගේ ලොඹු කටවල්වලින් ම අසා තිබේ. ඒ කතාවෙයි ; මේ කතාවෙයි වෙනසක් නැත. පුරා වෘත්තයක් නව ප්‍රබන්ධනයක් ලෙස ප්‍රතිනිර්මාණ කිරීමේ කලාව කතුවරිය දන්නේ නැත. අන්තිමේ අප්පුවා රජවුණේ ය. කතුවරිය පච වුණේය.
යනූෂා ලක්මාලීගේ හතරවන නවකතාව “ඇ‍ට්ටේරියා මල්” නමින් නිකුත් වී තිබේ. මේ කතාවට පාදක වන්නේ දඹදෙණි යුගයෙහි දෙවන පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වීම පිළිබඳ කතා පුවත යි. දඹදෙණි රාජ්‍ය සමය ක්‍රි. ව. 1232 සිට ක්‍රි. ව. 1326 තෙක් දීර්ඝ කාල පරාසයකට අයත් වේ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ද, විද්වත් මතවලට අනුව ද එම යුගයෙහි දේශපාලනය අවුල් ය. එහෙත් ශාසනික හා සාහිත්‍ය සේවාව පුළුල් ය. කුමක් වුව දඹදෙණි රාජ්‍ය සමයෙහි කැපී පෙනෙන රජු වන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලද දෙවන පරාක්‍රමබාහු ය. එතුමා කව්සිළුමිණෙහි කතුවරයා ලෙස ද පිළිගැනෙයි.

2014-09-17

ගුරුන්ටත් අකුරු වරදී!


60 – 70 ගණන්වල ස්වදේශික උගතුන්ගේ ‍එක් මෝස්තරයක් වූයේ ගම අමතක වීම ගැන ප්‍රබන්ධ ගෙතීම ය. උපන් ගම හා ඥාතීන් අමතක කොට සිදාදියට හෝ පිටරටකට හෝ ගිය ඇත්තන්ගේ හුදෙකලාව, තනිකම හා ‍ශෝකය එකී නිර්මාණ ඔස්සේ ප්‍රකාශ විය.

සන්නස්ගල ඊට ම අලුත් ඇඳුම් අන්දවා “අම්මා” මඟහැරුණු බවක් කියන්නට යයි. අපේ අම්මා පොදු අම්මා බව ද ඔහු කිය යි. මේ ප්‍රබන්ධය කියවාගෙන යන විට දැනෙන දෙය නම්; මෙහි දී ද සනාට අම්මා අමතක වී ඇති බව ය. තමාගේ පුරාජේරුව නිසා සනාට අම්මා මඟහැරෙයි. එහෙත් හදිසියේ ම සිහි වී නැවත අම්මාට විවරණ සපයයි. කෘතියේ ඇතැම් පරිච්ඡේදවල අග කියවන විට එය පැහැදිලි වේ.


මේ කෘතියෙන් මුදාහැරෙන්නේ කතුවරයාගේ වේදනාව හා වෛරය මිස අන් දෙයක් නො වේ. එය සංවාද හතරක් ඔස්සේ තේරුම් ගත හැකි ය.



(I) කුඩා අවදියේ කුසගින්න හා පීඩනය පිළිබඳ අත්දැකීම.

(II) සතුරාට පහරදීම හා අභියෝග කිරීම පිළිබඳ අත්දැකීම.

(III) කතුවරයාගේ අනාගත සිහින පිළිබඳ අත්දැකීම.

(IV) යම් ඉලක්කයක් පසුපස හඹා යන කතුවරයා එහි ම අතරමං වීම පිළිබඳ අත්දැකීම.
උපුල් ශාන්ත සන්නස්ගල

සනාගේ ළමා අවදිය දැක්වෙන්නේ අබ්බගාතයකු, පස්ස බිම ඇදගෙන යන දරුවකු ආදී ලෙසින් ය. එය සිදුවිය හැකි ය. එහෙත් මේ තරම් හාමතක්!? මේ තරම් කුසගින්නක්!? ඌව පළාතේ ගොවි පවුල්වලට ඔය කියන තරම් කෑම හිඟයක් තිබුණේ නැ. කතුවරයා කියන හාමතට අනුව සනා ඒ කාලයේ ම මිය යා යුතු ය. මේ අතිශයෝක්තියෙහි ඉලක්කය වන්නේ තමා වීරයකු බව පෙන්වීම ය.

ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් ද මෙබඳු දේ කළේ ය. ඔහු තමාගේ ළමා අවදියේ අත්දැකීම් අමෙරිකන් ලේඛකයන් ලවා රහසේ ලියවා ගත්තේ ය. සදාම් උපන්නේ ටික්රිට් හි අල් අයූජා නම් ගම්මානයේ කාලකණ්ණි පවුලක ය. ඔහු ඉපදෙන්නටත් පෙර පියා මව හැර ගොස් තිබිණි. මව ගර්භණී සමයේ ම දිවි නසාගැනීමට තැත් කළත් එය සාර්ථක වන්නේ නැත. අවසන ඊබ්‍රාහිම් හුසේන් නම් මුස්පේත්තු බාප්පා සමඟ ජීවත්වන්නට සදාම්ට සිදු වේ. බාප්පා ඔහුට බැල්ලිගෙ පුතා යැයි කියමින් පස්සට පයින් ඇන්නේ ය. බැටළුවන් දැක්කීමට බලහත්කාරයෙන් යැව්වේ ය. රොටී බඳුන උදුරා ගත්තේ ය.

සදාම්ගේ ගමට ඔබ්බෙන් මනහර ටයිග්‍රීස් ගංඟාව ගලා ගියේ ය. ටික්රිට් සිට මොසුල් දක්වා දිවෙන දුම්රිය මාර්ගය මේ ගම ආසන්නයෙන් ඉදිරියට ඇදී ගියේ ය. එහෙත් කිසිවක් විඳගැනීමට ඔහුට ඉඩක් නො ලැබිණි. සදාම් ජීවත්වූයේ වේදනාව හා වෛරය පොදි බැඳගෙන ය. ඔහු නිවසින් පැන ගොස් මාමාට එකතු වී පසුව හමුදා පුහුණුව ලබයි. නීතිය හදාරයි. කුමන්ත්‍රණයකින් ‍රටේ බලය ද අල්ලා ගනියි. ඉක්බිති ඔහු කරන්නේ ද වේදනාව හා වෛරය මුදා හැරීම ය. සතුරාගෙන් එළව - එළවා පළිගැනීම ය.

සදාම් දුක දිනා ජයගත් මිනිසකු වුව පරිණත නායකයකු වූයේ නැත. එබැවින් ඔහු විනාශයට පත් විය. සන්නස්ගල ගමන් කරන්නේ ද විනාශකාරී මාවතක් වෙත ය. ඔහු සතුරාට ගරහයි; අභියෝග කරයි. නගරයට පැමිණ ජයග්‍රහණ අත්පත් කර‍ගත් සන්නස්ගල ශිෂ්ට මිනිසකු බටව පත් ව ඇතැ’ යි කියන්නේ නමුදු එවැන්නක් පෙනෙන්නට නැත.

“මට ගූ ගහන්න ගොඩක් එවුන් පෙළගැහිලා ඉන්නවා. උන් ඉන්නෙ ලස්සනට මාධ්‍යවලින් වෙස් පොරෝගෙන; ඇඳගෙන; මුනිරූප හදාගෙන. මං හිතුව උන් ගූ බාල්දි අරන් එද්දී මං ගූ ලොරියක් නාල හිටියොත් හොඳයි කියලා”

(පිටුව - 51)

කතුවරයා ජීවත්වන්නේ භීතියකින් හා සැකයකින් ය. එය පහකර ගනු වස් ඔහු හතර අතට පහර දෙයි. සටනකට අර අඳියි. ඇතැම් විට මේ ඔහු කුඩා අවදියේ වින්ඳා යැයි කියනු ලබන පීඩනයේ ප්‍රතිඵලය විය හැකි ය. ඇතැම් ප්‍රභූ චරිතවලට කතුවරයා පහර දෙන්නේ ද සිත්පිත් නැති විලාසයකින් ම්ලේච්ඡ ලෙස ය.

“ඔය කාලෙ තමයි හපුතලේට අර අකුරු තුනක් තියෙන තක්කඩියා ඡන්දෙ ඉල්ලන්න ආවෙ. ඌ අවුරුදු තිහක් හපුතලේ හිටියා. ඊට පස්සෙ ඌගෙ පුතා දැම්මා. දැන් අවුරුදු තිස් පහක්. ඔය කාලේ පතන් බිම්වල හිටපු උන් ගොඩ ආවා. ඔය අයිනෙ සැප වින්ද කුඹුරුකාරයො කසිප්පු ගැහුවා. උන්ට අනුව ආශ්චර්ය තිබුණේ ගැඹුරේ නො ව අඳුරේ ය. අපට අනුව, ආශ්චර්ය තිබුණේ අද්දර නො ව ගැඹුරේ ය. ගැඹුර යනු පාතාලය යි. සානුවේ පතුලයි.”

(පිටුව - 93)

දේශපාලකයන් වෙනුවෙන් පන්දම ඇල්ලීමට වුවමනාවක් අපට නැත. එහෙත් කතුවරයා හිටිහැටියේ තම කතාවට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයකු උපුටා දක්වමින් ඔහුට පහර දෙන්නේ කුමටදැ’යි ගැටලුවක් අපට ඇති වේ. ‍ඔහු මේ ලියන්නේ අම්මා ගැන දැ’යි ගැටලුවක් ද අපට ඇති වේ. සනා‍ ගේ මේ ලියැවිල්ල බෙහෙවින් දුෂ්ට ය. අකාරුණික ය. අපරිණත ය. ඔහු ඊට යුක්ති - යුක්තභාවයක් දීම සඳහා තවත් කපටිකමක් ද යොදයි.

“මම මගේ පරිකල්පන සීමාව හැර භූත තහංචි සියල්ල පලවා හරිමි. දැන්; මට නො සඟවා ලිවිය හැකි ය. ස්වයං - වාරණයක් නැත. ලේඛකයකුගේ පරිකල්පනීය සීමාවට තහංචි පැනවීමට දෙවියන් වහන්සේට වත් නො හැකි ය. එහෙයින් ම මම ලියමි. දැන් ඉතිං මහ රජ්ජුරුවන්ටවත් මට තහංචි පැනවිය නො හැකි ය.”

(පෙරවදන)

පරිකල්පනයට තහංචි නැති බව සැබෑ ය. එහෙත් පරිකල්පනය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රති-නිර්මාණය වන විට ඊට තහංචි තිබේ. සදාචාරාත්මක සීමාව එකකි. නීතිය තව එකකි. සම්ප්‍රදාය තවත් එකකි. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ උපාය මාර්ගයට රැවටෙන්නට තරම් පාඨකයා මෝඩ නැත.

පළිගැනීම, පහරදීම, අපහාස කිරීම හා වෛරය මුදාහැරීම මේ පොත පුරා ම සටහන් වී තිබේ. ඒ සඳහා ඔහු අලුත් උපාය මාර්ග සකසන බවක් ද පෙනෙන්නට තිබේ. කතුවරයාගේ ළදරු සිහින යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කරන අරගලයේ දී ඔහුට බාධා කරන අය හා තහංචි දමන අය අසරණ ව ඔහු මුණගැසෙති. ඒ පිහිටක් අපේක්ෂාවෙන් ය. ඔහු මෙබඳු සිදුවීම් විග්‍රහ කරන්නේ ගහට - ගහක් මොරටුවේ දී නො ව; කුලියාපිටියේ දී හෝ මහනුවර දී හෝ හමුවිය හැකි බව පුන - පුනා කීමෙන් ය. එහි අර්ථය වන්නේ මගේ සතුරාට මා කවදා හෝ පහර දෙනවා යන්න ය.

“මම ඉන්නේ වෛරයෙනි; සමාජ වෛරයෙනි. මා මට ද වෛර කරගත්තේ එහෙයිනි. එදා ළමා කාලයේ මගේ සිතිවිලි ගැන මට අද පුදුම සිතෙන්නේ ද නැත. එකී සිතිවිලි ගැන සමාව ඉල්ලා පාපොච්චාරණය කළ යුතු ද නැත. ස්වයං විවේචනය මා නිවැරැදි කරමින් තිබේ.”

මෙහි ඇති ස්වයං විවේචනයක් නැත. ස්වයං විවේචනයකින් කතුවරයා නිදොස් වෙමින් සිටින බවක් ද පෙනෙන්නට නැත. ඔහු සිය සහෝදරයන් විවේචනය කරයි. ඔවුනට චෝදනා පත්‍ර ලබා දෙයි. ඒවායෙහි කිසිදු තේරුමක් නැත. සිදුවන්නේ චරිත ඝාතනය පමණි. සිය වැඩිමහල් සහෝදරයකු තමාගේ ම සහෝදරියක දූෂ්‍ය කළ බවක් ද ඇය‍ගේ විවාහ ජීවිතය කඩාකප්පල් කළ බවක් ‍පොතෙහි සඳහන් වේ. මෙබඳු සිදුවීම් හුවා දැක්වීමෙහි අදහස කුමක් ද” එක්කෝ මං සුදනා වීම ය. නැතහොත් නිදහස් ලියවිල්ලක් තමාට ඇතැ’ යි පෙන්වා වීරයකු වීම ය.

ගෝර්කිගේ අම්මා සම්භාවන් කෘතියක් සේ සලකා පසෙකින් තැබුවහොත්; මාත කාලයේදී අම්මා ගැන ලියවුණු තවත් කෘති ගණනාවක් අපගේ අවධානයට ලක් වී තිබිණි. උපාලි සමරසිංහගේ “අම්මා” නම් වූ පුවත්පත් ලිපි එකතුව, ගුණරත්න ඒකනායකගේ “අම්මා” නවකතාව, ඇමැති ඩිලාන් පෙරේරා හා ඔහුගේ සොහොයුරිය එක් ව ලියන ලද උපහාර ග්‍රන්ථය හා Amy Hatveny විසින් ලියන ලද “Heart time mine” පෙන්වා දිය හැකි ය.

මේ ප්‍රබන්ධවල මූලික අභ්‍යාසය වන්නේ මව හා දරුවා අතර ඇති ගැඹුරු සම්බන්ධතාව සූක්ෂ්ම ලෙස නිරූපණය කිරීම ය. අම්මා කවුද? දරුවා කවුද? යන්නත් ඔවුන්ගේ ගැටලු හා අපේක්ෂා කවරේද යන්නත් ඉහත කෘතිවලින් උගත හැකි ය. සන්නස්ගලගේ අම්මා කෘතියෙහි සිදුවීම් පෙළගැසෙන්නේ අම්මා කවුද යන්න හඳුනා ගැනීමට නො ව; පුත්‍රයා කෙරුමා කිරීමට ය.

මේ කෘතියෙහි යහපත් ලක්ෂණ කිහිපයක් ද ‍දකින්නට ලැබේ.

(I) හොඳ ගුරුවරු හඳුනාගැනීම.

(II) ඇතැම් තැනක යොදන නිර්මාණාත්මක භාෂාව

(III) ජීවිතය සොයන්නකු හමුවීම.

පුංචි උපුල් ශිෂ්‍ය නායකයකු බවට පත් වන්නේ විදුහල්පතිවරයා යුක්ති සහගත ලෙස තීන්දුවක් ගන්නා නිසා ය. ඔහු කියා සිටින්නේ හොරාගේ පුතා හොරකු ම විය යුතු නැති බව ය. ඔහු අනාගතය දකින ගුරුවරයෙකි.

කතුවරයාට ඇත්තේ භාවපූර්ණ භාෂාවකි. ඔහු වරෙක ඉතා සන්සුන් ව ඉන් වැඩ ගනියි. තව වරෙක ඔහු අමු තිත්ත කුණුහරප කියමින් අශෝභන දේවල් සඳහා භාෂාව යොදවයි. උපුල් ශාන්ත සන්නස්ගල යනු ඉතා සාර්ථක සිංහල ගුරුවරයෙකි. ඒ ගැන වාදයක් නැත. එහෙත් මේ ගුරුවරයාට යටින් සිටින ව්‍යාපාරිකයා ඒ තරම් හොඳ නැත.

අන්තිමේ මේ කෘතියෙන් සොයන්නකු ද සම්මුඛ වේ. ඔහු ජීවිතය සොයයි. ජයග්‍රහණ සොයයි. තෘප්තිය සොයයි. විමුක්තිය සොයයි. ඒ අතර සතුරන් ද සොයයි. මේ මාර්ගයේ යන කථකයා අවසන් ලෙස පැවිදි වන්නටත් බැරි නැත.


රන්ජන් අමරරත්න

2014-09-12

කුණු බක්කියෙන් කතා ගොතන්නා!

ආදරණීය වික්ටෝරියා ගැන අමරේගේ විචාරය

බ්‍රිතාන්‍ය ආක්‍රමණ ගැනත්; ඔවුන්ගේ පරිපාලනය ගැනත් අපට ඇත්තේ බලවත් වෛරයකි. එකල අප ජීවත් ව සිටියේ නම්; කැත්තක් හෝ පොල්ලක් හෝ ගෙන සුද්දා මරා දමන්නට යනු ඇත. එහෙත් කලාකරුවාගේ තත්ත්වය එය නො වේ.

ඔහු සුද්දාගේ හොඳ-නරක දෙක ම දකින්නට පුළුවන. සුද්දා ඇති කළ පරිවර්තන යුගයෙන් සංවේදී කතා මතුකර ගන්නටත් පුළුවන. මොහාන් රාජ් මඩවල යනු ඒ ජාතියේ කතාකාරයෙකි. ඉතිහාසයේ කුණු බක්කියට ගිය ඉංග්‍රීසි පාලන යුගය අවුස්සන ඔහු ඒ ඔස්සේ කතා ගොතන්නට පටන්ගෙන තිබේ.

මොහාන්ගේ අභිනව කෘතිය “ආදරණීය වික්ටෝරියා” යැයි නම් කොට ඇත. උඩරට සිට පහතරටට සංක්‍රමණය වන මිනිසකුගේ නැඟීම හා විනාශය එහි මූලික ලෙසින් සටහන් වේ. ප්‍රධාන චරිතය අන්දිරිස් ය. හෙතෙම යෞවන අවදියේ ගමෙන් පැන යන්නේ සිය පියාගේ බේබදුකම නිසා ය. බේබදුකමට දැඩි ලෙස වෛර කරන අන්දිරිස් රට හොල්ලන ධනවතකු බවට පත්වන්නේ අරක්කු නිසා ය. අවසන් ලෙස ඔහු අකාලයේ විනාශ වන්නේ ද අරක්කු නිසා ය.

2014-09-10

මොහාන් රාජ් අපට තිළිණ කරන ආදරණිය වික්ටෝරියා


මා සිත් ගත් ගත් කතුවරයකු වන මොහාන් රාජ් මඩවල සොයුරාගේ ආදරණිය වික්ටෝරියා කෘතිය මේ වන විට පාඨක සුරතට පත්කර ඇත. ඒ මාහැගි කෘතිය කියවා තිබුණ ද මේ දිනවල මා අත ගසා ඇති අමුමිරිස් අභියෝගය හා පුද්ගලික කරදර කීපයක් හේතුවෙන් ඒ පොත ගැන මා සිතේ හටගත් අදහස් ගොන්න අකුර කරන්නට වෙලාවක් නොවීය. නමුත් ඔහුට කරන ගෞරවයක් ලෙස මිරර් ගර්ල් අඩවියේ පළ වූ මේ සටහන සමකය වටේ අඩවියට උපුටා එක් කරමි. 

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්