රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-03-28

බෙන්තොට වෙරළ සැනකෙළිය දා දසුන්

පසුගිය දා පැවති බෙන්තොට වෙරළ සැනකෙළිය දා කැමරා ඇස ගිය තැන්.. බලන්න කොහොමද කියලා



2013-03-26

අචෙබේ නැති අඳුරු අපි‍්‍රකාව!



2013 මාර්තු 21 දා ජීවිතයෙන් සමු ගත් චිනුවා අචබේ වෙනුවෙන් තැබුණු සටහනකි

අඳුරු අපි‍්‍රකාව
හොඳට ම හෙම්බත් ය
ගුස්තියක් ඇල්ලූ
කාලයක් මතක නැත.
අන්තිම මල්ලවයා ද
නික්ම ගිය පසු;
මොන ගුස්ති ද
ඔකොන්ක්වෝ....!?

2013-03-23

18 ++ කාන්තාවට යටවීමෙන් පිරිමියා ලබන්නේ සතුටක්

ගිරිතලේ යන්න කවුද එන්නේ ඒ අය මෙතැන බලන්න


ඉතිහාසය විසින් කාන්තාවට හිමිකර දී ඇති තැන වර්තමානයේ දී ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයට පිළිතුරු ගණනාවක්ම සපයන්න පුළුවන්. එහෙත් ආසන්නතම පිළිතුර වෙන්නේ තවදුරටත් පිරිමියාට යටවී සිටීමට ඇති අකැමැත්තයි.

2013-03-22

ගිරිතලේ යන්න කවුද එන්නේ..

යමු ගිරිතලේ වන ජීවී කෞතුකාගාරය බලන්න යන මාතෘකාව යටතේ මේ අඩවියෙන් එළි දැක් වූ පෝස්ටුවෙන් පස්සේ අපේ හිතවතුන් කීප දෙනෙක්ම ගිරිතලේ යන්න කැමැත්ත ප්‍රකාශ කොට තිබුණා. අපේ ගාමිණී අයියත් කියනවා එන්න කියලා ඒ පැත්තේ. ඉතින් ඒ සුන්දර අද්දැකීම විඳගන්නට එහි යන්න අප තීරණය කළා. ඉතින් මිතුරනේ අපත් සමග යන්න කැමති අය නොපමාව මේ මේලයට ඔබේ අදහස කඩිනමින් දාන්න. ඒ වගේම යන්න පහසු දින ගැනත් අදහසක් දාන්න. 
මෙන්න ලිපිනය ndilruksha@gmail.com
ඒ වගේම පුංචි යොජනාවක් මේ මාසේ 30 - 31 දවස් දෙක කොහොමද ? එන්න හැකිද?


2013-03-20

ගිනිගත් නිම්නයේ ගත කළ දවසක් - Valley of Fire


මේ, හරිම අහම්බෙන් යැවුණු ගමනක්. ගමන ගිය දවසෙ උදේ වෙනකල්ම මේ තැන ගැන අහලාවත් තිබුණෙ නෑ. කලින් සූදානම් කරගෙන හිටපු සැලසුමක් වෙනස්වුණා. ඉන්පස්සෙ අපි ලාස් වේගාස් ආවෙ කිසිම පෙර සූදානමක් ඇතුව නෙමෙයි. මේ සූදු පුරයෙ අපි මොනවා කරන්නද. සම්පූර්ණ දවසක්ම අපිට ඉතිරි වෙලා තිබුණු නිසා යන්න තැනක් හෙව්වා. එතකොට තමයි Valley of Fire ගැන දැනගත්තෙ. 


මේ නෙවාඩා ප්‍රාන්තය. ග්‍රෑන්ඩ් කැන්යන් සිට ලාස් වේගාස් දක්වා එන මාර්ගය වැටී ඇත්තේ ඉතාමත්ම නිසරු ප්‍රදේශයක් හරහා. ප්‍රදේශය හරහා වැටී තිබූ වංගු වලින් ගහණ කඳුකර මාර්ගය තත්වයෙන් නම් ඉතාමත් උසස්. ඒ වගේම ලස්සණයි. නිසරු පස නිසා එක දිගට පැතිරුණු හරිත යායක් නැතත් තැන් තැන් වල වැවී තිබූ තරමක් විශාල හරිත පඳුරු විඩාබර දෙනෙතට ගෙනාවෙ සහනයක්. අපි ලාස් වේගාස් එනකොට හොඳටම දවල් වෙලා.  ගිම්හාන කාලෙ දැනෙන රස්නය ඇඟ දවන තරම්.



වචනයේ පරිසමාප්ත අරුතින්ම ලාස් වේගාස් කියන්නෙ පාළු කතරට කොහෙන්දෝ කඩාපාත්වුණු සුරපුරයක්!!! විශේෂයෙන්ම රාත්‍රි කාලයට. තනිකරම විනෝදය සඳහා පමණක්ම කැපවුණු මේ පුරවරයෙ, දිනකට නාස්ති කරන මුදල් කන්දරාවෙන් කී දෙනෙක්ගෙ නම් බඩගිනි නිවන්න පුළුවන් වේවිද කියලා හිතන්නවත් බැරිතරම්...  අපි වගේ සංචාරකයිනුත් නැතිව නෙමෙයි. නමුත් එකකට එකක් පෑහෙන තරමට ඉදිවී ඇති මේ අතිවිශාල හෝටල් සංකීර්ණ තනා ඇත්තේ සූදුවට ආරාධනා කරන්නමයි. මගෙ වඩාත්ම සිත් ගත් තැන වුණේ මැඩම් ටුසාඩ් ( Madame Tussauds) ඉටි කෞතුකාගාරය. නරඹන්නන් මේ ඉටි රූ සමග පිංතූර ගන්නා අයුරු බලාසිටීමම පමණක් වුණත් ගෙනෙන්නෙ අපූරු විනෝදයක්. රෑ වුණාම, නිමෙන පත්තුවෙන නියොන් විදුලි එළියෙන් ආලෝකමත්වුණු  වීදි දිගේ යනවිට, හිතාගන්න බෑ මේ අපි දහවල් දුටු නිස්කලංක පරිසරයමද කියලා.  
රාත්‍රිය පුරා වේගාස් වල ලස්සණ බැලූ අපි පහුවෙනිදා උදේ අන්තර්ජාලය පීරමින් යන්න තැනක් සොයනවිට තමයි, මේ ගිනිගත් නිම්නය; හරියටම කියනවනම් - Valley of Fire හමුවුණේ.



Valley of fire - පිහිටා ඇත්තේ ලාස් වේගාස් වල සිට කිලෝමීටර් 80 දුරින්.  නෙවාඩා ප්‍රාන්ත රජයට අයත් පැරණිතම ජාතික උද්‍යානය ලෙසිනුයි මෙය හැඳින්වෙන්නේ. ප්‍රමාණයෙන් අක්කර 42000 ක්. උද්‍යානයට ඇතුළුවෙන්නත් කලින්, දුර සිට බලනවිටම,  මේ නම මෙතනට ලැබුණේ කොහොමද කියලා පහසුවෙන්ම තේරුම්ගන්නට පුළුවන් වෙනවා.


උද්‍යානය පුරාම ඇත්තේ පොළවෙන් ඉහළට මතුවූ, රතු පැහැති වැලිගලින් නිර්මාණයවූ, විවිධ හැඩයන්ගෙන් යුත් පුදුමාකාර ස්වභාවික නිර්මාණයන්. මේ ගල් කඳු හිරු රශ්මිය වැටුණු විට ගිනි සිළු වගේ පෙනෙන නිසාලු මේ අපූරු නම මෙතනට ලැබිලා තියෙන්නේ.  අවාසනාවට එදා අපි ගිය දවසේ අහස වළාකුළු වලින් පිරී තිබුණු නිසා මේ කතාවෙ ඇත්ත නැත්ත අපිට තහවුරු කරගන්න ලැබුණේ නෑ.


උද්‍යානය මැදින් වැටී ඇති මේ පාර 1995 දී නම්කර ඇත්තේ Nevada scenic byway කියලයි. නමින්ම හිතාගන්න පුළුවන්නෙ පාර කොයි තරම් ලස්සණ ඇතිද කියලා



උද්‍යානයට ඇත්තේ වසර මිලියන 150 ගණනක අතීතයක්. වෙන විදිහකින් කීවොත් මෙහි ඉතිහාසය ඩයිනසෝර් යුගය දක්වාම දිවයනවා. ස්වභාවධර්මයේ විශ්මිත නිර්මාණයන් වන මේ ගල් කඳු, වසර ගණනාවක් පුරා බොහෝසෙයින් ඛාදනයන්ට ලක්ව, නොයෙකුත් කාලගුණ තත්වයන් යටතේ පාරිසරික වෙනස්කම් රාශියකට භාජනයවීමේ ප්‍රතිඵලයන් වශයෙන් නිර්මාණයවී ඇති බවයි පැවසෙන්නේ.



ගල් කඳු මතුවූ මේ නිසරු පොළවෙහි බහුල වශයෙන්ම ඇත්තේ කුඩා තණ පඳුරු. සත්ව ගහණය නම් ඉතාමත්ම අඩු අගයක් බවයි දැනගන්නට ලැබුණේ. අපිට දකින්නට ලැබුණෙත් එකම එක කටුස්සෙක් පමණයි. වසරකට ලැබෙන වර්ෂාපතනය සඳහන්වන්නේ අඟල් 4ක් ලෙසින්

ෆොසිල බවට පත්වූ මෙවැනි ශාක කඳන් කීපයක්ම අපට දැකගන්නට ලැබුණා. 
තද හිරු එළියක් නැති එදා, තද අඳුරු පැහැති ආකාශය පසුබිම් කරගත් රක්ත වර්ණ මේ ගල් කඳු පරිසරයට එක්කළේ අමුතුම ගුප්ත බවක්.


නමේ විදිහට නම් තියෙන්න ඕනේ රතු පැහැති ගල් කඳු පමණක් වුණත් සමහරක් තැන්වල රතු හා සුදු ලෙස ඉතා පැහැදැලිව කොටස් දෙකකට බෙදුණු කඳුත් දකින්න පුළුවන්.



රතු සුදු මිශ්‍ර වර්ණයන් ගණනාවකගෙන් සමන්විත පේනතෙක් මානයේ පැතිරුණු මෙම කඳු යාය මවන්නෙ දර්ශණීය දසුනක්.


 මේ අපූරු හැඩ නම් කර තිබුණේ මී වද’  (Bee Hives) ලෙස
                          



වාහනයෙන් යා හැකි මාර්ගය නරඹා අවසන් කරන්නට අපට ගතවුණේ පැය 5ක් වැනි කාලයක් . පෙර සූදානමකින් පැමිණියේ නැති නිසාම අඩිපාර දිගේ පයින් යන ගමන අපට අකමැත්තෙන්වුණත් මගහරින්නට සිදුවුණා.. ඒ ගැන තාමත් ඇත්තේ කිව නොහැකි තරමේ කණගාටුවක්.

මේ සංචාරකයින් සඳහා ඇති අවසන් නැවතුම
මාර්ගය අවසන් වන්නේ මෙතනින්.  මේ විශාල ගල් පර්වත නම් කර තිබුණේ Silica dome  ලෙස
සංචාරකයින්ට අවවාද, උපදෙස් දෙන බෝඩ් ලෑල්ලක්වත් මුළු ගමන පුරාවටම දකින්නට ලැබුණෙ නැතත්, පරිසරයට ආදරය කරන්නන් පැමිණෙන නිසාම, හැම සංචාරකයෙකුගේම හැසිරීම විනය ගරුකයි.  රාත්‍රිය මෙහි ගතකරන්නට සංචාරකයින්ට අවසර නැහැ. උද්‍යානය විවතෘව තබන වේලාව සඳහන් වන්නේ හිරු උදාවේ සිට හිරු බසින තුරු (from sun rise to sun set) ලෙසින්. ඉතිං අර අපූරු පාර දිගේ ගමන නිමා කළ අපි මේ අතිශයින් චමත්කාරජනක පරිසරයෙන් සමුගත්තා. වසර දෙකකට ආසන්න කාලයක් ගතවුණත්, තව අදත් මෙහි හැම ඡායාරූපයක් සම්බන්ධයෙන්ම මට ඇත්තේ, මටම පුදුම හිතෙන තරමේ සජීවී මතකයක්. මේ අරුම පුදුම පරිසරය විසින් සංචාරකයින්ව තමා වෙත ඇද බැඳ තබාගන්නා අයුරු ඇත්තෙන්ම විශ්මයජනකයි!

සංචාරක සටහන සමුද්‍රිකා හේරත්



2013-03-19

යමු ගිරිතලේ වන ජීවී කෞතුකාගාරය බලන්න


බොහොම දවසකට පස්සේ අපේ ශ්‍යාමා කෙල්ලගෙන් ඇමතුමක්...
අයියේ නියම තැනක් ගැන ලිපියක් ලිව්වා බ්ලොග් එකට දාන්න දෙන්න ද?. එතන ලොක්කත් ඔයා හොඳට දන්න කෙනෙක්..
කවුද අප්පේ ඒ.....
ලිපිය නම් ගිරිතලේ ජාතික වන ජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රය ගැන යි ලිව්වේ. එතැන ප්‍රධානියා ගාමිණි විජිත් සමරකෝන් කියලා ඔයාගේ යාළුවෙක්.
අපේ අප්පෝ මේ අපේ ගාමිණි ගේ විජිතය බ්ලොග් එක ලියන ගාමිණී අයියනේ...
එවන්න එවන්න ඒ ලිපිය...මම දෙවරක් නොසිතාම ඇය හා පැවසීමි.

ඉතින් කියවන්න  ගාමිණී අයියලා ගේ කැපවීම මත විරාජමාන වන සුන්දර ආයතනයක් ගැන ශ්‍යාමා ලියු ලිපිය මෙතැන් සිට.......


2013-03-18

නෑසුණේ ද බේවිස් ගහේ ගීතය?


“බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා”


බේවිස් මනතුංග
මා කොළඹ සිටි දිනෙක, අනුරාධ ජයසේන මහනුවර සිට මට ඒ දුක්මුසු පුවත සැල කළේ ය. ළබැඳි මිතුරකුගේ වියෝවක් ඇසූ කලෙක මෙන් මසිත ඉන් සසල විය.
අප ගත කරන්නේ තුත්තිරි ගසක්වත් කපා දැමිය යුතු යුගයක නොවේ. වනාන්තරයක් මැද ඇති ගසක් වුව බිම හෙළීම සාහසික බව මගේ අදහසයි. නගරයක ඇති ගහ කොළ නිවසකට මල් බඳුන් වැනි ය. එහෙයින් නගර මධ්‍යයේ, වීදි දෙපස ඇති වියපත් වෘක්ෂයක් පවා දැඩි සත්කාර කරමින් රැක ගත යුතු ය.

2013-03-17

මාධ්‍ය මාෆියාව ස්ත්‍රීවාදයේ ඇසින්


සන්සුන් දවසක ඇරඹුමත් එක්ක අනෙක් බ්ලොග් කියවමින් සිටියෙමි. ස්ත්‍රීවාදය අද දැමූ ලිපිය ළග මොහොතක් නතර වන්නට වීමි. වරක් නොව දෙවරක් ම කියවා දැමුවෙමි.
මේ ලිපිය කෙළින්ම මගේ වෘත්තීය දිවියට අදාළ ය. එසේම මෙම බ්ලොග් කරු ලොවට යමක් කියන්නට වෙර දරන්නෙකි. එනමුදු මට වැටහෙන්නේ ඔහු කියනා දේ අවශේෂයාට නොතේරෙන බවකි. එසේ වන්නේ කිව යුත්ත ඔහු වැල් වටාරම් සමග කියනා බැවින් විය හැකි ය. 
ඔහු ගෙනෙනා මතවාදයේ ඇතැම් කරුණු කෙරෙහි මා ඉදුරා  විරුද්ධ ය. එකඟ කරුණු ද නැත්තේ නොවේ.. අද ඔහුගේ පෝස්ටුවට මාතලන් සොයුරා අපූරු කොමෙන්ටුවක් දමා තිබිණි. 

2013-03-15

සිලිඳු වරෙන් මත්තල යන්ඩ!


අපි අලිමංකඩක් දිගේ බැද්දේගම දෙසට ගාටමින් සිටියෙමු. එරමිණියා ගාල්, පතොක් පඳුරු, හිඟුරු බූටෑ හා තවත් ඝන යටි රෝපණයෙන් බිම් කඩවල වැසී තිබිණි. වීර, පලු, කෝන්, කළුවර වැනි වෘක්ෂයෝ; අවුරුදු සිය ගණනක් වූ ස්වකීය පෞරාණිකත්වය විදහා පෑමට මෙන් ඇඹරී, ගැට ගැසී රථ – පරළු වී උන්හ. දින ගණනකට පෙර ඇද වැටුණු මහ වැස්සෙන්; ගස්වැල් අමුතු ප්‍රාණයක් ලද්දා සේ විය. ඇතැම් තැනෙක වීර ගහක් හෝ පලු ගහක් හෝ බිම පතිත වී තිබුණේ ස්වාභාව ධර්මයේ න්‍යාය පසක් කරන්නට මෙනි.

2013-03-14

නිහාල් නෙල්සන් ගේ 112 වැනි ගීත සමුච්චය හෙට එළි දකී


නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියාගේ 112 වැනි ගීත සමුච්චය එළි දැක්වීම නිමිත්තෙන් පන්ඩුක සමරසේකර දිනමිණ වෙනුවෙන් නිහාල් නෙල්සන් මහතා සමග කරන ලද පිළිසඳරක් ඇසුරිනි

පුරා දශක 5ක් තිස්සේ රසික මන දොල සංසිඳවාලූ නිහාල් නෙල්සන් සිය 112 වැනි ගීත සමුච්චය ලෙස “වසර 50යි නිහාල් ඇවිත්”සංගීත තැටිය මෙම 15 (හෙට) වැනිදා එළිදක්වයි. එයට සමගාමීව “වසර 50යි නිහාල් ඇවිත්” නමින් සංගීත ප්‍රසංගයක් ද එදින පස්වරු 6ට මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මෙම සටහන ඒ නිමිත්තෙනි.

2013-03-12

ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මවුබස කුමක් විය යුතුද?





මෙම ලිපිය මා අතට පත්කරන්නේ මා මිත්‍ර මුස්ලිම් ජාතිකයෙකි. ඔහු මැනවින් සිංහල දෙමළ හා ඉංගිලිසි (කකාගෙන් මා උගත් වචනයකි) භාෂා හසුරුවයි. ඔහු විසින් පුවත් පතට ලියන ලද මේ ලිපිය මා අතට පත් කළේ සමකය වටේ අඩවියට ගැලපේදැයි අසමිනි. මෙතැන් සිට කියවන්න ෆවුස් මොහොමඩ් සිංහලෙන් ලියූ දෑ. මෙය අප කවුරුත් කියවා අදහසක් ගත යුතු ලිපියකි.


ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ මවුබස කුමක්දැයි යන්න පිළිබඳව අන් ආගමික ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාව අතරත් විවිධ මතිමතාන්තර ඕනෑතරම් පළවී ඇත.

නමුත් මේ දෙපාර්ශ්වයේම බහුතරය විශ්වාස කරන්නේ මුස්ලිම් ජනතාවගේ මවු බස දෙමළ බස යන්නයි. ඇතැම් මුස්ලිම් ජනයා එය අරාබි බස විය යුතුය කියා ද මත පළ කරති. මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා විශේෂ දේව මෙහෙය දෙමළ හා අරාබි බසින් පැවැත්වීම ඊට හොඳම නිදසුනය.

ඉංගිරිසි පිස්සුවට බෙහෙත් සෙවිම


මෙම ලිපිය ප්‍රවිණ ගත් කතුවර කපිල කුමාර කාලිංගයන් විසින් බද්දර මල්ල අතිරේකයට ලියන ලද්දකි.

ඇගේ නම Tsitsi Dangarembga ය. මට එය උසුරුවන්නට අපහසු ය. ඉංග්‍රීසි අක්ෂර අනුව නම් ට්සිට්සි ඔන්ග‍රෙම්බ්ගා ය. අප්‍රිකානු ලෝකය තුළ පමණක් නොව, ඉංග්‍රීසි පාඨකයන් අතර ද ඇගේ නම පතළ ය.
වයස 24 දි Nervous Conditions නමැති නවකතාව පළ කළ ට්සිට්සි ඔන්ගරෙම්බ්ගා, සිම්බාබ්වේ දේශයෙන් පහළ වූ පළමු කළු ජාතික ඉංග්‍රීසි නවකතා කතුවරිය වශයෙන් වාර්තාගත වූවා ය.

ට්සිට්සි 
ඔන්ග‍රෙම්බ්ගා
සිංහලයට පරිවර්තිත විදේශීය සාහිත්‍ය පිළිබඳ ජංගම ඥාන විශ්ව කෝෂයක් බඳු ජනක ඉණිමංකඩයන් ද තහවුරු කළ අන්දමට මෙම නවකතාව මෙතෙක් අප බසට නැඟී නැත මෙතෙක්කිසිදු සිම්බාබ්වියානු ලේඛකයකු හෝ ලේඛිකාවක සිංහල පාඨකයාට හඳුනා ගන්නට ලැබී නැත. ට්සිට්සි ගේ නවකතාව ගැන යමක් ලියන්නට සිතුණේ ද එහෙයිනි.

'චකිත සමය' වැනි අරුතක් හඟවන 'නර්වස් කන්ඩිෂන්ස්' නවකතාව ඇරඹෙන්නේ මෙසේ ය.

'මගේ සාහෝදරයාගේ මරණය ගැන මම ශෝක නොවුණෙමි' එතැන් සිට ඇරඹෙන, සිම්බාබ්වේ (එකල රොඩේෂියාව) ගොවි පවුලක කතාව අපට කියන්නෙ ටාම්බු නමැති කෙටි නමින් හැඳින්වෙන යුවතියකි. ඇගේ පිය ජෙරමියාන් නූගත් ගැමියෙකි. සාම්ප්‍රදායික අදහස් තුළ සිරවුණු පුද්ගලයෙකි. මව - මාෂියාන්ගි - දරු සතර දෙනකුගෙන් යුත් පවුලේ පැවැත්ම සඳහා අලුයම සිට අඳුර වැටෙන තුරුම ගෙර දොරේත් වත්ත පිටියේත් වැඩෙහි යෙදෙයි.

ජෙරමියාන්ගේ සොහොයුරන් වන බබාමුකුරු සහ බම්බාමුනි තෝමස් ඉංග්‍රීසි උගතුන් ය. උසස් අධ්‍යාපනයක් නොලද්දකු වුවත් ගුරුවරයකු වශයෙන් සේවය කරන තෝමස් යහපත් ආර්ථිකයකින් යුතු ජීවිතයක් ගත කරයි.

පවුලේ උගතා වන බබාමුකුරු සැමගේ සිත් දිනා ගත්තෙකි. ජෙරමියාන් පවා තම සොහොයුරාගේ මතයට හිස නමයි. බාමුකුරු සිය දරු පවුලද සමඟ එංගලන්තය බලා යන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබා උපාධිධරයකුවීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඔහුගේ නික්ම යාමෙන් පසු, ටාම්බුගේ පවුලේ ආර්ථිකය ද කඩා වැටෙයි. බබාමුකුරු තම ආදායමින් කාටත් උදව්පදව් කළ බැවිනි.

ටාම්බුගේ පවුලෙන් පාසල් යන්නේ ඇගේ දෙටු සොහොයුරා වන න්හාමෝ පමණි. ඔහු හා ටාම්බු අතර පවතින්නේ නිරන්තර ගැටුමකි. ටාම්බු ද පාසල් යාමේ දැඩි ආශාවෙන් පෙළෙයි. එහෙත් ඊට හරස් වන බාධක දෙකකි. දෙදෙනෙකුට උගැන්වීම සඳහා, ජෙරමියාන්ට හයියක් නැත. අනෙක, ගැහැනු ළමයින් සිටින්නේ ගෙදර දොර වැඩටය යන ආකල්පය ය. ටාම්බු තම 'පාසල් සිහිනය' ගැන කංකෙඳිරිගාන හැම විටකම ඇගේ පියා අවඥාවෙන් සිනාසෙයි.

'උඹේ මනුස්සයට කන්ඩ දෙන්ඩ යන්නෙ ඉස්කෝල පොත් ටික තම්බලද? ගෙදර ඉදං උයන්ඩ පිහන්ඩ ඉගෙන ගනිං. එළවළු වවපං.'

එහෙත් ටාම්බු ඊට හිස නොනමයි. කෙසේ හෝ පාසල් යා යුතු යැයි ඇය අදිටන් කර ගනී.

තනිවම බඩ ඉරිඟු වගාවක් අරඹන ඇය, එම අස්වැන්න නගරයට ගෙන ගොස් විකුණා මුදල් සොයයි. එහිදී මුණ ගැසෙන ඉංග්‍රීසි කාන්තාවක ද පවුම් දහයේ නෝට්ටුවකින් ඇයට උදවු කරයි. එය විශාල මුදලකි. පාසල් වාර දෙක තුනක් සඳහා ම ප්‍රමාණවත් ය.

ගමේ පාසලේ ගුරුවරයාගේත්, තම මවගේත් උපකාරයෙන් පියාගේ කැමැත්ත ද ලබා ගන්නා ටාම්බු පාසල් යාම අරඹයි.

නගරෙයේ මිෂනාරි පාසලට යන ටාම්බුගේ සොහොයුරා කෙමෙන් කෙමෙන් පවුලේ උදවියගෙන් දුරස්වන්නට ගනී. ඔහුට තම මවුබස වන 'සෝනා' ව අමතක වෙයි. ඉංග්‍රීසියෙන්ම කතාබහ කරයි. ඔහු තම මවට පවා කතා කරන්නේ වචන දෙක තුනකි.

කලකට පසු, උපාධිධාරි බබාමුකරු ආපසු සිය රට එයි. එදින ටාම්බුලාගේ නිවසේ පැවැත්වෙන පිළිගැනීම සහ භෝජන සංග්‍රහය, අපේ රටේ ගම්බද 'ඇට්හෝං ගෙදරක්' සිහියට නංවන සුලු ය. සියල්ලෝ ම කති, බොති, නටති.

අන්තිමේට කෑමට යන ටාම්බු සහ නංගිලාට ඉතිරිව ඇත්තේ හොදි පමණි.

බබාමුකුරු බාප්පා, ටාම්බුගේ සොහොයුරාව, තමන් සේවය කරන මිෂනාරි විද්‍යාලයේ ඉගෙනුම සඳහා කැඳවාගෙන යයි. නිවාඩු කාලයන්හි පවා ඔහු නිවසට නොඒම මව මහත් දුකට පත් කරවයි.

එක් දිනෙක, බබාමුකුරු පැමිණෙන්නේ අශුභ ආරංචියක් සමඟිනි. හිදිසියේ අසනීප වන න්හාමෝ මිය ගොසිනි. මව බාබමුකුරුට දොස් පවරමින් හඬා වැටෙයි.

'මේ සේරටම මුල ඉංග්‍රීසි! ඉස්සෙල්ලම උඹල මගේ පුතාගෙ දිව කපල දැම්මා. ඊට පස්සෙ දුරකට එක්කරං ගිහින් මරල දැම්මා‍‍.... දුවේ ටාම්බු.... උඹත් පරිස්සං වෙයන්!'



බබාමුකරුගේ දරුවන් දෙදෙනා ද ඉංග්‍රීසිය මිස තම බස කතා නොකරන බැවින්, ඔවුන් ද ටාම්බුගේ ලෝකයෙන් ඈත්වෙයි. න්‍යාෂා නමැති එම ඥාති සොහොයුරිය ක්‍රම ක්‍රමයෙන් නිශ්ශබ්ද හුදෙකලා චරිතයක් බවට පත් වෙයි. සංස්කෘතින් දෙකකට මැදිවීම ඇයට පෙනෙන්නේ උගුලකට හසුවීමක් ලෙසිනි. ඇය කෑම අරුචියෙන් පෙළෙන්නට වෙයි. බබාමුකුරු කෙරෙහි කෝප වී, පහර දෙයි. අවසානයේ, නගරයේ වෙසෙන ඉංග්‍රීසි මනෝ වෛද්‍යවරයකු වෙත න්‍යාෂා කැඳවාගෙන යයි. එහිදී වෛද්‍යාවරයා පවසන්නේ, කළු ජාතිකයන්ගේ මානසික විෂාදියට හේතු සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ විෂාදි හේතු අතර විශාල පරතරයක් ඇති බවයි. ඒ නිසා, න්‍යාෂට ප්‍රතිකාර නියම කිරීමෙන් වළකී. දෙවනුව, ඇය ගෙනියන්නේ කළු ජාතික වෛද්‍යවරයකු වෙතට ය. ඔහුගේ නිගමනය වන්නේ ඇය සති කීපයක් විවේක ගත යුතු බව ය. න්‍යාෂාගේ කෑම අරුචිය තුළින් සංකේතවත් කෙරෙන්නේ, පවත්නා ක්‍රමය පිළිබඳ ජුගුප්සාවය.

මේ සියලු ව්‍යසන මැද ටාම්බු සිය අධ්‍යාපන‍ය කරගෙන යයි. එහෙත් තමන්ගේ කම නැති කරගෙන අනුන්ගේ සාරධර්ම වැලඳ ගන්නා ජනතාවකගේ ශෝකාලාපය ඇයගේ පරිසරය පුරා නින්නාද වෙයි.

ටාම්බුගේ ඥාති සොහොයුරිය මෙන් ම වැඩිමල් සොහොයුරා ද මානසික හා කායික වශයෙන් විනාශ වන්නේ, කළු සුද්දන් වීම සඳහා 'වයිට් වොෂ්ඩ්' වීමෙනි. ' මේ සේරට ම මුල ඉංග්‍රීසිය' යනුවෙන් ටාම්බුගේ මව නඟන‍ චෝදනාව කතාව පුරා නින්නාද වෙයි.

ලංකාව මෙන් ම ඉංග්‍රීසි කොලනියක් තිබූ රොඩේෂියාව, 1980 දී සිම්බාබ්වේ බවට පත්වන්නේ රොබට් මුගාබේ ප්‍රමුඛ ස්ව ජාතික නායකයන්ගේ සටන් තුළිනි. මනසින් 'සුදු' වෙමින් සිටි කල්ලන්ව යළි අප්‍රිකානුකරණය කිරීම (Africanization) මුගාබේ රජයේ පළමු වැඩපිළිවෙළ විය.

මේ පෙරළිය සිදුවන කාලයේ, ට්සිට්සි සිටින්නේ එංගලන්තයෙහි ය. ඇය ආපසු සිය රට එන්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම ද අතර මග නතර කරමිනි. පසුව ඇය සිම්බාබ්වේ විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යාව හදාරයි. චිත්‍රපට අධ්‍යක්ෂවරියක ද වන ට්සිට්සි, නාට්‍ය කණ්ඩායම් සමඟ වැඩ කරන නාට්‍ය රචිකාව ද වෙයි. 1989 දී පොදු රාජ්‍ය මණ්ඩලයී ය ලේඛක සම්මානයෙන් ද පිදුම් ලද ඇයගේ ප්‍රථම නවකතාව (Nervous Conditions) හොඳම අප්‍රිකානු නවකතා 100 අතරට ද තෝරා ගැනුණි.

කොලනි හාම්පුතුන් විසින් බලහත්කාරයෙන් පටවා ගිය ගති පැවතුම් හා ඇගැයුම්, ජාතික දේහය තුළ පිළිකාවක් මෙන් වැඩෙන අයුරු ට්සිට්සි, තම කතාව තුළින් මනාව පිළිබිඹු කරයි. වයස අවුරුදු 24 දී, නවක ලේඛිකාවක වශයෙන් වුව ද ඇය දුටුවේ සියලු කොලනිවාසීන්ට පොදු සත්‍යයකි. කොලනි මානසිකත්වය වසා පැතිර ගත් ඉංග්‍රීසි උමතුව, නිට්ටාවට සුව කළ නොහැකි ව්‍යාධියක් බව ඇය ලියා තබන්නේ ද ඉංග්‍රීසියෙන්ම ය!

කපිල කුමාර කාලිංග
kapilakalinga@gmail.com

2013-03-07

ස්ත්‍රීවාදය - බ්ලොග් ලියන්නියෝ සහ කාන්තා දිනය කෙසේ අරුත් බර කරමුද?




අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ යන මාතෘකාව යටතේ මා කාන්තා දිනය වෙනුවෙන් මෙයට පෙර දා සමකය වටේ බ්ලොග් අඩවියට ලිපියක් එක් කළේ බ්ලොග් ලෝකයේ ම සිදු වූ එක්තරා සිද්ධියක් මුල් කොට ගෙන ය.
එහෙත් එම ලිපිය නොසිතූ ඉසව්වක් කරා ඇදගන යන්නට ප්‍රතිචාර සමත්ව තිබේ.

එම ලිපිය අරබයා ස්ත්‍රීවාදය, ප්‍රමුදි, මාතලන්, හිරු, දුලන්ත, පුංචි කුමාරිහාමි ඇති කළ සංවාදාත්මක කතිකාව හේතුවෙන් මේ පසු සටහන තබමි.

2013-03-06

අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ


 මේ සටහන තැබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.



මෙලොව කාන්තාවන් නොසිටියේ නම් පිරිමින්ගේ තත්ත්වය කෙබඳු වේවිද යන්න සිතාගන්නටද අපහසු බව සම්මානනීය ලේඛක මාක් ට්වේන් වරෙක පැවසුවේය. තවත් සම්මානනීය ලේඛිකාවක වූ වර්ජිනියා වුල්ෆ් පැවසුවේ ඉතිහාසයේ බොහෝ තැන්වල නිර්නාමික අය, නම් සඳහන් නොවන අය සිටිත් නම් ඒ කාන්තාවන් කියාය.

2013-03-05

සාරි පොටේ එල්ලිලා මැරෙනවා ද?

විසි එක් වන සියවසේ ස්ත්‍රී ශරීරවලට එරෙහි ව නැඟෙන අරෝවන් ගණනාවක් තිබේ. මේ අරෝවන් පරාජය කළ හැකි අමුතු යෝජනාවක් කතුවරිය විසින් යෝජනා කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ පිරිසුදු සුදු සාරියක් හා හොඳින් වැඩුණු කජු ගහක් පමණි. සාරි පොටකින් ගෙල වැලලාගෙන කජු ගහක එල්ලී දිවි නසා ගැනීමෙන් ස්ත්‍රිය ගේ සියලු ගැටලු නිමාවට පත්වෙයි ද?

2013-03-04

අපි පුදපු මල්



අමාලි,
හම්
............................
කතරගම අපි
අතර මංවුනා
වගෙ
හම්

ගහ උඩ ට ආ අමුත්තා සහ ළිදේ සිටි අමුත්තා


අම්පාර කාර්තිව් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගසක් මත සිටි හදුන් දිවියෙකු නිසා ප්‍රදේශයේ ජනතාව බියට පත් වූහ. අනතුරුව ජිවි නිළධාරින් හට දැනුම් දිමෙන් පසු මහත් වැයමක් යොදා එම හදුන් දිවියා අල්ලා ගැනිමට වන ජිවි නිළධාරින් හට හැකි විය.රාත්‍රි කාලයෙදි වනයේ සිට ගම් වැදුන මෙම හදුන් දිවියා හට නැවත් වරක් වනයට යාමට නොහැකි විම නිසා දිවා කාලයෙදි මෙසේ ගසක් මතට වී සිටින්නට ඇති බව වන ජිවි නිළධාරින් පවසා සිටි.තිරික්කොවිල් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ළිඳකට වැටි සිටි හදුන් දිවියෙකුයෙකුද මෙම නිළධාරින් විසින් බේරා ගනු ලැබින.

2013-03-03

අමා ඔබට සුබ ගමන්......


අමාගේ සුහද හමුව දා.. සේයාරුව ඉස්සුවේ තරියා සොයුරාගෙනි

"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ"  ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් යන්න අදහස් කෙරෙයි. මොහොතක් සිතන්න අප දිවියේ දී මොනතරම් ප්‍රියයන් පිරිසක් අපෙන් වෙන් වී ඇති ද?.ඒ ඒ වෙන් වීමි වල දී වෙන් වීමේ ස්වභාවය අනුවද දැනෙන දුක උස් මිටි වෙයි යන්න මගේ හැගිමයි.
මේ කෙටි සටහන ලියැවෙන්නේ ද ඉතාමත් කෙටි කාලයක ට පමණක් හමු වූ ඒත් එම පැය කීපය තුළ හොඳ හිත ලෙංගතුකම මැනවින් දැක් වූ සහෘදිනියක් වෙනුවෙනි.

2013-03-01

සොබාදහමේ හුදෙකලා නිර්මාණය “ගල මුදුන” ගමට පිය නගමු




ගමන තීරණාත්මකය. තීරණයකට පෙර සිටියේ අතීරණයක ය. මන්ද යත් පැවැති වර්ෂාවත්, ගමනේ දුෂ්කරතාවත්, රෑ බෝ වන විට මං පෙත්වලට වල් අලි ප්‍රවේශ වීමත් කරණ කොට ගෙන ය. සිත දැඩි කොට ගතිමු. සියල්ලෝම පසුබට නොවූහ. වල් අලින්ගේ උවදුරක් සිදුවෙන්නට පෙර අලි වෙඩි සහ අප හට අත්‍යවශ්‍ය ආම්පන්නද රැගෙන ගමනට සූදානම් වූවෙමු. මා දැන් ඔබව කැඳවාගෙන යන්නේ මහියංගණය දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් “ගල මුදුන” නැමැති අතිශය  දුෂ්කර මෙන්ම හුදෙකලා ගම්මානයක් වෙතයි.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්