රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-04-30

කරෝල වේලන්න නවීන තාක්ෂණය


සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරයක් පළමු වරට අපේ රටේ නාත්තණ්ඩිය මූදූකටුව ධීවර ගම්මානයේ ස්ථාපිත කොට ඇත.

ගමට තාක‍ෂණය ගෙන යන විදාතා වැඩසටහන මඟින් ප්‍රදේශයට අවශ්‍ය තාක‍ෂණය සපයා ආවේනික සම්පත් භාවිතයෙන්  නාත්තණ්ඩිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. 



මූදූකටුව ධිවර ගම්මානයේ අතිරික්ත මාළු අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහ ධීවර ජනතාවට මාළු අස්වැන්නෙන් වැඩි ආදායමක් ලබා ගැනිමට පහසුකම්  සැලසිම  මඟින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වෙනත් කිසිඳු බලශක්තියක් භාවිත නොකර සූර්යතාපයෙන් පමණක්  ක්‍රියාත්මක වන මෙම තාප කුටිරයෙන් දිනකට මාළු  කිලෝ 120ක් පමණ විජලනය කිරිමේ හැකියාව පවතී. මෙම  විජලිත මාළුවල විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන විජලිත මාළුවලට වඩා උසස් තත්ත්වයෙන් යුත් වැලි සහ අපද්‍රව්‍යයන්ගෙන් තොර රසයෙන් සහ ගුණයෙන් යුත් සෞඛ්‍ය ආරක‍ෂිත සහ ගුණාත්මක බවින් වැඩි කරවල නිෂ්පාදනයක් ලබා ගැනිමට හැකි වීමයි. 

සරල තාක‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විජලන තාප කුටීරය භාවිතය සහ නඩත්තුවද ඉතා සරල වීම සහ මුහුදට ආසන්නයේ ස්ථාපිත කිරීමට හැකිවීම විශේෂ ලක්ෂණයන් වේ. 

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ තාක‍ෂණ දායකත්වය සපයා ඇති මෙම සූර්ය තාප මාළු විජලන කුටීරය තාක‍ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කරනු ලැබූ පළමු විජලන තාප කුටීරය වන අතර මෙම ව්‍යාපෘතිය මීගමුව, හලාවත මුහුදු කලාපය තුළද විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා උතුරු නැගෙනහිර මුහුදු කලාපය තුළද ස්ථාපිත කිරීමට නියමිතය.

2013-04-29

පතායා මුහුද මැද ත්‍රාසජනක පැරෂුට් ගමන (parasailing)


සංචාරයක් සඳහා ඉන්දියාවට යාම දැන් තරමක් කරදර සහිතය. එහෙයින් අපට ඒ සඳහා පහසුවෙන් යා හැකි රටකි තායිලන්තය.  දිල්ලියට යන වියදමින් තායිලන්තයට ද ගිය හැකිය. මේ තායි සංචාරක සටහන නැවත සංස්කරණය කොට මෙතැනට ගෙන එන්නේ තායි යන්න කැමැත්තෙන් ඉන්නා ඔබ වෙනුවෙනි.

රුපියල් 25000කින් පතායා යන්න මෙතැන කියවන්න

හිරු නැග හෝරා කිහිපයක් ගතවන තුරුත් මදක් අලසව පවතින සුන්දර පතායා වෙරළ තීරය කඩිසර වන්නේ පෙරවරු 10 පමණ වන විටය. ඉන් මදකට පසුව ගුවන් පාලම්වලත් මහ මගත් වාහන පිරී ඉතිරී යයි. දැන් වාහනවලින් සහ සංචාරකයන්ගෙන්  පිරුණු මග දෙපස කාර්යබහුල ය.


තායිලන්තයේ බොහෝ ජනයා සිය ආහාර ගැනීමට පුරුදුව ඇත්තේ මහ මග දෙපස පිහිටි කුඩා අට්ටාල බඳු කෑම කඩවලිනි.සංචාරක නගරයක් වී ඇති පතායා නගරය නිතරම පාහේ සංචාරකයන්ගෙන් පිරී පවතී.

2013-04-26

විදුලිබිල සංශෝධනය පිළිබඳව විද්වත් කතිකාව

හොඳ සංවාදයක් දැක ගන්නයි මේ ඇරියුම

දිනය         :  2013 අපේ‍්‍රල් 27 වන
                   සෙනසුරාදා

වේලාව : පස්වරු 03.00 ට

ස්ථානය : ශ‍්‍රවණාගාරය, ජාතික පුස්තකාල

            හා ප‍්‍රලේඛ

           සේවා මණ්ඩලය 

නිදහස් මාවත, කොළඹ - 07.









විද්වත් සහභාගීත්වය

x හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය, වත්මන් තාක්ෂණ හා

        පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක   මහතා

x පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා

x පාත් ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන

        මහතා

x මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ විදුර රළපනාව මහතා

x විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ දිලීප

        විතාරණ මහතා

x බලශක්ති සංසඳයේ විධායක අධ්‍යක්ෂ අශෝක අභයගුණවර්ධන

        මහතා

අඩු විදුලි ඒකක ප‍්‍රමාණයක් පරිභෝජනය කරන, සාමාන්‍ය ජනතාව

අපහසුතාවට පත්කර වැඩි විදුලි ඒකක ප‍්‍රමාණයක් පරිභෝජනය කරන

ඉහළ ආදායම් දරන පාරිභෝගිකයන්ට වැඩි සහන සළසීමත්, කුඩා හා

මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ව සැලකිල්ලට නොගෙන විදුලියේ

බර වැඩි වශයෙන් ඔවුන් වෙත එල්ල කිරීමත් පදනම්ව සමස්ත නව

මිල සංශෝධනය සම්බන්ධයෙන් කෙරෙන විද්වත් කථිකාව සහ විවෘත

සාකච්ඡාවට ඔබට ඇරියුම්.

2013-04-25

ලෝක පොලිස් කාරයා මෙම අවනඩුව කෙසේ විසඳාවි ද?




බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයේ අභිරහස තවම විසඳී නැත. බෝම්බ තැබීමට සම්බන්ධ යැයි සැක කෙරෙන චෙච්නියානු ජාතික සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමලා වූ ටැමලන් සානේව් පොලිස් වෙඩි තැබීමෙන් අනතුරුව මිය ගියේ ය. ජොහාන් සානේව් බරපතළ තුවාල ලබා රෝහල්ගතව පසු වෙයි. ප‍්‍රහාරය ගැන තොරතුරක් ලබා ගැනීමට ඇති එකම තුරුම්පුවද ඔහු ය.

2013-04-23

සුරපුරක් වු මිහිපිට අපාය - හැමිල්ටන් ඇල


එදා කුණු ගඳින් පළාතම වැසීගිය හැමිල්ටන් ඇල අද සුන්දර ස්ථානයක් බටව පත්වෙමින් පවතී. සංචාරක ප්‍රවර්ධන කටයුතු සහ සේවා වැඩි දියුණු කිරීම යටතේ ආරම්භ කරනු ලැබූ හැමිල්ටන් ඇල සංවර්ධන වැඩසටහන හේතුවෙන් වසර ගණනාවක සිට ඉතා අපිරිසිදු ජලයෙන් සහ දුර්ගන්ධයෙන් යුත් ස්ථානයක් ව තිබූ හැමිල්ටන් ඇල මේ වන විට ඉතා ආකර්ශනීය ‍ස්ථෘනයක් බවට පත්ව තිබේ.




2013-04-14

අවුරුදු කටේ බුද්ධංගල මහ වන මැද අලි 150ක රෑනකට කොටු වී....


                                 
අම්පාර නගරයට කිලෝමිටර් පහක පමණ දුරින් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ පිහිට ඇති වලතාපිටිය ගම්මාණයට මදක් නුදුරින් දිඝවාපිය මහ කැලය පසුකර වන අලින් එකසිය පනහකට වැඩි රංචුවක් ප්‍රධාන මාර්ගය හරහා බුද්ධංගල අභිය භුමියට ඇතුළු වුයේ තමන්ගේ වාසභුමියට ඇතුළු වෙන්න කාගේ තහනමකද යන්න සිතා විය යුතුය.


2013-04-13

යුග දිවිය සවිමත් කරගන්නට පෙම් ලිපි ලියමු



‘පෙම් ලිපි’ අද අතීතයට අයත් දෙයක් බවට පත්ව තිබේ. වර්තමාන පෙම්වතුන් අදහස් හුවමාරු කරගන්නේ කෙටි පණිවිඩ හා විද්‍යුත් තැපෑල හරහා ය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ විවාහකයන් පවා අඩුම තරමින් වසරකට පෙම් ලිපි තුනක් හෝ ලිවීම හරහා ඔවුන්ගේ යුග දිවි බැඳීම් සවිමත් වන්නේය කියායි.
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වයඹදිග සරසවියේ සමාජ මනෝ විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය එලි ෆින්කෙල් මෑතකදී කළ අධ්‍යයනයකින් ලද ප්‍රතිඵල අනුව පවසන්නේ අඹු සැමියන් ඉඳහිට හෝ පෙම් ලිපි හුවමාරු කරගැනීම ඔවුන්ගේ යුග දිවිය තවත් සවිමත් වීමට හේතුවක් කියාය.

2013-04-10

ලෝකය තනි යායක්



80 දශකය අග භාගයේ පමණ පටන් ගෝලීයකරණය යන්න අපට නිතර ඇසෙන, කියවන්නට ලැබෙන වචනයක් බවට පත්වී තිබේ. ඉන්දීය ජාතිකයකු හා ලේඛකයකු වූ ස්වාමිනාදන් එස්. අන්ක්ලෙසාරියා අයියර් පවසන්නේ දැන් ලොව පවුල් ඒකක ද ගෝලීයකරණය වෙමින් පවතින බවය. අප දැන් සවන් දෙමු ඔහුගේ හඬට.
1992 දී මම ‘toward globalization’ (ගෝලීයකරණය දෙසට) යනුවෙන් ග්‍රන්ථයක් රචනා කළෙමි. මගේ පවුලද ගෝලීයකරණය වෙතැයි එකල මම නිකමටවත් නොසිතුවෙමි. 2005 වසරේ මගේ දියණිය වූ වූපල්ලවි ගේ විවාහ මංගලෝත්සවය පැවැත්විණි. මගේ දියණිය දක්ෂ ශිෂ්‍යාවක වූ ඇය වාය. ඇය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් දිනාගත්තාය. ලන්ඩනයේ දී ඇයට ස්පාඤ්ඤයෙන් පැමිණි ජූලියෝ නමැති යෞවනයා මුණ ගැසී තිබිණි. ඔවුන් චීනයෙන් රැකියාවන් සොයා ගත් අතර බෙයිජිං සිට දිල්ලියට පැමිණියේ විවාහ වන්නටය. විවාහ මංගලෝත්සවයට පැමිණි අමුත්තෝ හැත්තෑ දෙනා උතුරු අමෙරිකාවේ සිට යුරෝපාකරය තෙක් රටවල ත් චීනයේ ත් අය වූහ.
එය ගෝලීයකරණය පිළිබඳ උදාහරණයකි. එහෙත් මගේ වැඩිමහල් පුත් ෂේකර් ඊටත් වඩා දුර ගොස් තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවියට ශිෂ්‍යත්වයක් දිනා එහි උගත් ෂේකර් ඊළඟට ශ්‍රී ලංකාවේ කොළඹ විද්‍යාලයක වසරක කාලයක් ගුරුවරයකු ලෙස සේවය කළේය. ඊළඟට ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබනු පිණිස ගියේ කැනඩාවේ ටොරන්ටෝවට ය. එහි දී ඔහුට මුණගැසී තිබුණේ ෆ්‍රැන්සිස්කා නමැති ජර්මානු ජාතික යුවතියකි. ඔවුන් දෙදෙනාට රැකියා ලැබුණේ අමෙරිකාවේ වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්යාලයේය. ඔවුහු එම අරමුදලේ විවිධ කටයුතු සඳහා ලොව විවිධ රටවල සංචාරය කළහ. ෂේකර් සියෙරා ලියොන්, සී ෂෙල්ස්, කිර්ගිස්තාන් හා ලාඕස් වැනි රටවලට ගියේය. ෆ්‍රැන්සිස්කා ගියේ රුවන්ඩාව, ටජිකිස්තානය හා රුසියාව යන රටවලටය. මේ සංචාරයන් නිසා ඔවුන් ගේ විවාහයට බාධා පැමිණන නමුත් ඔවුහු අවසානයේ 2003 වසර අග භාගයේ දී විවාහ වූහ.
මගේ බාලම පුතු ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබා නයිජීරියානු කතක හා විවාහ වී පේරුහි පදිංචි වූහ.
මගේ පවුලේ අය ඔවුන්ගේ ජීවිත කාලයන්ගෙන් වැඩි කොටස ගත කර ඇත්තේ ගුවන් යානාවල යැයි සමහර පාඨකයෝ සිතනවා වන්නට පුළුවන. මගේ වාසගම අයියර් ය. මම දකුණු ඉන්දියාවේ බ්‍රාහ්මණ ප්‍රජාවට අයත් වෙමි. මගේ පාරම්පරික ගම්මානය තන්ජවුර් දිස්ත්‍රික්කයේ සුන්දර ගම්මානයක් වූ කුර්ගුදි ය. එය අයත් වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයටය.
මා මුලින්ම ජීවත්වූයේ හොඳ මංමාවත් රහිත කුර්ගුදි ගම්මානයේ නළ ජලය හා හොඳ වැසිකිළි පහසුකම් රහිත වූ නිවෙසකය. කොතැනක සිට තන්ජවුර් වෙත දුම්රියෙන් පැමිණයත්, එතැන් සිට පාරම්පරික නිවහනට මිනිත්තු 45ක් තිස්සේ කරත්තයෙන් ගමන් කිරීමට අපට සිදු විය.
එකල පවුල්වල වැඩිපුර ළමයින් සිටි අතර මගේ පියා ගේ පවුලේ සිටි දරුවන් ගණන හයකි. මම දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක හැදුණෙමි. වැඩුණෙමි. පරම්පරා දෙකකට පසු කුර්ගුදිහි විසූ අපේ පවුලේ ඥාතීන් පිරිස දෙසීයක් පමණ විය. එහෙත් අද ඔවුන් අතරින් කුර්ගුදි ගමේ වෙසෙන්නේ තිදෙනකු පමණි. අනෙක් අය ඉන්දියාවේත් ලෝකයේත් විවිධ තැන්වල ජීවත් වෙති. චීනයේ සිට අරාබිය තෙක් යුරෝපයේ සිට අමෙරිකාව තෙක් අපේ ඥාතීහු විසිර සිටිති. කර්ගුදි හි අපේ පාරම්පරික නිවහනේ මෙතෙක් වරින්වර ලැගුම්ගත් අමෙරිකානු ජාතිකයන් ගණන පනහකට වැඩිය.
එහෙයින් ගෝලීයකරණය යනු බටහිරකරණය යැයි සමහර අය පළකරන මතය ඉවත දැමිය යුතුව තිබේ. කුර්ගුදි සිට බලන විට සිදුවී තිබෙන්නේ ගෝලීයකරණයක් නොව එක අතකට අයියර්කරණයකි.
මෙම තත්ත්වය අපේ අනන්‍යතාව කෙරේ බලපා ඇත්තේ කෙසේද? මට කුර්ගුදි සිට පැතිර ගිය ගෝත්‍රයක් ගැන කතා කිරීමට නුපුළුවන. ඔවුහු දෙමළ බ්‍රාහ්මණයන්ගේ සිට ගව මස් හා පීට්සා බුදින හිප්-හොප් නර්තනයන්හි යෙදෙන අය දක්වා විහිද සිටිති.
අයියර්කරණය යනු මට අයියර්වරුන් ලොව පුරා ආධිපත්‍යය පැතිරවීමක් නොවේ. එය විවිධ අනන්‍යතාවන් සහිතව සහෝදරත්වයෙන් හා මනුෂ්‍යත්වයෙන් බැඳී ලොව පුරා විසිරීමකි. මම කුර්ගුදි හි පාරම්පරික නිවහනට වී නිසංසල ජීවිතයක් ගත කරමි. පන් පැදුරක් එළා බිම හිඳගෙන කෙසෙල් කොළයකට බෙදන ලද ආහාර අතින් කමි. එහෙත් චීනයේ නූඩ්ල්ස්, ස්පාඤ්ඤයේ බඳින ලද මස් හෝ ;මාරොක්කෝවේ කොවුස්-කොවුස් බුදිද්දී මට වෙනසක් දැනෙන්නේ නැත. මම කුර්ගුදි ගැමියෙක් වෙමි. ඒ අතරතුරම දෙමළ ජාතිකයකු, දිල්ලියේ මහත්මයකු, ඉන්දීය ජාතිකයකු, වොෂින්ටනයට හුරු අයකු මෙන්ම ලෝක වැසියකු වෙමි. එම හැඟීම මා සිත්හි ආතතියක් ඇති කරන්නේ හෝ එසේ ජීවත්වීම මට වෙහෙසක් දනවන්නේ හෝ නැත.
තන්ජවුර්වල බ්‍රිහදීෂ්වර කෝවිල දකින විට මා සිත අමුතුම හැඟීමක් ඇතිවේ. මෙය මගේම යැයි එවන් අවස්ථාවන්හි දී මම මටම කියා ගනිමි. ඒ හා සමානම හැඟීම් ගෝවේ බොම් ජීසස් දේවස්ථානය දකිද්දීත්, අහමබාද්හි සිද්දි සයිද් මුස්ලිම් පල්ලිය දකිද්දීත් ම’ සිත ඇතිවේ. ඒවා ද මගේය. ඔක්ස්ෆර්ඩ් සරසවිය ආශ්‍රිත මං මාවත්වල ද වොෂින්ටනයේ මාර්ගවල ද ගමන් කරන විට මා සිත ඇතිවන්නේ ඒවා ද මගේම යන හැඟීමය. මගේ පවුලේ අය ලොව පුරා විසිර සිටින හෙයින් යම් දිනෙක බාර්සිලෝනාහි සග්රදා ෆැමිලියා දේවස්ථානය හා ජර්මනියේ රයින් නදිය ද දැකගෙන ඒවා ද මගේමය යන හැඟීම අත්විඳින්නට මම අපේක්ෂා කරමි.
ජෝන් ලෙනන් සිය ගීයකින් පළ කළ පහත අදහස වෙත අයියර්වරුන් වූ අපි එක් පියවරක් තබා ඇත්තෙමු.
“රටක් නැත යන්න සිතින් මවා ගන්න.
එසේ කිරීම අපහසු නැත.
කිසිවකු වෙනුවෙන් මැරෙන්නට හෝ මරාගන්නට අවැසි නැත.
එහි ආගමක් ද නොමැත.
ප්‍රාදේශීයව තිබූ බැඳීම් බිඳිමින් පළමුව කුර්ගුදි ගම්මානයෙන් පිටවූයේ මගේ පියාගේ පරම්පරාවය. තාත්තා ලාහෝරයේ ගණකාධිකාරීවරයකු වූ අතර මගේ එක් බාප්පා කෙනෙක් කරච්චි හි හෝටල කළමනාකරුවකු වූයේය. මගේ පුංචි අම්මා කෙනකු වාසය කරන්නේ යැන්ගූන් හි ය.
මගේ පරම්පරාව ආගම හා වූ බැඳීම් ලිහිල් කළේය. මගේ වැඩිමල් සොහොයුරු ෂීක් ජාතික යුවතියක හා විවාහ වූ අතර බාල සොහොයුරා විවාහ වූයේ කිතුනු යුවතියක සමඟිනි. මා විවාහ වූයේ පර්සි ජාතික කාන්තාවක සමඟිනි. ඊළඟ පරම්පරාව වූ මගේ දරුවෝ තවත් පියවරක් ඉදිරියට තබා සිටිති. ඔවුහු ලෝකයේ විවිධ රටවල විවිධ ආගම්වලට අයත් අය හා විවාහ වී සිටිති.
මට ගෝලීයකරණය යනු භාණ්ඩ හෝ මුදල් හෝ අයියර් වරුන් හෝ සමඟ බැඳුණක් නොවේ. එය ලෙනන් ගේ දර්ශනය වූ ‘රටක් නැත’ යන්න කෙරේ තබන ඉදිරි පියවරකි. මා සිහින දකින්නෙකැයි ඔබ පවසනු ඇත. එහෙත් එම සිහින දකින්නේ මා පමණක් නොවේ. යම් දිනෙක ඔබ ද මා හා එක් වනු ඇතැයි මම සිතමි. එදිනට ලෝකය තනි යායක් වනු ඇත.

චාමර මුතුනායක
රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි

2013-04-09

නිමා නොවන සිහිනයේ යථාර්ථය



මෙම ලිපිය මා වෙත යොමු කළේ දැනට නිව්යෝක් නුවර වෙසෙන බලපත්‍රලාභී සායනික මනෝ චිකිත්සිකාවක වන සුගන්ධිකා ටී. සුභවික්‍රම  යෙහෙළියයි.

තමා ජීවත්වන සමාජ ව්‍යුහය තුළදී හැකි තරම් දියුණුවේ ඉහළට නැඟීමේ ඉලක්කය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අහිංසක ආශාව සෑම මනුෂ්‍යයෙකුගේම අභ්‍යන්තර චිත්තයෙහි කුඩා කල සිටම තැන්පත් වූවකි. 
කිසිදු වරදක් නැති මෙම ධනාත්මක සිතුවිල්ල මිනිසාගේ ජීවිතය උද්‍යෝගිමත් ලෙස ජීවත් කරවයි. 
සමාජ සංස්ථාව ආරම්භයේ සිට මේ දක්වා මෙම නොනවතින තරඟයේ යෙදෙන කිසිවකු මෙම තරඟයට අවතීර්ණව තමා හා කරට කර සිටීමට නොහැකිව පසු බැස සිටින සෙසු අය පිළිබඳව අවධානය යොමු නොකිරීම සමාජගතව පවත්නා බලවත් අඩුපාඩුවක් හා දුර්වලතාවයක්ද වෙයි.

2013-04-08

කුවේණියගේ දරු දෙදෙනා විසූ ගම යක්කුරේ



අසීමාන්තිකව ඵල දැරූ රූස්ස සියඹලා ගස් ගොමුව අතරින් වැටී ඇති තාර යෙදූ පාරේ අප රැගත් රිය පවනට බඳු වේගයෙන් ඉදිරියට ඇදෙයි. රථයේ වේගයට සාපේක්ෂව සිතේ වේගය ද වේගවත් වෙයි. කිසිදා නොදුටු අපේම ඇත්තන් සොයා අපි පියනඟමු. ඔවුන්ගේ ඇවතුම්, පැවතුම්, හැසිරීම්, ජීවන රටා කෙසේ වේදෝ යි යන්න දැකබලා ගැනීමේ නොනිමි ආසාව සිතේ පොර බදියි. පොලොන්නරුව, මඩකළපුව මාර්ගයේ දී රිය දිඹුලාගල දෙසට හැරවිණි. දිඹුලාගල මහියංගණය මාවතේ පැමිණි කළ හමුවන සිරිපුරට ද පැමිණියෙමු. සිරිපුරදී දකුණට හැරී මද දුරක් ගිය පසු “පහළ යක්කුරේ” ග්‍රාම සේවා වසම හමු විය. මා දැන් ඔබව කැඳවාගෙන යන්නේ “යක්කුරේ” නැමැති ගම්මානය වෙතයි.

2013-04-04

දන්න කෙනෙකුගේ නොදුටු සේයා රූ පෙළක්...

බලන්න මේ සේයා රූවල ඉන්න කෙනා දන්නව නේද?. එහෙනම් මේ සේයා රූ පෙළ දැකල තියනවද බලන්න.



2013-04-02

අවුරුද්දේ දින 365 ම උතුරා යන ළිඳක් කොළඹ නගර සීමාවේ


මේ ලිපිය මා වෙත යොමු කළේ ඇවිද්ද පය බ්ලොග් අඩවිය ලියන  සුදීක සහෘදයා යි. 

මාතෘකාව දුටු විට කියන්න යන්නේ කුමක් ගැනදැයි  පැහැදිලි ඇතැයි සිතමි.  ඇත්තටම මෙය පිහිටා තිබෙන්නේ කොළඹ නගර සභා සීමාවේ නම් නොවේ. එහෙත් එයට ඉතා ආසන්න තැනක ය. දිනක් නලීන් තමන්ගේ ගමේ සොබා සෞන්දර්යය විස්තර කොට, එය විනාශ වේ දෝයි බියෙන් එය කුමන පළාතක දැයි හෙළි නොකළා මට අද වගේ මතකයි, ඉතිං මමත් මෙහි නිවැරදිම පිහිටිම සඟවා තබන්නම්. එහෙත් මගේ දියණිය පාසලට ඇරලවීමට යන මාර්ගයේ දිනපතා දකින මේ දර්ශණය ඔබ වෙත ගෙන එන්න මා දින කීයක් පෙරුම් පිරුවාදැ යි දන්නේ මා පමණි. ඒ මෙහි ජනයා නොගැවසෙන මොහොතක් සොයා ගැනීමට ය. ඒ තරමටම මෙය ජනයාගෙන් පිරී පවතින තැනකි. පසුගිය සෙනසුරාද සවස දෙකට පමණ ඒ අවස්ථාව උදා විය. 

2013-04-01

විචාර කලාවේ සිංහයා සමුගනියි





සාහිත්‍ය කන්ඩ ද ඕයි? යනුවෙන් කෙනකු ප්‍රශ්න කළහොත්; නෑ කන්ඩ නැති උන් සංවිධාන කරන්ඩ! යැයි තවත් කෙනකු පිළිතුරු සපයන්නට පුළුවන.
ජීවිතය සමඟ පොරබදන කෘපණ මිනිස් - සමාජ කොට්ඨාසයන්හි නිදහස හා විමුක්තිය උදෙසා කලාවත් - සාහිත්‍යයත් භාවිත කළ හැකි ය. එය පන්ති සමාජය පිළිබඳ දැනුවත් කිරීම ඔස්සේ ආරම්භ වී, වඩාත් යහපත් සමාජ පරිවර්තනයක් උදෙසා මිනිස් සමාජය පෙළ ගැස්වීම තෙක් ගමන් කරයි.
අති සරල හා තරමක් පැරැණි අත්දැකීමක් ගතහොත්; රුසියාවේ මැක්සිම් හෝර්කි, චීනයේ ලූ ශූන් වියට්නාම යේ නාම්කාඩ්, කෙන්යාවේ නුගුගිවා තියෝන්ගෝ මේ මාර්ගය අනුදත් ප්‍රබන්ධ රචකයෝ වෙති. මේ ශානරයට අයත් කාව්‍ය, නාටක, සිනමා ආදී නිර්මාණ සලකා බැලුවහොත්; විශාල නම්වැලක් අප ඉදිරියෙහි සටහන් වේ.
සමාජ පරිවර්තනය සඳහා කලාව හා සාහිත්‍යය භාවිත කිරීමේ සෘජු න්‍යාය ධර්මවලට මූලික පදනම වූයේ කාල්මාක්ස්ගේ හා පෙඩ්රික් එංගල්ස්ගේ ඉගැන්වීම් ය. පසුව ලියෝන් ට්‍රොස්කි, වෝල්ටර් බෙන්ජමින්, ටෙරී ඊගල්ටන්, ජෝර්ජ් ලූකාෂ්, රේමන්ඩ් විලියම්ස්, ලී බැක් ෂෙන්ඩල්, පෙඩ්රික් ජෙම්සන් හා තවත් අය මේ මතවාද තවදුරටත් ඔප ම්ට්ටම් කළහ. එය සම්භාව්‍ය මාක්ස්වාදී කලා විචාරය ලෙසින් සැලැකිණි.
මාක්ස්වාදී කලා විචාරයේම දිගුවක් ලෙස සලකනු ලබන ස්ත්‍රීවාදී සාහිත්‍යය ද සමාජ පරිවර්තනය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරයි. පන්ති සමාජය තුළ ස්ත්‍රිය කෙරෙහි පැටවෙන පීඩනය නිරූපණය කිරීමත් ; ස්ත්‍රියගේ ස්වාධීනත්වය උදෙසා සමාජ පරිවර්තනයක් වුවමනා බවත් තහවුරු කිරීම ස්ත්‍රීවාදී සාහිත්‍ය - කලාවෙහි අරමුණ වේ.
මාර්ගට් ෆුලර්, මාරි ගොඩ්වින්, ජෝන් මිල්, එලිසබෙත් කේඩි වැනි අයගේ මූලික ඉගැන්වීම් ද වර්ජිනියා වුල්ෆ්, සිබෙන්ද බාවෝ, මේරී එලිමන්, කේට් මිලට් වැනි අයගේ නිර්මාණ ද ඔස්සේ ස්ත්‍රීවාදී කලාව හා සාහිත්‍යය ගොඩ නැඟිණි.
මේ සියල්ල අති සරල සමීකරණයකට ගතහොත්; වැඩවසම් ක්‍රමය බිඳවැටීම ධනවාදය ඇතිවීම ධනවාදය පුපුරුවා හැර සමාජවාදය ගොඩනැඟීම යන ප්‍රතිඵලය දැක්විය හැකි ය. එහෙත් ලෝකය ඒ පිළිවෙළට ගමන් ගත්තේ නැත. ධනවාදය විකෘති විය. සමාජවාදය ද විකෘති විය. ඒ අනුව පශ්චාද් මාක්ස්වාදී විග්‍රහ කරලියට පැමිණියේ ය. නූතන ශ්‍රී ලංකාවේ සිටින අපි පශ්චාද් රැඩිකල් මාක්ස්වාදීන් වන ජින් ප්‍රංශුවා ලියෝනාද්, ජාක් ඩෙරීඩා වැනි අයගේ විග්‍රහයන් ඔස්සේ ලෝකය අවබෝධ කර ගැනීමට වෑයම් කරමින් සිටිමි.
අප අතරින් වියෝ වූ මහාචාර්ය සුචරිත ගම්ලත් නම් විචාරකයා තේරුම් ගත යුත්තේ ඉහත කී විචාර ක්‍රම විකාශය ද සැලැකිල්ලට ගනිමින් ය.
50 – 60 දසක තුළ ශ්‍රී ලංකාවේ කලා හා සාහිත්‍ය විචාරය පැවැතියේ විශ්වවිද්‍යාල උගතුන් කිහිප දෙනකු අතර ය. එය ශිෂ්‍යයන්ගේ අධ්‍යයන සීමාවෙන් එළියට පැන පුළුල් ජන සමාජයක් වෙත පැතිර ගියේ මහාචාර්ය සුචරිත ගම්ලත් හා තවත් විචාරකයන් කිහිප දෙනකු නිසා ය. ඒ අතරින් ද සුචරිත ගම්ලත් මහතා ප්‍රධාන වෙයි. ඔහු ප්‍රධාන ධාරාවන් කිහිපයක් ඔස්සේ තම විචාර මතවාදය ඉදිරියට ගෙන ගියේය.
(අ) ගුරුවරයකු ලෙස
(ආ) කලා විචාරකයකු ලෙස
(ඇ) මානව හිතවාදියකු ලෙස
(ඈ)භාෂා - ශාස්ත්‍රඥයකු ලෙස

ගුරුවරයකු ලෙස ඔහුගේ භූමිකාව අංශ කිහිපයකින් කැපී පෙනෙයි. සුචරිත ගම්ලත් මහතා විශ්වවිද්‍යාල ගුරුවරයකු ලෙස කලාව හා සාහිත්‍යය ඉගැන්වී ය. එහිදී කලාව හා සාහිත්‍යය මිනිසාට ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස යොදාගන්නේ කෙසේ දැ’යි ඔහු තම ගෝලයනට කියා දුන්නේ ය.
“සාහිත්‍ය යනු කිම? සාහිත්‍යකරුවාගේ කාර්යය කිම? මානව වර්ගයා ආඩ්්‍යතරව ද, සුසංවාදීව ද, කුසුම්තව ද ජීවත්වීම සඳහා ස්වභාව ධර්මයාටත්, පන්ති සමාජයටත් එරෙහිව අනවරත අරගලයක නිරත වෙයි. සාහිත්‍යකරුවා බස මගින් මේ වේදනාකාරී අරගලය සර්ව පාක්ෂිකත්වයෙන් ප්‍රති නිර්මාණය කරයි. මේ අරගලය තුළදී මිනිස්සු නව ඥාන විශේෂද නව හැකියා ද, නව නිපුණතාවද අත්පත් කර ගනිති මේ සියල්ල සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ් වෙයි.”
මහාචාර්ය සුචරිත ගම්ලත්
සුචරිත ගම්ලත් මහතා විශ්වවිද්‍යාල කිහියකම ජනප්‍රිය ගුරුවරයකු වන්නා සේම ඉන් බැහැර ව ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ද කාර්ය බහුල ජීවිතයක් ගත කළේ ය. ඔහුගේ මහනුවර ඉංග්‍රීසි පන්ති පැවැති කාලයේ එම පන්තියකට සිසුවකු ඇතුළත් කිරීම ද දුෂ්කර විය. ධනවාදී ලෝකයේ විද්‍යාව හා ප්‍රෝඩාව අවබෝධ කර ගතහැකි එකම මාර්ගය ඉංග්‍රීසි භාෂාව හොදින් හැදෑරීම යැයි ඔහු පෙන්වා දුන්නේ ය. අපේ අධ්‍යාපනයෙන් ඉංග්‍රීසිය ඉවත් කිරීම ගැන බලවත් විවේචනයක් සුචරිත ගම්ලත් මහතා ළඟ තිබිණි.
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ කලා හා සාහිත්‍ය විචාරයෙහි පදනම වූයේ සම්භාව්‍ය මාක්ස්වාදය යි. මාක්ස්වාදී විචාර කලාව එතරම් ප්‍රචලිත නොවූ අවධියක එය සුඛනම්‍ය භාෂාවකින් නිවැරැදි ලෙස හඳුන්වා දෙන්නට ඒ මහතා සමත් විය. ඒ හේතුව නිසා සම්භාව්‍ය මාක්ස්වාදී විචාරකයන් පරයා පෙරට එන්නට ඔහු සමත් විය.
ප්‍රධාන ධාරාවන් තුනක් ඔස්සේ සුචරිත ගම්ලත් මහතාගේ විචාර සංග්‍රහ පොදු ජනයා අතරට පත් වූ බව අපගේ පිළිගැනීම වේ.
(අ) සිනමා විචාරය
(ආ) ගීත විචාරය
(ඇ) ප්‍රබන්ධ කථා විචාරය
සිංහල සිනමාව දේශපාලන න්‍යායන් මත පිහිටා විවේචනය කළ කිහිප දෙනකු සිටිය ද ඔවුන්ගේ විචාර ඔස්සේ ප්‍රේක්ෂකයන් උකහාගත් දෙයක් නැති තරම්ය. එහෙත් ගම්ලත් මහතාගේ විශ්ලේෂණද, එම විචාර විලාසයන් ද ප්‍රේක්ෂකයෝ වැළඳගත්හ. ඒ මගින් ඔහු සිනමාවට විශාල බලපෑමක් ද එල්ල කළේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “බැද්දේගම” චිත්‍රපටය බොහෝ දෙනා වර්ණනා කළහ. එහෙත් සුචරිත ගම්ලත් මහතා කියා සිටියේ මේ චිත්‍රපටය ලේනාඩ් වුල්ෆ් මහතාට කළ අවමානයක් බව ය.” අමුඩයෙන් හා කොණ්ඩයෙන් ගමක් බිහි නොවේ” යැයි මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා තර්ක කළේ ය. දෙතොල්හි සායම් තවරාගත් පුෂ්ටිමත් ශරීර සහිත කොළඹ නිළියන් පුංචි මැණිකාගේ හා හින්නිහාමිගේ චරිත නිරූපණය කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේ ය. “පාලම යට” “දඩයම” යන චිත්‍රපට ද බොහෝ දෙනා වර්ණනා කරත් දී ගම්ලත් මහතා එම චිත්‍රපට දැඩි විවේචනයට ලක් කළේ ය. පාලම යට විචාරයෙන් කොටසක් මෙසේ ය.
“මෙහි නිරූපණය වන පුද්ගලයෝ ඕපපාතික ය. ඔව්හු පාලම යට හෝ එයින් පිටත වසන අන්‍ය පුද්ගලයන් සමඟ හෝ පුද්ගල කණ්ඩායම් සමඟ හෝ කිසිදු සංවාදයක් නැත්තෝ ය. එබඳු පුද්ගලයෝ ලොව කොහි සිටිත් ද?”
බඹරු ඇවිත්, පාරදිගේ, පොන්මනී වැනි යථාර්ථවාදී චිත්‍රපට මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ පැසසුමට ලක් විය. සිංහල සිනමාව සමාජයට අර්ථයක් සපයන නිර්මාණ විශේෂයක් බවට පත් කිරීම ගම්ලත් මහතාගේ අරමුණ විය.
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ “ගී මිණිආර” නම්? ගුවන් විදුලි වැඩසටහන මෙරට ඈත ගම් දනව්වල පවා අතිශය ජනප්‍රිය වැඩසටහනකි. ගොවියෝ කම්කරුවෝ ඔහුගේ ආදරණීය රසිකයන් බවට පත් වූහ.

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නැත
රටෙත් කෙනෙක් නැත බාල නගේ

මේ ගීය විචාරය කරන ගම්ලත්හු මෙසේ කියති.
 “ශ්‍රී ලංකාව ඉන්දියාව ආදී රටවල යොවුන් ලියන් පෙළන මාරක රකුසෙක් සිටී. එනම් දෑවැද්දයි. පේ‍්‍රමය, අනුරතිය, ආසක්තතාව අනෞන්‍ය ආකර්ෂණය, ආලය යනා දී නා-නා පදවලින් පොරණ නෙක කිවිඳුන් රස මුසු බසින් වැනූ යෞවන - යෞවනියන් අතර ඇති වන මනෝභාවය පාදක කොටගෙන සිදුවන්නා වූ ඒකපති, ඒකපතිනි විවාහය නමැති උත්තරීතර මානව බන්ධනය අද දින ලොවෙහි නැත.”
 “අද දින විවාහය යනුවෙන් හැඳින්වෙන්නේ බොරු නම් ගන්වා, අඬ බෙර ගසා, වෙස් වලාගෙන කෙරෙන කැත ම කැත ගනුදෙනුවකට ය.”
ගම්ලත් මහතාගේ ප්‍රකාශය කෙතරම් සත්‍යවාදී ද? ඔහු ගීත විචාරය යොදා ගත්තේ සමාජයේ ඇති තතු පෙන්වීමට ය.
ප්‍රබන්ධ කථා විචාරයේ දී ඔහු වඩාත් සාහසික විය. නවකතා නමින් පළවන බොල් රචනා කිසිදු සමාවකින් තොරව නිග්‍රහ කොට ඉවත ලෑම ඔහුගේ සිරිත විය. සාහිත්‍ය සම්මාන නවතා දමනු යැයි වරෙක ඔහු ලියා තැබී ය. දැන් ශ්‍රී ලංකාවේ ඇත්තේ සරණාගත සාහිත්‍යයක් යැයි තවත් වරෙක ලියා තැබී ය. ඇතැම් නවකතා කෙප්ප බවත් කෙප්ප යනු ඇති තතු විකෘති කිරීමක් බවත් සුචරිත ගම්ලත් මහතා පෙන්වා දුන්නේය. අවසන් ලෙස ඔහු කියා සිටියේ නවකතා කියැවීම අත්හැර ඇති බව ය. තමන්ගේ කාලයත් ධනයත් සිංහල නවකතා වෙනුවෙන් කැප කිරීම අපරාධයක් බව ඔහුගේ නිගමනය විය.
ගම්ලත් මහතා හැමවිටම ක්‍රියා කළේ උග්‍ර මානව හිතවාදියකු ලෙසය. එය නියම මාක්ස්වාදියකුගේ ස්වභාවය ද වේ. ජාතිවාදයට, ආගම්වාදයට, කුලවාදයට ඔහු වෙතින් එල්ල වුයේ සුළු පටු පහර නො වේ. “ජනවාර්ගික ශුද්ධය නවත්වමු” යනුවෙන් ලිපි පෙළක් රචනා කළ ඔහු ජාතිවාදයට එරෙහි සෑම කතිකාවකම පෙරමුණේ සිටියේ ය. සමාජ විශ්ලේෂකයකු ලෙස ද හැමවිටම අවදියෙන් සිටීම ඔහුගේ සිරිත විය. නූතන අධ්‍යාපනය, දේශපාලනය, කලා භාවිතය ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විණි. මේ සෑම ක්ෂේත්‍රයකදීම කැපී පෙනුණේ ඔහු සතු අදීන විචාර විලාසයයි.
මහාචාර්ය සුචරිත ගම්ලත් යනු අපට අනන්‍ය විචාර සම්ප්‍රදායක් බිහි කළ ප්‍රථම සිංහල ශාස්ත්‍රඥයා යැයි කියන්නට අපි මැලි නොවෙමු. ඔහුගේ විචාර ව්‍යුහය සමන්විත වූයේ; සම්භාව්‍ය මාක්ස්වාදය, සංස්කෘත රසවාදය හා අපේ සංස්කෘතිය ද සංකලනය වූ විචාර මාර්ගයකින් ය. එය අපට ඔරොත්තු දෙන හා අපට ගැළපෙන ක්‍රමයක් විය. එය න්‍යායාත්මකව තරමක් විහිළු කතාවක් වුව සුචරිත ගම්ලත් මහතා එය මනා ව හසුරුවා ගත්තේ ය.
පරණ නිසා කිසිවක් හොඳ නො වන බවද අලුත් නිසා කිසිවක් නරක නො වන බව ද හොඳ නරක කරුණු ගවේෂණයෙන් ම දත යුතු බව ද කාලිදාසයෝ කියති. ගම්ලත් මහතා ද කරුණු ගවේෂණයෙන් තොර ව විචාරයට බැස්සේ නැත. හොඳ, සම්භාව්‍ය, නරක, පීචං ප්‍රශ්නයක් ඔහුට තිබුණේ නැත. මහා විද්වතුන්ගේ මෙන් ම තමන්ගේ සමීප ම මිතුරන්ගේ පවා දුර්වල පොත් පට්වා ගසන්නට ගම්ලත් මහතා ඉදිරිපත් විය. ඔහුට කල්ලිවාදයක් තිබුණේම නැත. ඔහුගේ විචාර විලාසය නිසාම තර්ජන එල්ල වූ අවස්ථා ද නැතුවා නො වේ.
ශ්‍රී ලංකාව තුළ ඇකඩමික් විචාරකයෝ කප්පරක් සිටිති. ඔවුන්ගේ විචාර සංග්‍රහ පණ්ඩිතයන් ස්වල්ප දෙනෙකුගෙන් ඔබ්බට ගොස් සමාජ ගත වූයේ නැත. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ විවේචන පණ්ඩිතයන් අතරද, සම්භාව්‍ය මාක්ස්වාදීන් අතර ද, සාමාන්‍ය ජනතාව අතර ද එක සේ ජනප්‍රිය විය. ඔහුගේ දේශපාලන අර්ථ මෙන් ම කලා න්‍යායන් ද ඉතා පැහැදිලි ය. ඔහුගේ විචාර විලාසය මෙන් ම භාෂා භාවිතය ද ඉතා ආකර්ෂණීය වේ. එහෙත් පශ්චාද් නූතනවාදී කියැවීම් ශ්‍රී ලංකාවට කඩා වැදීමත් සමඟ ගම්ලත් මහතාගේ විචාර මාර්ගය යම් හේබාවකට ලක්විය. පශ්චාද් නූතනවාදය පිළිබඳ ඔහුගේ හැදෑරීම කෙබඳුදැ’යි අප හරියටම දන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ එම කියැවීම් විනිවිදයෑමේ හැකියාවක් ඔහුට නො වූ බව නම් පෙනී යයි.
කුමක් වූ ව මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ විචාර කාර්යභාරය ඓතිහාසිකය. ඔහු යුගයකට අවශ්‍ය සමාජ වගකීම ඉටුකර තිබේ. ඔහු නැති සිංහල විචාර කලාව නිකම්ම මුඩුබිමක් වැනි ය. ඔහු නිමා කළ තැනින් පටන් ගන්නා කෙනකු ද පෙනෙන තෙක් මානයක නැත. අද සවස් භාගයේ සිට සදහටම අපෙන් සමුගන්නා මහාචාර්ය සුචරිත ගම්ලත් නම් මහා විචාරකයා හා ගුරුවරයා මනසින් දකින කළ ඉබේම මෙන් දයාසේන ගුණසිංහයන්ගේ කවි දෙකක් සිහියට නැගේ.

 “රජුන් රියසක් බිඳින අසරණුන් ගෙල මතින්
ඇස නුදුටු මල් කැකුළු පරව යන සුන් බතින්
ප්‍රශස්තිය සක්විතිව කිරුළු පළඳින රනින්
ලොවක මුණ මැවූයෙහි අසිපතක් පන්හිදෙන්

නිමා නැති මහ සටන් ඇවිල යන පෙරමුණෙහි
දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි
විරාමය ලද විගස උණුසුමෙන් බී පතෙහි
පිළිසඳර කුමට යළි නුඹ නොමැති සැඳෑවෙහි”

 (දයාසේන ගුණසිංහ – කුණාටුවක් හැන්දෑවක් හා මළගමක් උපුටා ගැනීම දොරමඬලාව - 1991)


- රන්ජන් අමරරත්න
අද දිනමිණ වෙනුවෙන් ලියන ලද ලිපියකි

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්